සප්පාණක ශික්‍ෂාපද වර්ණනාව
දශම ශික්‍ෂාපදයෙහි “ජානං සප්පාණකං” මේ ජලය තෙමේ පණුවන් සහිතය’යි යම් කිසි අයුරකින් දන්නේ. “සිඤ්චෙය්‍ය වා සිඤ්චාපෙය්‍ය වා” ඒ ජලයෙන් තෙමේ හෝ ඉසින්නේය. අණවා අනිකකු ලවා හෝ ඉස්වන්නේය. මෙසේ කරන කරවන මහණහුට පාචිත්තිය වේ. පෙළෙහි වනාහි “සිඤ්චෙය්‍යාති සයං සිඤ්චති” යන මෙබඳු වචනයන්ගේ අර්‍ත්‍ථය පෙර කියූ නයින්ම දතයුතුය.
එහි දිය දහර නොසිඳ ඉසින මහණහුට එක් දිය කළයක් නිමිතිකොට එක්ම ඇවැතක් වේ. සියලු බඳුන්හි මෙම නය වේ. දියදහර සිඳින මහණහුට ප්‍රයොගයක් ප්‍රයොගයක් පාසා ඇවැත් වේ. දිය ඇල තමා දෙසට හරවාද, දවසක් නමුදු ගලා යේවා, එක්ම ඇවැතක් වේ. ඉදින් ඒ ඒ තැන බැඳ අනික් අනික් තැනකින් පමුණුවාද, ප්‍රයොගයක් ප්‍රයොගයක් පාසා ඇවැත් වේ. ගැලක් බර පමණ නමුදු තණ එක් ප්‍රයොගයකින් දියෙහි බහාද, එක්ම ඇවැතක් වේ. එක් එක් තෘණයක් හෝ පත්‍රයක් හෝ දියෙහි බහන මහණහුට ප්‍රයොගයක් ප්‍රයොගයක් පාසා ඇවැත් වේ. මැටියෙහි හා අන් ලී දඬු ගොම ආදීන් අතුරෙහිද මෙම නයවේ. මේ තණමැටි බැහීම වනාහි මහත් ජලයක් සඳහා නො කියනලදි. යම් ජලයක් තෘණයෙහි හෝ මැටියෙහි හෝ බැහීමෙන් දිය සිඳීමෙන් කෙළවරට යේද, කැළඹුනේ හෝ වේද, යම් තැනක පණුවෝ මැරෙත්ද, එබඳු ජලය සඳහා කියන ලද්දේයයි දතයුතුය. මෙහි සෙස්ස ප්‍රකටමය.
ත්‍රිසමුත්‍ථානිකය. කායචිත්තයෙන්ද වාචාචිත්තයෙන්ද, කායවාචාචිත්තයෙන්ද උපදී. ක්‍රියාසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
දසවන සප්පාක ශික්‍ෂාපදයයි.
වර්‍ණනා ක්‍රමයෙන් දෙවන වූ සෙනාසන වර්‍ගය සමාප්තය.
භික්ඛුනෝවාද වර්‍ගය
ඕවාද ශික්‍ෂාපද වර්ණනාව
භික්‍ෂුණී වර්‍ගය පිළිබඳ ප්‍රථම ශික්‍ෂාපදයෙහි “ලාභිනො හොන්ති” මෙහි මෙහෙණන්ට අවවාද කරන ඒ මහණුන්ට මෙහෙණෝ නොදෙත්. නොදෙවත්. මහත් කුලයන්ගෙන් නික්ම පැවිදි වූ කුලදුහිතෘහු ‘ආර්‍ය්‍ය වෙති’ කොතැනින් අවවාද උදෙසීම් පිළිවිසීම් ලබවුදැ’යි විචාරන්නාවූ තමන් වෙත පැමිණි නෑ මිනිසුන්ට ‘අසුවල් අසුවල් ස්ථවිර’ තෙමේ අවවාද කෙරේය’යි අසූමහාසව්වන් උදෙසා ‘ඒ ස්ථවිර තෙමේ කෙබඳු සිල් ඇත්තේද, කෙබඳු හැසිරීම් ඇත්තේද, කවර කුලයකින් නික්ම පැවිදි වූයේද යනාදි ලෙසින් විචාරන්නවුන්ට පෘච්ඡාකථානුසාරයෙන් ඒ මහතෙරුන්ගේ ශීලශ්‍රැත ආචාරජාති ගොත්‍රාදිභෙදවත් විද්‍යමාන ගුණ ප්‍රකාශ කෙරෙත්. මෙබඳු වූ විද්‍යමාන ගුණ පැවසීම වටියි. එයින් පහන් සිත් ඇති මිනිස්සු තෙරවරුන්ට චීවරාදීවූ මහත් ලාභසත්කාර එළවූහ. එහෙයින් ‘ලාභිනො හොන්ති චීවර -පෙ- පරික්‍ඛාරානං’යි කියන ලදී.
