පරම්පරභෝජන ශික්‍ෂාපද වර්ණනාව
තෘතීය ශික්‍ෂාපදයෙහි “න ඛො ඉදං ඔරකං භවිස්සති යථා ඉමෙ මනුස්සා සක්කච්චං භත්තං කරොන්ති” යම් නියමකින් මේ මනුෂ්‍යයෝ සකස් කොට බත් කෙරෙත්ද, එයින්, මේ ශාසනය නොහොත් බුද්ධ ප්‍රමුඛසඞ්ඝයා විෂයයෙහි පවත්වන ලද මේ නය ලාමක නොවේ. ස්වල්ප වූ ලාමක එකක් නොවන්නේය’යි දන්නා ලැබේ. “කිරපතිකො” මෙහි කිර යනු ඒ කුලපුත්‍රයාගේ නාමයයි. අධිපති අර්‍ත්‍ථයෙන් කිරපතිකයි කියනු ලැබේ. හෙතෙමේ වනාහි ඊශ්වර අධිපතියෙක් වේ. මාස සෘතු සංවත්සර නියමයෙන් වැටුප් දී කම්කරුවන් ලවා වැඩ කරවයි. “බදරා පටියත්තා” උපචාර වසයෙන් කියයි. “බදරමිස්සෙන” ඩෙබර මුසු කැඳින්.
“උස්සූරෙ ආහරීයිත්‍ථ” ඉතා දවල් වූ කල්හි ගෙන එන ලද්දේය.
“මය්හං භත්තපච්චාසං ඉත්‍ථන්නාමස්ස දම්මි” මේ භත්ත විකප්පනය නම් හමුවෙහිද නොහමුවෙහිද වටියි. හමුවෙහි දැක ‘තුය්හං විකප්පෙමි’යි කියා පළමු ආරාධනා බත යමක්හට විකපනය කොට පරම්පරභොජනය වැළඳිය යුතුය. හමුවෙහි නොදැක පස්සහ දැහැමියන් අතුරෙහි “ඉත්‍ථන්නාමස්ස විකප්පෙමි”යි කියා වැළදිය යුතුය. මහාපච්චරි ආදියෙහි නොහමුවිකපනයම කියනලදී. ඒ මේ නොහමුවිකපනය යම්හෙයකින් විනය කර්‍මයෙන් සඞ්ග්‍රහ කරන ලදද එහෙයින් භාග්‍යවතුන් වහන්සේට විකපනය කිරීම නොවටියි. භාග්‍යවතුන් ගඳකිළියෙහි වැඩහුන් කල්හිද සඟමැද වැඩහුන් කල්හිද සඞ්ඝයා විසින් ගණයට පමණවන මහණුන් ගෙණ ඒ ඒ කර්‍මය කරන ලද්දේ මොනවට කරන ලද්දේම වේ. භාග්‍යවතුන් වහන්සේ කර්‍මය කොප්‍ය නොකෙරෙත්මය. සම්පාදනය නොකෙරෙත්. කුමක් හෙයින, යත්: ධර්‍මෙශ්වර බැවින් කර්‍මය කොප්‍යය නොකෙරෙත් ගණපූරක නොවන බැවින් සම්පාදනය නොකෙරෙත් එහෙයිනි.
