ගණභෝජන ශික්‍ෂාපද වර්ණනාව
ද්විතීය ශික්‍ෂාපදයෙහි “පරිහීනලාභසක්කාරො” ඒ දෙව්දත් තෙමේ වනාහි අජාසත් රජහු ලවා පියරජු මරවාද, භාග්‍යවතුන් වහන්සේ නසනු පිණිස ධනුර්‍ධරයන් යොදවාද, ලොහිතුප්පාදය කොටද අප්‍රකට වූයේම වූයේය. යම් කලෙක දාවල්හිම ධනපාලක ඇතු යෙදවූයේද, එකල්හි ප්‍රකට වූයේය. කිසේය යත්: ‘දෙව්දත් තෙමේ ඇතු යෙදවූයේයයි කථා උපන් කල්හි, හුදෙක් ඇතු පමණක් නොයෙදවූයේය. රජුද මැරවූයේය, ධනුර්‍ධරයන්ද යැවූයේය, ගල්ද පෙරළුයේය, දෙව්දත් තෙමේ පාපයෙකු’යි ප්‍රකට වූයේය. ‘කවරක්හු සමග මේ කර්‍ම කෙළේදැ’යි විචාළ කල්හි ‘අජාසත් රජු සමගය’යි කීහ. ඉන්පසු නුවර වැස්සෝ ‘කෙසේ නම් රජතෙමේ සසුනට කටුවූ මෙබඳු සොරකු ගෙණ හැසිරෙන්නේදැ’යි නැගීසිටියාහුය. රජතෙමේ නුවර ඇලලීගිය බව දැන දෙවිදතු නුවරින් බැහැර කෙළේය. එතැන් පටන් මොහුගේ බත්තලි පන්සියයද සිඳී ගියේය. මොහුගේ උපස්ථානයටද නොගියේය. එහි අන් මිනිස්සුද මොහුට කිසිවක් දියයුතුයයි හෝ කටයුතුයයි හෝ නොසිතූහ. එහෙයින් ‘පරිහීනලාභසක්කාරො’යි වදාරන ලද්දේය. “කුලෙසු විඤ්ඤපෙත්‍වා විඤ්ඤාපෙත්‍වා භුඤ්ජති” ‘මාගේ ගණය තෙමේ නොබිඳේවා’යි පිරිස පෝෂණය කරමින් ‘තෝ එක් මහණක්හට බත් දෙව, තෝ දෙදෙදනකුන්ට දෙව’යි මෙසේ විනවා පිරිස් සහිතවූ දෙව්දත් තෙමේ කුලයන්හි අනුභව කරයි.
“චීවරං පරිත්තං උප්පජ්ජති” බත් නොගන්නවුන්ට සිවුරු නොදෙත්. එහෙයින් සිවුරු ටිකක් ලැබෙයි.
“චීවර කාරකෙ භික්‍ඛූ භත්තෙන නිමන්තෙති” ගමෙහි පිඬු පිණිස හැසිර කල් ගෙවා සිවුරු නිම කරන මහණුන් දැක ‘මෙසේ වහා සිවුරු නිම කොට සිවුරු පරිභොග කරන්නාහුය’යි සිතා පින් කැමැති බැවින් බතින් පවරත්.
“නානාවෙරජ්ජකෙ” නන්වැදෑරුම් වූ අන් අන් රටින් පැමිණියවුන් ‘නානාවෙරඤ්ජකෙ’යිද පාඨයි. මෙහිද මේ අර්‍ත්‍ථයම වේ.
“ගණිභොජනෙ” ගණයාගේ බොජුන් නිමිති කොට. මෙහිද ගණ නම් මහණහු සතර නමක් ආදිකොට ඉන් වැඩියක් මහණෝ වෙති. එහෙයින්ම සියලු අන්තිම පිරිසිඳීම දක්වන සේක්, “යත්‍ථ චත්තාරො භික්‍ඛු පෙ- එතං ගණභොජනං නාම”යි වදාළ සේක. ඒ මේ ගණභොජනය දෙයයුරකින් ලැබේ. නිමන්ත්‍රණයෙන් හෝ විඥප්තියෙන් හෝය. නිමන්ත්‍රණයෙන් කෙසේ ලැබේද, යත්:- මහණුන් සිවු නමක් වෙත එළැඹැ ‘ස්වාමීනි’ ඔබවහන්සේලා බතින් පවරමි, මාගේ බත ගණිවු, කැමැතිවවු, බලවු, ඉවසවු, බුහුමන් කරවු’යි මෙසේ යම් කිසි පරියාය වචනයකින් හෝ යම්කිසි භාෂාවකින් හෝ පංචවිධ භොජනයන්ගෙන් යම්කිසි නමක් ගෙණ පවරාද, මෙසේ එකට පවරනු ලැබුවෝ නියමිත කාල වසයෙන් අද හෝ හෙට හෝ එකට යෙත්. එකට පිළිගණිත්. එකට හිඳගෙණ වළඳත්. ගණභොජනය වේ. සියලු මහණුන්ට ඇවැත් වේ. එකට පවරන ලද්දාහු එකට හෝ වෙන්ව හෝ යෙත්. එකට ගණින්. වෙන්ව වලඳත්. ඇවැත්මය. මෙහි පිළිගැනීමම පමණ වේ. එකට පවරන ලද්දහු එකට හෝ වෙන්ව හෝ යෙත්. වෙන්ව ගණිත්. එකට හෝ වෙන්ව හෝ වලඳත් ඇවැත් නොවේ. පිරිවෙන් සතරකට හෝ විහාරයනට හෝ ගොස් වෙන්ව පවරන ලද්දාහු එක් තැනක සිටියවුන් අතරෙහිම හෝ එක් මහණෙක් තෙමේ පුත්‍රයා විසින් එක් මහණෙක් තෙමේ පියා විසින්’යි මෙසේද වෙන්ව පවරන ලද්දාහු එකට හෝ වෙන්ව හෝ යෙත්වා, එකට හෝ වෙන්ව හෝ වළඳත්වා, ඉදින් එකට ගණිත්ද, ගණභොජනය වේ. සියල්ලන්ට ඇවැත් වේ. මෙසේ වනාහි නිමන්ත්‍රණයෙන් ලබයි.
විඥප්තියෙන් කිසේය, යත්: සතර නමක් මහණෝ එකට සිටියාහු හෝ හුන්නාහු හෝ උපාසකයකු දැක ‘අප සිවු නමට බත් දෙව’යි විනවන්නාහුය. වෙන්ව හෝ දැක ‘මට දෙව, මට දෙව’යි මෙසේ එකට හෝ වෙන්ව හෝ විනවා එකට හෝ වෙන්ව හෝ යෙත්වා, බත් ගෙණද එකට හෝ වෙන්ව හෝ වළඳත්වා, ඉදින් එකට ගණිත් නම් ගණභොජනය වේ. සියල්ලන්ට ඇවැත් වේ. මෙසේ විඥප්තියෙන් ලබයි.