“භික්‍ඛුනියො උපසඞ්කමිත්‍වා” ඒ ෂඩ්වර්ගික භික්‍ෂූන් වෙතට ඒ මෙහෙණන් අතුරෙහි එක් මෙහෙණකුදු නොපැමිණේ. ලාභතෘෂ්ණාවෙන් අදිනු ලබන හෘදය ඇත්තාහු ඒ මෙහෙණන්ගේ වෙරෙහරට ගියහ. ‘භික්‍ඛුනියො උපසඞ්කමිත්‍වා’ යන ඒ සඳහා කියන ලදී. ඒ මෙහෙණෝ සසල සිත් ඇති බැවින් ඒ ෂඩ්වර්ගික භික්‍ෂූන්ගේ වචනය කළාහුමය. එහෙයින් ‘අථ ඛො තා භික්‍ඛුනියො -පෙ- නිසීදිංසු’ යනු කියනලදී. “තිරච්ඡානකථං” සගමග ගමනෙහි පවා සරස් වූ රාජකථාදී වූ නන්වැදෑරුම් නිරර්‍ත්‍ථකකථා “ඉද්ධො” සමෘද්ධ වූයේද. අර්‍ත්‍ථයෙන් යුක්ත වූයේද, අර්‍ත්‍ථගාම්භීර්‍ය්‍යයෙන් ගැඹුරුවූයේද අර්‍ත්‍ථරසාදි බොහෝ රස ඇත්තේද ලක්‍ෂණ ප්‍රතිවෙධයෙන් යුක්තවූයේද යන අදහසය.
“අනුජානාමි භික්‍ඛවෙ” මෙහි යම්හෙයකින් ඒ භික්‍ෂූහු ‘මහණෙනි’ තෙපි මෙහෙණන්ට අවවාද නොකරවු’යි කියනු ලබන්නාහු නොදුටු, චතුස්සත්‍යය ඇති බැවින් තථාගතයන් වහන්සේ කෙරෙහි වෛර බැඳ අපායයට පැමිණෙන්නෝ වන්නාහුද, එහෙයින් ඔවුන්ගේ ඒ අපායයට පැමිණීම දුරුකරන්නාවූ භාග්‍යවතුන් වහන්සේ අනික්ම උපායයකින් ඒ ෂඩ්වර්ගික භික්‍ෂූන් මෙහෙණට කරන අවවාදයෙන් බැහැර වූවන් කරනු කැමැතිසේක් මේ භික්‍ෂුණි ඔවාදක සම්මුතිය අනුදත්හ’යි දතයුතුය. මෙසේ මෙහි පරිබාහිරයන් කරනු කැමැති බැවින් අනුදැන මත්තෙහි පරිබාහිරයන් කරමින්ම “අනුජානාමි භික්‍ඛවෙ අට්ඨභඞ්ගෙහි සමන්නාගතං” යනාදිය වදාළ සේක. මේ අෂ්ටාඞ්ගයෝ ෂඩ්වර්ගික භික්‍ෂූන්ට සිහිනෙනුදු පෙර නොවූ විරූහ.
එහි ශිලය මේ මහණහුට ඇතැයි සීලවා නම. දැන් යම් ඒ ශීලයෙක් වේද, යම්සේ ඒ ශීලය ඔහුට ඇත්තේ නම් වේද, එය දක්වමින් “පාතිමොක්‍ඛසංවරසංවුතො” යනාදිය වදාළ සේක. එහි චාරිත්‍ර වාරිත්‍ර ශික්‍ෂාපද සඞ්ඛ්‍යාත ප්‍රාතිමොක්‍ෂයම සංවර වූයේ පාතිමොක්‍ඛසංවර නමි. ප්‍රාතිමොක්‍ෂ සංවරයෙන් පිහිත කායවාග්ද්වාර ඇත්තේ එයින් සමන්‍වාගත වූයේයි පාතිමොක්‍ඛසංවරසංවුත නමි.
