පඨමපවාරණ ශික්‍ෂාපද වර්ණනාව
පඤ්චම ශික්‍ෂාපදයෙහි “භික්‍ඛූ භූත්තාවී පවාරිතා” බමුණන් විසින් ‘ස්වාමීනි’ යම්තාක් කැමැත්තහු නම් එපමණ ගණු මැනැවැ’යි මෙසේ සෑහෙන පමණ ගැණීමට කළ පැවරීමෙන්ද ‘ඇවැත’, පමණි, ටික ටික දෙව’යි මෙසේ තමන්ගේ ප්‍රතික්‍ෂෙ පවාරණයෙන්ද පවරන ලද්දාහුය. “පටිවිස්සකෙ” අවට ගෙවල වැසියෝ
“කාකොරවසද්දං” කවුඩන් හඬන හඬ. රැස්වන විරාවය කරන්නවුන්ගේ ශබ්දය. “අලමෙතං සබ්බන්ති” මෙහි තිකාරය නොකියාම “අලමෙතං සබ්බං” යන මෙපමණක් කීම වටියි.
“භූත්තාවී” අනුභව කළ භොජනය ඇත්තේය. එහිද යම් හෙයකින් යමකු විසින් එකද උලක් කා හෝ නොකා හෝ පරගලගත කරන ලද්දේවේද, හෙතෙමේ භුත්තාවීයි ගිණීමටයයි. එහෙයින් මේ ශික්‍ෂාපදයෙහි පදභාජනයෙහි “භුත්තාවී නාම පඤ්චන්නං භොජනානං” යනාදිය වදාළ සේක. “පවාරිතො” කළ පවාරණය ඇත්තේ. කළ ප්‍රතික්‍ෂෙප ඇත්තේ. ඒ පවාරණයද යම්හෙයකින් ප්‍රතික්‍ෂෙප මාත්‍රයෙකින් නොවේද, වැලි කෙසේ පවරණ ලද්දේවේද, යත්: පස් අඟක්හුගේ වසයෙන් වේ. එහෙයින් මේ ශික්‍ෂාපදයාගේ පදභාජනයෙහි “පවාරිතො නාම අසනං පඤ්ඤායති” යන මෙයින් අඩාල කළ භොජනය ඇත්තේද, ඔහු විසින් කිසිවක් අනුභව කරන ලද්දේය. කිසිවක් අනුභව නොකරන ලද්දේය. යමක් අනුභව කරන ලද්දේ ද, ඒ සඳහා ‘භුත්තාවී’යි ගිණීමට යන්නේය. එහෙයින් භුත්තාවී යන වචනයෙන් වෙන් වූ කිසි අර්‍ත්‍ථසිද්ධියක් නොදකිමු. ‘ද්විරත්තතිරත්තං ඡප්පඤ්චවාචාහි’ යනාදි තන්හි ද්විරත්තාදිවචන මෙන් පවාරිතපදයාගේ පරිචාරකභාවයෙන්ද බ්‍යඤ්ජනසිලිට්ඨතාවයෙන්ද මෙය කියන ලදැයි දතයුතුය.
“අසනං පඤ්ඤායති” යනාදි තන්හි අඩාල කළ භොජනය දක්නා ලැබේ. මේ පුද්ගල තෙමේ අනුභව කරන්නේ වේය යන අර්‍ත්‍ථයි. “භොජනං පඤ්ඤායති” පවාරණයට පොහොනා භොජනය දක්නා ලැබේ. ඔදනාදීන් අතුරෙහි ප්‍රතික්‍ෂෙප කටයුතුවූ එක්තරා භොජනයක් වේය යන අර්‍ත්‍ථයි. “හත්‍ථපාසෙ ඨිතො” ඉදින් පවාරණයට පොහොනා භොජනයක් ගෙණ දායක තෙමේ දෙරියන් හමාරක් පමණ වූ අන් පසෙහි වේනම් යන් අර්‍ත්‍ථයි. “අභිහරති” ඉදින් ඒ දායක තෙමේ ඔහුට ඒ බත කයින් එළවානම් යන අර්‍ත්‍ථයි. “පටික්‍ඛෙපො පඤ්ඤායති” ප්‍රතික්‍ෂෙපය දක්නා ලැබේ. එළවනලද ඒද. ඒ මහණ තෙමේ කයින් හෝ වචනයෙන් හෝ ප්‍රතික්‍ෂෙප කෙරේ නම් යන අර්‍ත්‍ථයි. මේ පස් වැදෑරුම් වූ අඞ්ගයන්ගේ වසයෙන් පවරන ලද්දේ නම් වේ.
