නාවාභිරූහන ශික්ෂාපද වර්ණනාව
අෂ්ටම ශික්ෂාපදයෙහි “සංවිධාය” ලොකාස්වාද වශයෙන් හෝ මිත්ර සන්ථව වශයෙන් හෝ කෙළනා සිත් පෙරටු කොට ඇත්තාහු සංවිධාන කොට. “උද්ධගාමිනිං” ගඟ ඉහළට උඩුගං බලා යන. යම්හෙයකින් වනාහි යම් මහණෙක් තෙමේ උඩුගං බලා යන බැවින් උජ්ජවනිකා නම් නැවකින් ක්රිඩා කෙරේද, හෙතෙමේ උඩුගං බලා යන නැවකට නගීයයි කියනු ලැබේ. එහෙයින් මේ පද පිළිබඳ පදභාජනයෙහි අර්ත්ථය දක්වනු පිණිසම උජ්ජවනිකායයි කියන ලදී. “අධොගාමිනිං” යටට. යටිගං බලා යන යම්හෙයකින් වනාහි යම් මහණෙක් තෙමේ යටිගං බලා යන බැවින්, ඔජවනිකා නම් නැවකින් ක්රිඩා කෙරේද, හෙතෙමේ යටිගං බලායන නැවකට නගීයයි කියනු ලැබේ. එහෙයින් මේ පද පිළිබඳ පදභාජනයෙහි අර්ත්ථය දක්වනු පිණිසම ඔජවනිකායයි කියන ලදී. එහි තොට පිළියෙල කරනු පිණිස යම් නැවක් උඩු ගඟට හෝ යටිගඟට හෝ පදිත්ද, මෙහි ඇවැත් නොවේ. “තිරියං තරණාය” ද්විතීයාර්ත්ථයෙහි පඤ්චමී වචනයි.
“ගාමන්තරෙ ගාමන්තරෙ” මෙහි යම් නදියක එක් තෙරක්. කුක්කුටසම්පාදක ගම්වලින් අතර රහිත වේද, එක් තෙරක් ගම නොවූ අරණ්යයත් වේද, ඒ ගඟෙහි ගමසහිත ඉවුරු පසින් යනකල්හි ග්රාමාන්තර ගණනින් පාචිත්තියයෝ වෙත්. ගම් රහිත ඉවුරුපසින් යන කල්හි අඩ යොදුන් ගණනින් පාචිත්තියයෝ වෙත්. යම් ගඞ්ගාවක් තොමෝ යොදුනක් පුළුල ඇත්තීවේද, ඒ ගඟෙහි මැදින් යන කල්හිද අඩ යොදුන් ගණනින් පාචිත්තීහු දතයුත්තාහ. “අනාපත්ති තිරියං තරණාය” හුදෙක් නදියෙන් පමණෙක් නොවේ. යමෙක් වනාහි මහතොට පටුනෙන් තාමලිප්තියට හෝ ස්වර්ණභූමියට හෝ යේද, ඒ මහණහුටද ඇවැත් නොවේ. සියලු අර්ත්ථකථාවන්හි ගඟෙහිම ඇවැත් විචාරණ ලදී. මුහුදෙහි විචාරණය නොකරන ලදී.
“විසඞ්කෙතෙන” මෙහිද කාල විසඞ්කතයෙන්ම ඇවැත් නොවේ. තීර්ථ විසඞ්කෙතයෙන් හෝ නාවා විසඞ්කෙතයෙන් හෝ යන්නහුට ඇවැත්ම වේ. සෙස්ස සමුත්ථානාදිය සමග ප්රථම ශික්ෂාපදය සමානම වේ.
අටවන නාවාභිරූපණ ශික්ෂාපදයයි
පරිපාචිත ශික්ෂාපද වර්ණනාව
නවම ශික්ෂාපදයෙහි “මහානාගෙ තිට්ඨමානෙ” සප්තමාර්ත්ථයෙහි ද්විතීයාවචනයි. ශ්රේෂ්ඨයන් සිටුනා කල්හි යන අර්ත්ථයි. නොහොත් සිටින ශ්රේෂ්ඨයන් නොදැකැයි මෙහි පාඨශෙෂය දතයුතුය. අන් අයුරකින් වනාහි අර්ත්ථය නොයෙදේ. “අන්තරාකථා” කෙළවරට නොපැමිණ. ආරම්භයෙහිද, අවසානයෙහිද මැද තැනට පැමිණි කථා තොමෝ විප්පකථායයි කරන ලද්දී වේ. “සච්චං මහානාගා ඛො තයා ගහපති” අඩ ඇසින් බලමින් පිවිසෙන මහතෙරුන් දැක ඔවුන් විසින් ඇසූබව දැන මෙසේ කීයේය.
