ආවසථපිණ්ඩ ශික්ෂාපද වර්ණනාව
භොජන වර්ගයෙහි ප්රථම ශික්ෂාපදයෙහි “ආවසථපිණ්ඩො” ආවාසයෙහි පිණ්ඩය. හාත්පසින් වටකරනලද මගි ගිලන් ගැබිනි පැවිදි යන මොවුන්ට සුදුසු පරිදි පැනවූ ඇදපුටු ඇති නොයෙක් ගැබ්ද ප්රධාන පිරිසිදීම් ඇති ආවාසයක් කොට එහි පින් කැමැති බැවින් පඤ්චභොජනාදි පිණ්ඩය පනවන ලද්දේ වේ. කැඳ බත් බෙහෙත් ආදී සියල්ල උන් උන්ට දෙන පිණිස තබන ලද්දේය යන අර්ත්ථයි. “භීයොපි” හෙටද “අපසක්කන්ති” පහවයෙත්. “මනුස්සා උජ්ඣායන්ති” තීර්ථකයන් නොදක්නාහු. ‘තීර්ථකයෝ කොතැන ගියාහුදැ’යි විචාරා මොවුන් දැක ගියාහුයයි අසා අවමන් කෙරෙත්. “කුක්කුච්චායන්තො” කුකුස් කරමින් අකප්පිය සංඥාව උපදවමින් යන අර්ත්ථයි.
“සක්කොති තම්හා ආවාසා පක්කමිතුං” අඩයොදුනක් හෝ යොදුනක් හෝ යන්නට හැකෙක්ය. “න සක්කොති” මෙපමණක්ම නොහැක්කේ වේ. “අනොදිස්ස” මේ පාසාණ්ඩයන්ට හෝ මේ පාසාණ්ඩයන් අතුරෙහි මෙපමණ දෙනකුන්ට මැයි හෝ එක් පාසාණ්ඩයකු නොඋදෙසා සියල්ලන්ට පනවන ලද්දේ වේ. “යාවදත්ථො” බොජුන්ද මෙපමණමයයි නොපිරිසිඳ සෑහෙන පමණ වන වන ලද්දේය. “සකිං භුඤ්ජිතබ්බං” එක් දවසක් එක්වරක්ම අනුභව කටයුතුය. දෙවන දින පටන් පිළිගැනීම නිමිතිකොට දුක්කටය වේ. පිඩක් පිඩක් පාසා පාචිත්තිය වේ.
මේ වනාහි මෙහි විනිශ්චය වේ:- එක් කුලයක් විසින් හෝ නොයෙක් කුලයන් විසින් හෝ එක්ව එක් තැනක හෝ නොයෙක් තැන්හි හෝ. අද එක් තැනෙක්හිය, හෙට එක් තැනෙක්හිය’යි මෙසේ නියම නොකළ තැන්හි පනවන ලද්ද, එක් තැනක එක් දවසක් අනුභව කොට දෙවන දවසෙහි එතැන හෝ අන්තැනක හෝ අනුභව කිරීම නොවටියි. නානාකුලයන් විසින් නානාස්ථානයන්හි පනවන ලද්ද, එක් තැනක එක් දවසක් අනුභව කොට දෙවන දවසෙහි අන් තැනක අනුභව කිරීම වටියි. පිළිවෙළ ගෙවා නැවැත මුල පටන් අනුභව කිරීම නොවටීයයි මහාපච්චරියෙහි කියන ලදී. එක් සමූහය නොයෙක් සමූහය එක් ගමය නොයෙක් ගම්ය යන මෙතැන්හි ද මෙම නයවේ. යම් ආවසථපිණ්ඩයෙක් එක් කාලයක් විසින් හෝ නොයෙක් කුලයන් විසින් හෝ එකට පනවන ලද්දේ ද සහල් නොලැබීමෙන් අතරතුර සිඳියේද, ඒ ආවසථපිණ්ඩයද අනුභව නොකට යුතුය. ඉදින් ‘දෙන්නට නොහැක්කෙමු’යි සිඳදමා නැවැත කුසල් සිත උපන් කල්හි දෙන්නට පටන් ගණිත්ද මේ ආවසථපිණ්ඩය නැවැත එක් දවසක් අනුභව කිරීම වටීයයි මහාපච්චරියෙහි කියන ලද්දේය.
