කාණමාතු ශික්‍ෂාපද වර්ණනාව
චතුත්‍ථ ශික්‍ෂාපදයෙහි “කාණමාතා” කාණාවගේ මවුතොමෝය. මැයගේ දූතොමෝ විශිෂ්ට රූ ඇත්තීවූය. යම් යම් කෙනෙක් ඇය දකිත්ද, ඒ ඒ අය රාගයෙන් කණවෙත්. රාගයෙන් අන්‍ධ වෙත්ය. යන අර්‍ත්‍ථයි. එහෙයින් අන්හුගේ කණබව කරන හෙයින් කාණායි ප්‍රසිද්ධවූය. ඇයගේ වසයෙන් මවු තොමෝද ‘කාණමාතා’යි ප්‍රකට වූවාය. “ආගතං” ඊමය. “කිස්මිං විය” කෙබන්දක් මෙන් ලජ්ජාවීමක් මෙන් වේය යන අදහසය. “රිත්තහත්‍ථං ගන්තුං” හිස් අත් ඇති මේ ගමනෙහි. ඒ මේ හිස් අත් ඇති. මේ ගමනෙහි. ඒ මේ හිස් අත් ඇති. ඒ හිස් අත් ඇති ගමන යන්නට ලජ්ජා ඇතියකු මෙන් වේයයි කියන ලද්දේ වේ. “පරික්‍ඛයං අගමාසි” උපාසිකා තොමෝ ආර්‍ය්‍යශ්‍රාවිකාය. මහණුන් දැක ඇත්තාවූ දෙයක් නොදෙන්නට නොහැක්කීය. යම්තාක් සියල්ල ක්‍ෂයට ගියේද, ඒතාක් දෙවීය. “ධම්මියා කථාය” මෙහි කාණාතොමෝද මවු පිණිස දෙසනු ලබන ධර්‍මය අසන්නී දෙශනාවගේ කෙළවර සෝවාන් වූය. “උට්ඨායාසනා පක්කාමි” අසුනෙන් නැගිට ගියාය. ඒ පුරුෂ තෙමේද, ශාස්තෲන් වහන්සේ වනාහි කාණමාතාවගේ ගෙට වැඩිසේකැයි අසා කාණාව ගෙන්වා පළමු තනතුරෙහිම තැබූයේය.
මේ වස්තුව උපන් ඇසිල්ලෙහි වනාහි ශික්‍ෂාපදය නොපැනවූ කල්හිම පාථෙය්‍ය වස්තුව පහළ වූයේය. එහෙයින් අනතුරුවමද මෙය දක්වන්නට “තෙන ඛො පන සමයෙන” යනාදිය වදාරන ලද්දේය. ඒ උපාසක තෙමේද ආර්‍ය්‍යශ්‍රාවක බැවින් සියල්ලම දෙවූයේය. එහෙයින් “පරික්‍ඛයං අගමාසි”යි කියන ලදී.
“යං කිඤ්චි පහෙණකත්‍ථාය” පඬුරු පිණිස පිළියෙල කළ යම්කිසි අතිරස අග්ගල, තලකැරලි ආදි සියල්ල මෙහි “පුව”යි ගිණීමට යයි. “යං කිඤ්චි පාථෙය්‍යත්‍ථාය” මග යන්නවුන්ට අතරමග පිණිස පිළියෙල කළ යම්කිසි බැදිපිටි නොබැදිපිටි තලසහල් ආදී සියල්ල මෙහි මත්‍ථයි කියාම ගිණීමට යයි. “තතො චෙ උත්තරිං” ඉදින් තෙවන පාත්‍රය මුදුන් කරන ලදුව ගණීද, මුවවිට යට රෙඛාව පටන් මතුවෙහි තුබූ පූ ගණනින් පාචිත්තිය වේ.