“භික්ඛුණිපරිපාචිතං” මෙහෙණ විසින් සපයන ලද ගුණ පැවසීමෙන් නිපදවන ලද ලැබිය යුත්තක් කරන ලදය යන අර්ත්ථයි. මේ සිකපදයෙහි පදභාජනයෙහි මෙහෙණද ඒ මෙහෙණගේ සැපයීම් ආකාරයද දක්වනු පිණිස ‘භික්ඛුණී නාමා උභතො සඞ්ඝෙ උපසම්පන්නා, පරිපාචෙති නාම පුබ්බෙ අදාතුකාමානං’ යනාදිය වදාරන ලදී. “පුබ්බෙ ගිහීසමාරම්හො” මෙහි “පුබ්බෙ” යනු පළමු කොට. “සමාරම්හො” මොනවට ඇරඹූ බව කියනු ලැබේ. පිළියෙල කරන ලද්දට මේ නමෙකි. ගිහීන් විසින් සපයන ලද්ද, ගිහිසමාරම්හ නමි. මෙහෙණගේ සැපයීමෙන් පළමුකොටම ගිහීන් විසින් යම් බතක් පිළියෙල කරන ලදද, ඒ හැර ඒ පිණ්ඩපාතය තබා අනිකක් අනුභව කරන මහණහුට ඇවැත් වේ. ඒ බත් අනුභව කරන මහණහුට ඇවැත් නොවේයයි කියන ලදී. පදභාජනයෙහි වනාහි යම්හෙයකින් නෑයන් විසින් පවරන ලද්දවුන් විසින් හෝ මහණක්හුගේ ප්රයෝජනය පිණිස නොඇරඹූද පිණ්ඩපාතය අර්ත්ථ වශයෙන් මොනවට අරඹන ලද්දේම වේ. සුවසේ ගෙන්වා ගත යුතු බැවිනි. එහෙයින් ව්යඤ්ජනය අල්ලා නොගෙන අර්ත්ථයම දක්වනු පිණිස “ගිහීසමාරම්හො නාම ඤාතකා වා හොන්ති පවාරිතා වා” වදාරන ලද්දේය.
“පකතිපටියත්තං” ප්රකෘතියෙන් ඒ මහණහුගේම ප්රයෝජනය පිණිස ‘තෙරුන්හට දෙන්නෙමු’යි පිළියෙල කරන ලද්දේ වේ. මහාපච්චරියෙහි වනාහි ඒ අනිකක්හටයයි නොකියා මහණුන්ට දෙන්නෙමු’යි පිළියෙල කරන ලද්දේයයි විශෙෂයක් නොතබා තියන ලදී.
“පඤ්ච භොජනානි ඨපෙත්වා සබ්බත්ථ අනාපත්ති” කැඳ කැවිලි කුදුමහත් පලයෙහි යන හැමතන්හි මෙහෙණ විසින් සපයන ලද්දෙහිද ඇවැත් නොවේ. සෙස්ස ප්රකටමය. ප්රථම පාරාජිකසමුත්ථානිකය. කායචිත්තයෙන් උපදි. ක්රියාසමුත්ථානය. සංඥාවිමොක්ෂය. සචිත්තකය. ප්රඥප්තිවද්යය. කායකර්මයි. ත්රිචිත්තයි. ත්රිවෙදනයි.
නවවන පරිපාචිත ශික්ෂාපදයයි.
රහෝනිසජ්ජ ශික්ෂාපද වර්ණනාව
දශම ශික්ෂාපදයෙහි සියලු පාල්යර්ත්ථයද, විනිශ්චයද, දෙවන අනියතයෙහි කියූ නයින්ම දතයුතුය. මේ ශික්ෂාපදය දෙවන අනියතය හාද, මත්තෙහි අචෙලක වර්ගයෙහි පස්වන උපනන්ද ඇරැඹැ පැණවූ සිකපද අතුරෙහි සිවුවන සිකපදය සමග එක් පිරිසිඳීමෙක් ඇත්තේය. අර්ත්ථොත්පත්ති වශයෙන් වෙන්ව පනවන ලදී.