“අනාපත්ති ගිලානස්ස” නැවැත එහි ලැග ලැග අනුභව කරන ගිලන් මහණහුට ඇවැත් නොවේ. “ගච්ඡන්තො වා” යම් මහණෙක් තෙමේ යනුයේ අතර මගැ එක් දවසක්ද, ගිය තැන එක් දවසක්ද, අනුභව කිරීම ලබන්නේය. පෙරළා එන කල්හිද මෙම නයවේ. ගොස් පෙරළා එන්නේද අතරමගැ එක් දවසක්ද, ආතැන එක් දවසක්ද අනුභව කිරීමෙහි වරද නැත්තේය. “ගච්ඡිස්සාමි” අනුභවකොට නික්මුණු මහණහුට ගඟ හෝ පිරී සිටියාද චෞරාදිභයෙක් හෝ වේද, ඒ මහණ තෙමේ නැවතී නිර්භයභාවය දැන යනුයේ නැවැත එක් දවසක් අනුභව කරන්නට ලබායි යන මේ සියල්ල මහාපච්චරි ආදියෙහි කියන ලද්දේය. “ඔදිස්ස පඤ්ඤත්තො හොති” මහණුන්ගේම ප්රයොජනය පිණිස උදෙසා පනවන ලද්දේවේද, “න යාවදත්ථො” සෑහෙන පමණින් පනවන ලද්දේ නොවේද, ටික ටික ලැබේද, එබඳු ආහාරය නිති කල්හිම වලඳන්නට හැක්කේය. “පඤ්ච භොජනානි ඨපෙත්වා සබ්බත්ථ” කැඳ කැවිලි හා කුදු මහත් පල ඈවිසින් භෙදවත් වූ සියලු තන්හි ඇවැත් නොවේ. කැඳ ආදිය නිතර වැළඳීම සුදුසුය. සෙස්ස ප්රකටමය. එලක ලොම සමුත්ථානිකය. කයින්ද කායචිත්තයෙන්ද, උපදී. ක්රියාසමුත්ථානය. නොසංඥාවිමොක්ෂය. අචිත්තකය. ප්රඥප්තිවද්යය. කායකර්මයි. ත්රිචිත්තයි. ත්රිවෙදනයි.
පළමුවන ආවසථපිණ්ඩ ශික්ෂාපදයයි
ගණභෝජන ශික්ෂාපද වර්ණනාව
ද්විතීය ශික්ෂාපදයෙහි “පරිහීනලාභසක්කාරො” ඒ දෙව්දත් තෙමේ වනාහි අජාසත් රජහු ලවා පියරජු මරවාද, භාග්යවතුන් වහන්සේ නසනු පිණිස ධනුර්ධරයන් යොදවාද, ලොහිතුප්පාදය කොටද අප්රකට වූයේම වූයේය. යම් කලෙක දාවල්හිම ධනපාලක ඇතු යෙදවූයේද, එකල්හි ප්රකට වූයේය. කිසේය යත්: ‘දෙව්දත් තෙමේ ඇතු යෙදවූයේයයි කථා උපන් කල්හි, හුදෙක් ඇතු පමණක් නොයෙදවූයේය. රජුද මැරවූයේය, ධනුර්ධරයන්ද යැවූයේය, ගල්ද පෙරළුයේය, දෙව්දත් තෙමේ පාපයෙකු’යි ප්රකට වූයේය. ‘කවරක්හු සමග මේ කර්ම කෙළේදැ’යි විචාළ කල්හි ‘අජාසත් රජු සමගය’යි කීහ. ඉන්පසු නුවර වැස්සෝ ‘කෙසේ නම් රජතෙමේ සසුනට කටුවූ මෙබඳු සොරකු ගෙණ හැසිරෙන්නේදැ’යි නැගීසිටියාහුය. රජතෙමේ නුවර ඇලලීගිය බව දැන දෙවිදතු නුවරින් බැහැර කෙළේය. එතැන් පටන් මොහුගේ බත්තලි පන්සියයද සිඳී ගියේය. මොහුගේ උපස්ථානයටද නොගියේය. එහි අන් මිනිස්සුද මොහුට කිසිවක් දියයුතුයයි හෝ කටයුතුයයි හෝ නොසිතූහ. එහෙයින් ‘පරිහීනලාභසක්කාරො’යි වදාරන ලද්දේය. “කුලෙසු විඤ්ඤපෙත්වා විඤ්ඤාපෙත්වා භුඤ්ජති” ‘මාගේ ගණය තෙමේ නොබිඳේවා’යි පිරිස පෝෂණය කරමින් ‘තෝ එක් මහණක්හට බත් දෙව, තෝ දෙදෙදනකුන්ට දෙව’යි මෙසේ විනවා පිරිස් සහිතවූ දෙව්දත් තෙමේ කුලයන්හි අනුභව කරයි.