“ද්වෙ තයො නිමන්තනෙ එකතො භුඤ්ජති” පැවරීම් දෙකතුනක් එක් පාත්‍රයෙක්හි බහා මිශ්‍රකොට එකක්කොට අනුභව කෙරේය යන අර්‍ත්‍ථයි. දෙතුන් කුලයක් පවරා එක් තැනක හිඳුවා එහෙන් මෙහෙන් ගෙණවුත් බත් දමත්ද, සූපබ්‍යඤ්ජන බහාලත්ද, එකට මිශ්‍රවේද, ඇවැත් නොවේයයි මහාපච්චරියෙහි කියනලදී. ඉදින් මුල් පැවරීම යටවේද, පැසුළු පැසුළු පැවරීම් මතුවේද, මතුවෙහි පටන් වළඳන මහණහුට ඇවැත් වේ. අත ඇතුළට ප්‍රවෙශකොට පළමු පැවරීමෙන් එක් පිඩක් උදුරා වැළඳූ කල පටන් යම් ඒ ලෙසකින් හෝ වළඳන්නහුට ඇවැත් නොවේ. ඉදින් එහි කිරි හෝ රසයක් හෝ වක්කෙරෙත්ද, යමකින් යටකළ බත එක් රසයෙක් වේද, කෙළවර පටන් වළඳන්නහුට ඇවැත් නොවේයයි මහාපච්චරියෙහි කියන ලදි. මහාර්‍ත්‍ථකථාවෙහි වනාහි කිරිබතක් හෝ රසබතක් ලැබ හුන්නහුගේ පාත්‍රයෙහි එහිම අන්‍යයෝද කිරිබතක් හෝ රසබතක් හෝ බහාලත්ද, කිරි හෝ රසය හෝ බොන ඒ මහණහුට ඇවැත් නොවේ. වළඳන්නහු විසින් පළමු ලද මස් කඩ හෝ බත් පිඩ හෝ මුඛයෙහි බහා කෙළවර පටන් වැළදීම වටියි. ගිතෙල් කිරිබතෙහිද මෙම නයය.
ගෘහස්වාමියෙක් තෙමේ මහණුන් පවරායි, ඒ කුලයට එළැඹි මහණහුගේ පාත්‍රයෙහි ගෘහස්වාමි තෙමේද, ඔහුගේ අඹුදරු බෑ බුහුන ආදීහුද තම තමන්ගේ කොටස් ගෙණවුත් පාත්‍රයෙහි බවත්, උපාසකයා විසින් පළමුව දුන් දෙය නොවළඳා පසුව ලද දෙය වළඳන මහණහුට ඇවැත්යි කියනලදී. කුරුන්‍දාර්‍ත්‍ථකථාවෙහි වටීයයි කියන ලදී. මහාපච්චරියෙහි ඉදින් වෙන්ව පිසත්ද, තමතමන්ට පිසූ බතින් ගෙණවුත් දෙත්ද, එහි පසුව ගෙනෙන ලද්ද, පළමු කොට වළඳන මහණහුට පාචිත්තිය වේ. ඉදින් සියල්ලන්ට එක්ම පාකයෙක් වේද, පරම්පරභොජනය නොවේයයි කියන ලදී. ගෘහස්වාමි තෙමේ පවරා හිඳුවයි. අන් මිනිසෙක් පාත්‍රය ගණියි. නොදිය යුතුය. ‘ස්වාමීනි’, කිම නොදෙවුදැ’යි ඇසූවිට ‘උපාසකය’ තා විසින් පවරන ලදුයෙම් නොවෙමි’යි කියයුතුය. ‘ස්වාමීනි’ වේවා, ලද ලද දෙය වළදවු’යි කියා නම් වැළදීම වටියි. අනිකෙකු විසින් ගෙණවුත් බත් දුන් කල්හි විචාරා වැළදීම වටීයයි කුරුන්‍දියෙහි කියනලදී.
අනුමොදනා කොට යන්නහුට බත් අසනු කැමැත්තෝ ‘ස්වාමීනි’ හෙටද වැඩිනු මැනැවැ’යි සියල්ලන් පවරත්ද, දෙවන දිනයෙහි අවුත් ලද ලද දෙය වැළඳීම වටියි. කුමක් හෙයින, යන්:- සියල්ලන් විසින් පැවරූ බැවිනි. එක් මහණෙක් පිඩු පිණිස හැසිරෙන්නේ බත් ලබයි. අන් උපාසකයෙක් ඔහු පවරා ගෙයි හිඳුවයි. එහෙත් මෙතෙක් බත් පිළියෙල නොවූයේය. ඉදින් ඒ මහණ තෙමේ පිඩු පිණිස හැසිර ලද බත වළඳා නම් ඇවැත් වේ. නොවළඳා හුන් කල්හි ‘ස්වාමීනි’ කිම නොවළඳහිදැ’යි ඇසූ කල්හි ‘තා විසින් පැවරූ බැවිනැ’යි කියා ‘ස්වාමීනි’ ලද ලද දෙය වළඳවු’යි කියන ලද්දේ වළදා නම් වටියි.