දුට්ඨුල්ලාරෝචන ශික්‍ෂාපද වර්ණනාව
නවම ශික්‍ෂාපදයෙහි “දුට්ඨුල්ලා නාම ආපත්ති චත්තාරි පාරාජිකානි තෙරස ච සඞ්ඝාදිසෙසො” යන මේ පාළියෙහි ‘පාරාජිකානි’ යනු දුට්ඨුල්ල ශබ්දයාගේ අර්‍ත්‍ථ දක්වනු පිණිස කියන ලද්දේය. සඞ්ඝාදිසෙසය මෙහි අදහස් කරන ලදැයි අර්‍ත්‍ථකථාවන්හි කියන ලදී. එහි මේ විචාරණයයි. ඉදින් අනුපසම්පන්නයක්හට පාරාජිකාපත්තියක් සැලකරන මහණහුට පාචිත්තියාපත්තිය නොවන්නීනම් භික්‍ෂු භික්‍ෂුණීන් පිළිබඳ උපසම්පන්න ශබ්දය යම්සේ සමාන කල්හි යම් තැනක භික්‍ෂුණී තොමෝ අදහස් නොකරන ලද්දීවේද, එහි භික්‍ෂූහු හැර සෙසු දෙන අනුපසම්පන්නයි කියනු ලැබෙත්. මෙසේ මෙහි පාරාජික සඞ්ඝාදිසෙසයන්ට දුට්ඨුල්ල ශබ්දය සමාන කල්හිද පාරාජිකාපත්තිය අදහස් නොකරන ලද්දී නම් ‘දුට්ඨුල්ලාපත්ති නම් තෙරස සඞ්ඝාදිසෙසයෝ’යි මේම කියයුතු වන්නේය. යම් මහණක් තෙමේ පාරාජිකාපත්තියට පැමිණියේ වේද, ඒ මහණතෙමේ භික්‍ෂුභාවයෙන් චුතවූයේ වේ. එහෙයින් ඒ මහණහුට ඇවැත ආරොචනය කරන්නේ දුක්කටයට පැමිණේදැයි එහි විමති වන්නේය. මෙසේ ඇති කල්හි ඔමසවාදයෙන් ආක්‍රොශ කරන්නේද දුක්කටයට පැමිණේ නම් පාචිත්තියටත් පැමිණේමය. ‘පුද්ගල තෙමේ එක්තරා පාරාජිකාපත්තියකට පැමිණියේ අපිරිසිදු වේ. අශුද්ධදෘෂ්ටි ඇතියෙක් ඔහුට ඔකාස කරවා ආක්‍රොශ කරන අදහස් ඇතිව කියා නම් ඔමසවාදපාචිත්තියාපත්තියට පැමිණීම වේය’යි මෙය වදාරන ලද්දේය. මෙසේ පාළිය විචාරනු ලබන කල්හි පාරාජිකාපත්තිය ආරොචනය කරන මහණහුටද පාචිත්තියම දන්නා ලැබේද, කිසිසේත් දක්නා ලැබේ. කුමක්හෙයින, යත්: සියලු අර්‍ත්‍ථකථාවන්හි කියූ බැවිනි. අර්‍ත්‍ථකථාචාර්‍ය්‍යයෝම මෙහි ප්‍රමාණ වෙත්. අනික් විමසීමක් නැත්තේය. පෙරද ‘බුද්ධෙන ධම්මො විනයොච වුත්තො, යො තස්ස පුත්තෙහි තථෙව ඤාතො’ යනාදිය කීම්හ. අර්‍ත්‍ථකථාචාර්‍ය්‍යයෝ වනාහි බුදුරජාණන් වහන්සේගේ අදහස දනිත්,
මෙද මේ ක්‍රමයෙන් දතයුතුය. භික්‍ෂුසම්මුතිය හැරැයි කියන ලද්දේය. භික්‍ෂු සම්මුතියෙන් ආරොචනය කිරීමද මත්තෙහි සංවරය පිණිසය. නැවැත එබඳු ඇවැතකට නොපැමිණීම පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් අනුදන්නා ලදී. ඒ මහණහුගේ අවර්‍ණමාත්‍රයක් පවසනු පිණිස නොවේ. ශාසනයෙහි හෝ මේ මහණහුට පිහිට වළකනු පිණිස නොවේ. පාරාජිකාපත්තියට පැමිණි මහණහුගේ, නැවැත එබඳු ඇවතට නොපැමිණීම් හේතුවෙන් භික්‍ෂුභාවයෙක් නම් නැත්තේය. එහෙයින පාරාජිකානි දුට්ඨුල්ලසද්දත්‍ථදස්සනත්‍ථං වුත්තානි සඞ්ඝාදිසෙසං ඉධ අධිප්පෙතං’යි යමක් අර්‍ත්‍ථකථාවන්හි කියන ලද්දේ ද, එය මනාකොට කියන ලද්දේමය.
“අර්‍ත්‍ථ භික්‍ඛුසම්මුති ආපත්තිපරියන්තා” යනාදියෙහි වනාහි යම් මේ භික්‍ෂු සම්මුතියක් කියන ලදද, ඕතොමෝ කිසි තැනක නොආය. මෙහි කියූ බැවින්ම නිතර ඇවැතුනට පැමිණෙන මහණකු දැක මෙසේ මෙතෙමේ අනුන් කෙරෙහි හිරිඔතප් දෙකෙනුදු මත්තෙහි සංවරයට පැමිණෙන්නේයයි ඒ මහණහුට වැඩ සොයන බැවින් තුන් යලක් අපලොකනය කොට සඞ්ඝයා විසින් කටයුත්තීය’යි දතයුතුය.