‘පඤ්චහි උපාලි ආකාරෙහි පවාරණා හොති: අසනං පඤ්ඤායති, භොජනං පඤ්ඤායති, හත්‍ථපාසෙ ඨිතො අභිහරති, පටික්‍ඛෙපො පඤ්ඤායති’යි මෙසේ වදාරන ලද්දේය.
එහි මේ විනිශ්චය වේ. “අසනං” යමක් අනුභව කෙරේද, යම් බොජුනක් අත්පසෙහි සිටියහු විසින් එළවනලද ප්‍රතික්‍ෂෙප කෙරේද, ඒ භොජනය බත-කොමු-අස්සුනු-මාලු-මස් යන මොවුන් අතුරෙහි එකෙක්මයයි දතයුතුය. එහි ඔදන නම් හැල් වී යව තිරිඟු තණ හෙලවරා අමු යන සත් වැදෑරුම් ධාන්‍යයන්ගේ සහලින් නිපන්නේය. එහි හැල් නම් යටත් පිරිසෙයින් හුරුහැල් පටන් සියලුම හැල්වර්‍ගයි. ‘වී’ නම් සියලු වීවර්‍ගයි. යව තිරිඟුවල භෙදයක් නැත්තේය. ‘තණ’ නම් සුදු රතු කලු වූ සියලු තණවර්‍ගයි. ‘හෙලවරා’ නම් යටත් පිරිසයින් සිහින් වර පටන් සියලුම සුදුවන් වරාය. ‘අමු’ නම් කලුහමුද බඩහමු ආදී භෙදවත් සියලුම ධාන්‍ය වර්‍ගයි.
මෙහි හුරුහැල් සිහින් වරාද ධාන්‍යානුලොමයයි කියත්. ධාන්‍ය හෝ වෙත්වා, ධාන්‍යානුලෝමයෝ හෝ වෙත්වා, කියූ ප්‍රභෙද ඇති මේ සත්වැදෑරුම් ධාන්‍යයන්ගේ සහල් ගෙණ බත් පිසන්නෙමු’යි හෝ කැඳ පිසන්නෙමු’යි හෝ යම් කිසිවක් සඳහා පිසත්වා ඉදින් උණුසුම් වූවක් හෝ සිහිල් වූවක් හෝ ඇඹුල් කිරීමක් ආදීන් අතුරෙහි එක්තරා එකක් පිසන්නෙමු’යි හෝ වළඳන්නවුන්ගේ වළදන කාලයෙහි ගත් ගත් තන්හි අවධි පෙනේද එය ඔදන සඞ්ග්‍රහයටම යයි. පවාරණය උපදවයි. ඉදින් අවධි නොපෙනේ නම් යාගුසඞ්ග්‍රහයයයි. පවාරණය නොඋපදවයි.
යම් කිරිබතක් හෝ කොළ ගෙඩි කිළිල් මුසු ඇඹුල් කැඳවක් හෝ උදුනෙන් බානලද ඇසිල්ල ඇත්තී ඉතා උණුසුම් වේද, සිසාරා බොන්නට පිළිවන් වේද, අතින් ගත් පෙදෙසෙහි අවධි නොදක්වාද, පවාරණය නොඋපදවයි. ඉදින් උණුසුම පහව ගිය කල්හි සිහිල් වූවා සහභාවයට යේද, අවධිය දක්වාද, නැවැත පවාරණය උපදවයි. පෙරවූ තුනීබව නොරකියි. ඉදිනුදු දී, මොරු ආදිය නගා කොළ ගෙඩි කිළිල් බහා මිටක් පමණ වූ සහල්ද, බහන ලද්දාහු වෙත්ද, වළඳන කාලයෙහි අවධිය පෙනේද, පවාරණය උපදවයි. කැඳ හැර සෙස්සෙන් කරන පැවරීමෙහි ‘කැඳ දෙන්නෙමු’යි බතෙහි පැන් කාඩි කිරි ආදිය වත්කර ‘කැඳ ගණු මැනැවැ’යි කියා දෙත්ද, ඒ කැඳ තුනී වූවා වේද, පවාරණය උපදවාය. ඉදින් පැසවූ පැන් ආදියෙහි බහා පිස දෙත්ද, යාගු සඞ්ග්‍රහයටම යෙයි. යාගුසඞ්ග්‍රහයට ගිය කල්හිද එහි හෝ අනිකක හෝ යම් තැනක මාලු මස් බහත්ද ඉදින් අබැටක් නමුදු මාලුමස් කඩක් හෝ නහරක් හෝ පෙනේද, පවාරණය උපදවයි.