සංවිධාන ශික්‍ෂාපද වර්ණනාව
සප්තම ශික්‍ෂාපදයෙහි “පච්ඡාගච්ඡන්තීනං චොරා අච්ඡින්‍දිංසු” පසුව යන මෙහෙණන්ගේ පාසිවුරු සොරු පැහැර ගත්හ. “සෙස්සුං” සොරු ඒ මෙහෙණන් දූෂිත කළහ. ශීලවිනාශයට පැමිණවූහ යන අර්‍ත්‍ථයි.
“සංවිධාය” එක්ව බැණගෙණ යන කල්හි සලකුණු කොට යන අර්‍ත්‍ථයි “කුක්කුටසම්පාදෙති” මෙහි යම්හෙයකින් ගමින් නික්ම කුකුළු තෙමේ පයින්ම අන් ගමකට යේද, මෙය කුක්කුටසම්පාදයයි කියනු ලැබේ. එහි මේ වචනාර්‍ත්‍ථයයි. මෙහි යෙත්නුයි සම්පාද නමි. කවරහු යෙත්ද, යත් කුකුළෝ යෙත්. කුකුළන්ගේ යෑම කුක්කුට සම්පාදයි. නොහොත් සම්පාදො යනු ගමනයි. කුකුළන්ගේ ගමන මෙහි ඇත්තේයයිද කුක්කුටසම්පාද නම්වේ. කුක්කුටසම්පාතෙයිද පාඨයෙක් වේ. එහි යම් ගමක ගෙයි සෙවනිය පිටින් කුකුළා පැන පැන ගොස් අන් ගෙයක පලය පිට වැටේද, මෙය කුක්කුටසම්පාතයි කියනු ලැබේ. මෙහි වචනාර්‍ත්‍ථය වනාහි කියූ නයින්ම දතයුතුය. දෙපරිද්දෙකින් කියූ අයුරු ඇත්තාවූද මේ ගම ඉතා ආසන්න වේ. උපචාරයෙක් නොලැබේ. යම් ගමක උදෑසන හඬලන කුකුළාගේ හඬ අනතුරු ගමෙහි ඇසේද, එබඳු ගම් වලින් පිරුණු රටෙහි ගාමාන්තරය ගාමාන්තරය නිමිතිකොට පාචිත්තිය වේයයි අර්‍ත්‍ථකථාවන්හි කියන ලද්දේය. ‘ගාමාන්තරයක් ගාමාන්තරයක් පාසා ඇවැත පාචිත්තිය වන්නීය’යි කී හෙයින් ඉදිනුදු රියනක් පමණ අතර ඇති ගමෙක් වේද, මිනිසුන් විසින් තබනලද යම් උපචාරයෙක් වේද, ඒ උපචාරයට බස්නා මහණහුට ඇවැත්මය.
එහි මේ ආපත්ති විනිශ්චයයි. එකට බැණගෙණ යන කල්හි දෙදෙනම මෙහෙණ අසපුවක හෝ අතුරු අරමෙක හෝ අසුන් හලෙක හෝ තීර්‍ත්‍ථකයන්ගේ සෙනස්නෙක හෝ සිට සංවිධාන කෙරෙත්ද, ඇවැත් නොවේ. මේ වනාහි කැපබිමය. එහෙයින් මෙහි සංවිධාන හෙතුවෙන් දුක්කටාපත්තිය නොකියත්. යන්නහුට පාචිත්තියම වේ. ඉදින් ගම තුළ මෙහෙණ අසපුවක දොරළඟ හෝ වීථියෙහි හෝ සතරමංහන්දි ඇත්හල් ආදීන් අතුරෙහි හෝ එක්ව බැණගණිත්ද, මහණහුට දුක්කටාපත්තිය වේ. මෙසේ එක්ව බැණගෙණ ගමින් නික්මෙත්ද නික්මීම නිමිතිකොට ඇවැත් නොවේ. අනතුරු ගමෙහි උපචාරයට බැසගැණීමෙහිදී මහණහුට පාචිත්තිය වේ. එහිදී පළමු පා තැබුමෙහි දුක්කටයද දෙවන පාතැබුමෙහි පාචිත්තියද වේ යයි මහාපච්චරියෙහි කියනලදී. ගමින් නික්ම අතුරු ගමෙහි උපචාරයට නොබසිත්ද, මේ අතරෙහි සංවිදහනය කළ කල්හිද, මහණහුට දුක්කටය වේ. උපචාරයට බැස ගැනීම නිමිතිකොට පළමු කියූ නයින්ම ඇවැත් වේ. ඉදින් දුර යනු කැමැත්තාහු වෙත්ද, ග්‍රාමොපචාර ගණනින් බැසීම බැසීම නිමිති කොට ඇවැත් වේ. ඒ ඒ ගම ඉක්මීම නිමිතිකොට ඇවැත් නොවේ. ඉදින් මෙහෙණ තොමෝ ‘අසුවල් ගමට යන්නෙමි’යි අසපුවෙන් නික්මේද, මහණතෙමේත් ඒ ගම සඳහාම අසුවල් ගමට යන්නෙමියි වෙහෙරින් නික්මේද, නැවැත දෙදෙනම ගම්දොරදී එක්ව ‘තෙපි කොතැනක යහුද, අසුවල් ගමටය. තෙපි කොතැනකද, අපිදු එහිමැ’යි කියා ‘එව, දැන් යමු’යි එක්ව බැණගෙණ යෙත්ද, ඇවැත් නොවේ. කුමක් හෙයිනයත්: පෙරම යන්නෙමි’යි නික්මුනු බැවිණියි මහාපච්චරියෙහි කියනලදී. ඒ කීම පෙළ හා සමනොවේ. සෙසු අර්‍ත්‍ථකථාවන් හාද සම නොවේ.
‘අද්ධයොජනෙ අද්ධයොජනෙ’ එක් එක් අඩයොදුන ඉක්මවන මහණහුට දෑස් ඉක්මවන්නෙමි’යි පළමු පියෙහි දුක්කටය වේ. දෙවන පියෙහි පාචිත්තිය වේ. මෙම නයයෙහි ඉක්මීම නිමිතිකොට ඇවැත් වේ. බැස ගැණීම නිමිතිකොට ඇවැත් නොවේ.
“භික්‍ඛු සංවිදහති” නුවර දොර වෙතදී හෝ වීථියෙහිදී හෝ මෙහෙණක දැක ‘අසුවල් ගමට පෙර ගියෙහිදැ’යි විචාරාද, ‘ආර්‍ය්‍යයෙනි’ පෙර නොගියෙමි, එව යමු’යි හෝ මම හෙට යන්නෙමි, තීද එව’යි හෝ කියයි. ‘භික්‍ඛුණි සංවිදහති’ ග්‍රාමාන්තරයෙහි සෑ වඳිනු පිණිස ගමින් නික්මුනු මහණකු දැක ‘ආර්‍ය්‍යයෙනි’ නොතැන යනුදැ’යි විචාරයි. ‘අසුවල් සෑය වදිනු පිණිසැ’යි මහණ තෙමේ කියයි. ‘ආර්‍ය්‍යයෙනි’ මමද එමි’යි මෙසේ මෙහෙණ තොමෝම විධාන කරයි. මහණතෙමේ විධාන නොකරයි.