“අදුට්ඨුල්ලං ආපත්තිං ආරොචෙති ආපත්ති දුක්කටස්ස” පඤ්චවිධ ආපත්තිස්කන්‍ධයන් අනුපසම්පන්නයක්හට ආරොචනය කරන මහණහුට දුක්කටය වේ. මහාපච්චරියෙහි වනාහි පාරාජිකාපත්තියක් ආරොචනය කරන මහණහුටද දුක්කටයම කියනලදී. “අනුපසම්පන්නස්ස දුට්ඨුල්ලං වා අදුට්ඨුල්ලං වා අජ්ඣාචාරං” යන මෙහි ආදියෙහි ප්‍රාණඝාතාදි ශික්‍ෂාපද පස දුට්ඨුල්ල නම්වූ අද්ධ්‍යාචාරය වේ. විකලභොජනාදීවූ සෙසු සිකපද අදුට්ඨුල්ල නම් අධ්‍යචාරයයි. සුක්කවිසට්ඨි - කායසංසග්ගරාග- දුට්ඨුල්ලය අත්තකාමය මේ ශික්‍ෂාපදයාගේ අද්ධ්‍යචාර නමැයි කියන ලදි.
“වත්‍ථුං ආරොචෙති” මේ සුක්කවිසට්ඨියට පැමිණි මෙතෙමේ දුට්ඨුල්ලයට පැමිණියේය. අත්තකාමපාරිචරියාවට පැමිණියේය. කායසංසග්ගරාගයට පැමිණියේයයි මෙසේ කියන මහණහුට ඇවැත් නොවේ. “ආපත්තිං ආරොචෙතිං” මෙතෙමේ පාරාජිකයට පැමිණියේය, සඞ්ඝාදිසෙසයට, ථුල්ලච්චයට, පාචිත්තියට, පාටිදෙසනීයට, දුක්කටයට. දුබ්භාසිතයට පැමිණියේය’යි කියා නම් ඇවැත් නොවේ. ‘මේ මහණ ශුක්ල මුදා සඞ්ඝාදිසෙසයට පැමිණියේය, යනාදි නයින් වස්තුව සමග ඇවැත ගටා ආරොචනය කරන මහණහුටම ඇවැත් වේ. මෙහි සෙස්ස ප්‍රකටමය.
ත්‍රිසමුත්‍ථානිකය. කායචිත්තයෙන්ද වාචාචිත්තයෙන්ද කායවාචාචිත්තයෙන්ද උපදී. ක්‍රියාසමුත්‍ථානිකය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. අකුශල චිත්තයි. දුක්‍ඛවෙදනයි.
නවවන දුට්ඨුල්ලාරොචන ශික්‍ෂාපදයයි.
පඨවිඛණන ශික්‍ෂාපද වර්ණනාව
දසවන ශික්‍ෂාපදයෙහි “ජානා ච පඨවි අජාතා ච පඨවි” යන මේ පදයන්ගෙන් ජාතපඨවියත් අජාතපඨවියත් දක්වන්නේය. “අප්පපාසාණ” යනාදීන් අතුරෙහි ‘මදක් පාසාණ මෙහිනු’යි අප්පපාසාණයි. මෙසේ අර්‍ත්‍ථය දතයුතුය. එහි මිට පමණින් මත්තෙහි වූ පාසාණයෝයි දතයුතුය. මිට පමණවූ ගල්කැට “සක්‍ඛරා” නම්වෙත්. “කඨලා” කැට කැබැලිති. “මරුම්බා” කැටගල් “වාලිකා” වැලිමි. “යෙභුය්‍යෙන පංසු” තුන් කොටසින් දෙකොටසක් පස්. එක් කොටසක් පාසාණාදීන් අතුරෙහි එක්තරා කොටසෙකි. “අදඩ්ඪාපි” උඳුන් පාපිසුම් කුඹල්වප් ආදීන්ගේ වසයෙන් ඒ ඒ පරිදි නොදැවුනු බිම. ඒ බිම වෙන්ව නැත්තීය. පිරිසිදු පස් ආදීන් අතුරෙහි එක්තරා බිමක්ම දතයුත්තීය. “යෙභුය්‍යෙන සක්‍ඛරා” ඉතා බොහෝවූ මිට පමණ ගල්කැට ඇති බිම. හස්තිකුක්‍ෂි ප්‍රදෙශයෙහි එක් පැසක් පුරවා ගෙන්වා දෙණක ලා සෝදා පොළොවෙහි බොහෝ සෙයින් ගල්කැට ඇතිබව දැන භික්‍ෂූහු තුමූ පොකුණක් සෑරූහ. ‘මජෙක්‍ඛ අප්පපංසු අප්පමත්තිකා’යි යම් දෙපදකෙනෙක් වෙත්ද, ඒ දෙපදයෝ බොහෝ සෙයින් පාසාණාදිපඤ්චකයටම ඇතුළත් වෙත්. ඒ දෙපදයන්ගේම මේ ප්‍රභෙද දැක්වීමය. “සයං ඛන්ති ආපත්ති පාචිත්තියස්ස” යන මෙහි පහරක් පහරක් පාසා පාචිත්තිය දතයුතුය. “සකිං ආණනෙති බහුකම්පි ඛන්තො” මුළු දවස සාරාද, වරක් ඇණවූ මහණහුට එක්ම පාචිත්තියක් වේ. ඉදින් කුසීතවේද, නැවැත නැවැත ඇණවිය යුත්තේය. ඒ කුසීතයා අනවා සාරවන මහණහුට වචනයක් වචනයක් පාසා පාචිත්තිය වේ. මේ වනාහි පාලිවර්‍ණනා තොමෝය.