“ද්වත්තිපත්තපූරෙ පටිග්ගහෙත්‍වා” මුවවිට යට රෙඛාව පටන් සමව පිරුනු පාත්‍ර ගෙණ “අත්‍ර මයා ද්වත්තිපත්තපූරා” මෙහි ඉදින් පාත්‍ර දෙකක් පිළිගන්නා ලද්දේ නම්. මෙහි මා විසින් පාත්‍ර දෙකක් පුරා පිළිගන්නා ලද්දේය. තෝ එකක් ගණුව’යි කියයුතුය. ඔහු විසින්ද අන් මහණකු දැක පළමු කොට ආවහු විසින් පාත්‍ර දෙකක් පුරා ගන්නා ලද්දේය. මා විසින් එක් පාත්‍රයක් ගන්නා ලද්දේය. තෝ නොගණුව’යි කියයුතුය. යමකු විසින් පළමු කොට එකක් ගන්නා ලද්දේ ද, ඔහුගේද, පරම්පරාරොචනයෙහි මේ නයම වේ. යම් මහණකු විසින් තමන් විසින්ම තුනක් ගන්නා ලද්දේ ද, ඒ මහණහු විසින් අන් මහණකු දැක ‘මෙහි තෝ නොපිළිගනුව’යි මෙසේ කියයුතුය. “පටික්කමනං හරිත්‍වා” අසුන්හලට ගෙන ගොස් අසුන්හලට යන්නහු විසින්ද, හැරදැමූ ශාලාවට නොයා යුතුය. යම් තැනක මහා භික්‍ෂු සඞ්ඝතෙමේ හිඳීද, හැරදැමූ ශාලාවට නොයායුතුය. යම් තැනක මහාභික්‍ෂු සඞ්ඝ තෙමේ හිඳීද, එහි යායුතුය. මහාපච්චරියෙහි වනාහි ‘යම් ශාලාවක් තොමෝ භික්‍ෂාව ලද තැනින් ආසන්න වූ ආසන ශාලාවක් වීද, එහි යායුතුය. සන්‍දිට්ඨසම්භක්තයන්ට හෝ ස්වනිකායන්ට හෝ දෙන්නෙමි’යි අන් තැනක යන්නට නොලබයි. ඉදින් මොහුගේ නිබඳ හිඳින තැනක් වේද, දුරද යන්නට වටීයයි කියන ලදී.
“සංවිභජිතබ්බං” ඉදින් පාත්‍ර තුනක් පුරා ගන්නා ලද්දේ ද, එකක් තමන්ට ලබා දෙකක් භික්‍ෂු සඞ්ඝයාහට දියයුතුය. දෙකක් ගන්නා ලද්දේ නම් එකක් තමන්ට තබා එක් පාත්‍රයක් සඞ්ඝයාහට දියයුතුය. මිතුරු ලෙසින් දෙන්නට නොලබයි. යම් මහණකු විසින් එක් පාත්‍රයක් ගන්නා ලද්දේ ද, ඔහු විසින් නොකැමැත්තෙන් කිසිවක් නොදිය යුතුය. කැමැතිසේ කටයුතුය.
“ගමනෙ පටිප්පස්සද්ධෙ” අතර මග උවදුරක් හෝ දැක ප්‍රයෝජන රහිත බැවින් හෝ ‘අපි දැන් නොයවන්නෙමු, නොයන්නෙමු’යි මෙසේ වැළකුනු කල්හි සිඳුනු කල්හි “ඤාතකාතං පවාරිතානං” මේ නෑයන් බොහෝ කොට දෙන කල්හි දෙතුන් පාත්‍රයකට වඩා පිළිගන්නා මහණහුට ඇවැත් නොවේ. අර්‍ත්‍ථ කථාවන්හි වනාහි ඒ නෑයන්ගේද පඬුරු මගවියදම් පිණිස පිළියෙල කොට යවන ලද දෙයින් පමණම වටීයයි කියන ලදී. සෙස්ස ප්‍රකටමය.
ෂඩ් සමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.