“විහරති” ආත්මභාවය පවත්වන්නේය. ධ්‍යානවිභඞ්ගයෙහිද -
“පාතිමොක්‍ඛං” යනු ශීලය වේ. භික්‍ෂු ශාසනයෙහි පිහිටානුයි ප්‍රතිෂ්ඨාව වේ. පූර්‍වෙත්පත්ති වශයෙන් ආදිය වේ. නිවන් ගමනෙහි චරණය වේ. සංයමන විසින් සංයමය වේ. සංවරණ විසින් සංවරය වේ. චාතුර්භුමික කුශලයන්ට ශීලමුඛයෙන් වැද අර්‍ත්‍ථසිද්ධිය සිදුකරන බැවින් මොක්‍ෂය වේ. චාතුර්භුමික කුසලයන්ගේ ප්‍රතිලාභය පිණිස ප්‍රධාන වේයයි මෙය වදාරන ලද්දේය. “සංවරො” යනු ත්‍රිවිධ කාය සුචරිතය නොඉක්මවීමය. චතුර්විධ වාක්සුචරිතය නොඉක්මවීමය. කායසුචරිතවචීසුචරිත නොඉක්මවීමය “සංවුතො” යනු මේ ප්‍රාතිමොක්‍ෂ සංවරයෙන් යුක්තවූයේය. මොනවට යුක්තවූයේය. ප්‍රාතිමොක්‍ෂ සංවරයට පැමිණියේය. මොනවට පැමිණියේය. උප්පන්න වේ. සමුප්පන්න වේ. සමන්‍වාත වේ. එහෙයින් ‘පාතිමොක්‍ඛසංවර සංවුතැ’යි කියනු ලැබේ. ‘විහරති’ යනු චතුර්විධ ඊර්‍ය්‍යාපථයන් අතුරෙහි එක්තරා එකෙක යෙදීමෙන් පවති. ඒ ඊර්‍ය්‍යාපථ චතුෂ්කයෙන් කායසකට වර්‍තනයෙන් පවති. එක් ඊර්‍ය්‍ය පථයක් අනික් ඊර්‍ය්‍යාපථයකින් වළකා චිරස්ථිතක භාවයෙන් සිරුර රැකීමෙන් පාලනය කරයි. එක් ඊර්‍ය්‍යපථයෙක නොසිට සියලු ඊර්‍ය්‍යාපථයන්හි පැවතීමෙන් තබයි. ඒ ඒ ඊර්‍ය්‍යපථයෙන් ඒ ඒ ලෙසින් සිරුර පැවැත්වීමෙන් සාපනය කරයි. බොහෝ කල් පැවැත්වීමෙන් හැසිරෙයි. ඊර්‍ය්‍යපථයෙන් ඊර්‍ය්‍යපථය සිඳහැර දිවි පවත්වන බැවින් වාසය කරයි. එහෙයින් “විහරති”යි කියනු ලැබේ.
“ආචාරගොචරසම්පන්නො” මිත්‍ථ්‍යාජීවය වළකන වෙළුදානාදියෙන් නොවූ ආචාරයෙන්ද, වෙශ්‍යාදි අගොචර හැසිරීම් හැර ශ්‍රද්ධාසම්පන්නකුලාදිය ඇසුරු කිරීම වූ ගොචරයෙන් යුක්ත වූයේය. “අනුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී” ස්වල්පමාත්‍ර වූ නොදැන පැමිණි සෙඛිය අකුසල චිත්තුප්පාදාදි භෙද ඇති හැරිය යුතු තන්හි භය වසයෙන් දක්නා සුලුව. ඒ හැරිය යුතු වරද භය වසයෙන් දක්නා සුලුවයයි කියන ලද්දේ වේ. “සමාදාය සික්‍ඛාපදෙසු” අධිශීල ශික්‍ෂාදිභාවයෙන් ත්‍රිවිධ වූ ශික්‍ෂාපදයෙන්හි ඒ ඒ ශික්‍ෂාපදය දැඩිව ගෙණ මනාකොට ගෙණ මැනවින් ගෙණ අත් නොහරිමින් හික්මේය යන අර්‍ත්‍ථයි. මෙහි මේ කෙටිකථාය. යමෙක් විස්තර කැමැත්තේ නම් ඔහු විසින් විශුද්ධිමාර්‍ගයෙන් ගතයුතුය.