භූතාරෝචන ශික්‍ෂාපද වර්ණනාව
අෂ්ටම ශික්‍ෂාපදයෙහි වස්තුකථාවෙහි පළමුකොට යමක් කියයුතු වන්නේ නම් ඒ සියල්ල සතරවන පාරාජික වර්‍ණනාවෙහි කියූ නය ඇත්තේමය. එහි මේ විශේෂය වේ: එහි අවිද්‍යාමාන ගුණය සැලකළහ. මෙහි විද්‍යමානගුණය සැලකළහ. විද්‍යමාන ගුණයත් අවිද්‍යාමන ගුණයත් පෘථග්ජනයෝ සැලකළහ. ආර්‍ය්‍යයෝ නොවෙති. ආර්‍ය්‍යයන්ගේ වනාහි ප්‍රයුක්තවචනයෙක් නම් නැත්තේය. තමන්ගේ ගුණය සැලකරන කල්හි අන්‍යයෝ නොවැළකූහ. එසේ උපන් ප්‍රත්‍යයයන්ද ඉවසූහ. එසේ උපන්බව නොදන්නාවූ
“අථඛො තෙ භික්‍ඛු භගවතො එතමත්‍ථං ආරොචෙසුං” යනාදියෙහි යම් කෙනෙක් තුමූ උත්තරිමනුෂ්‍ය ධර්‍මය පිළිබඳ ගුණ කියවාහුද, ඔවුහු සැල කළහයි දතයුතුය. “කච්චි පන වො භික්‍ඛවෙ භූතං” කීම, මහණෙනි, තොපගේ විද්‍යමාන වූවක්දැ’යි විචාළ කල්හි සියල්ලෝම “භූතං භගවා” භාග්‍යවතුන් වහන්ස විද්‍යාමනය’යි පිළින කළහ. ආර්‍ය්‍යයන්ගේම අභ්‍යන්තරයෙහි උත්තරිමනුෂ්‍ය ධර්‍මය විද්‍යාමානයයි එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආර්‍ය්‍ය මිශ්‍ර බැවින් ‘තුච්ඡපුරුෂයෙනි’යි නොවදාරා “කථං හි නාම තුම්හෙ භික්‍ඛවෙ” ‘මහණෙනි’ තෙපි කෙසේ නම්’යි වදාරා “උදරස්ස කාරණා” යනාදිය වදාළ සේක. එහි යම්හෙයකින් ආර්‍ය්‍යයෝ අන්‍යයන් අතින් අසා ‘ස්වාමීනි’ ආර්‍ය්‍යය තෙමේ සෝවාන්දැ’යි යනාදි නයින් ප්‍රසන්නමනුෂ්‍යයන් විසින් විචාරනු ලබන්නාහු ශික්‍ෂාපදය නොපැනවූ කල්හි ආදීනව නොදක්නෝ පිරිසිදු සිත් ඇති බැවින් තමන්ගේද අන්‍යයන්ගේද විශේෂාධිගමය පිළින කළහ. මෙසේ පිළින කරන්නාවූද ඔවුන් විසින් අන්‍යයෝ උදරය කරුණු කොට උත්තරිමනුෂ්‍යධර්‍මයෙහි ගුණ කියා යම් පිණ්ඩපාතයක් ඉපදෙව්වාහුද, ඒ පිණ්ඩපාතය පිරිසිදු සිත් ඇති බැවින් ඉවසන්නන් විසින්ද, උදරය කරුණු කොට උත්තරමනුෂ්‍ය ධර්‍මයෙහි ගුණය කියන ලද්දක් මෙන් වේ. එහෙයින් සර්‍වසඞ්ග්‍රාහික නයින්ම ‘කථංහි නාම තුම්හෙ භික්‍ඛවෙ උදරස්ස කාරණා ගිහීනං අඤ්ඤමඤ්ඤස්ස උත්තරිමනුස්සධම්මස්ස වණ්ණං භාසිස්සථ’යි වදාළ සේක. සෙස්ස සතරවන පාරාජික වස්තුව සමානම වේ. ශික්‍ෂාපදවිභඞ්ගයෙහිද හුදෙක් එහි පාරාජිකයද ථුල්ලච්චයද පනවා වදාළ සේක. මෙහි විද්‍යමාන බැවින් පාචිත්තියද දුක්කටයද පනවා වදාළ සේක. මේ වෙනසයි. සෙස්ස කියන ලද නයමය.
“උපසම්පන්නස්ස භූතං ආරොචෙති” යනු උත්තරිමනුෂ්‍යධර්‍මය සඳහාම වදාරන ලදී. පිරිනිවන්පාන කාලයෙහි හෝ පිරිනිවන්පාන කාලයෙන් අනික් කාලයෙක හෝ ‘ස්වාමීනි’ කියනු මැනැවැ නුඹවහන්සේ විසින් කුමක් අධිගතදැයි පීඩාකරනු ලබන්නහු විසින් උපසම්පන්නයක්හට විද්‍යමාන ගුණයක් සැලකිරීම වටියි. ශ්‍රැතගුණය පර්‍ය්‍යප්ති ගුණය ශීලගුණය යන මේ ගුණයන් අනුපසම්පන්නයක්හට නමුදු කීම වටියි. ආදිකර්මිකයාහට ඇවැත් නොවේ. ‘උම්මත්තකස්ස’ මෙය වනාහි නොවදාරන ලදි. කුමක්හෙයින, යත්:- මාර්‍ගඵල දෘෂ්ටියෙන් යුක්තවූවන් අතර උමතුවූවකු හෝ විසුරුනු සිත් ඇත්තකු හෝ නොවන බැවිනි. මහාපච්චරියෙහිද ‘ධ්‍යානලාභී තෙමේ වනාහි ධ්‍යානය පිරිහුනු කල්හි උමතුවන්නේය. ඔහුටද භූතාරොචනය කරුණු කොට අනාපත්තිය නොකිය යුත්තීය, විද්‍යමානයාගේම අභාවය හෙයිනැ’යි විචාරණය කරන ලදි. සෙස්ස ප්‍රකටමය.
භූතාරොචන නම්වූ මෙය පෙර සතරවන පාරාජිකයෙහි නොකියනලද ත්‍රිසමුත්‍ථානයෙන් කයින්ද වචනයෙන්ද කායවචායෙන්ද උපදි. ක්‍රියාසමුත්‍ථානිකය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. කුශල ව්‍යාකෘතචිත්තයන්ගෙන් ද්විචිත්තයි. සුඛමද්ධ්‍යස්ථ වෙදනාවෙන් ද්විවෙදනයි.
අටවන භූතාරොචනශික්‍ෂාපදයයි
දුට්ඨුල්ලාරෝචන ශික්‍ෂාපද වර්ණනාව
නවම ශික්‍ෂාපදයෙහි “දුට්ඨුල්ලා නාම ආපත්ති චත්තාරි පාරාජිකානි තෙරස ච සඞ්ඝාදිසෙසො” යන මේ පාළියෙහි ‘පාරාජිකානි’ යනු දුට්ඨුල්ල ශබ්දයාගේ අර්‍ත්‍ථ දක්වනු පිණිස කියන ලද්දේය. සඞ්ඝාදිසෙසය මෙහි අදහස් කරන ලදැයි අර්‍ත්‍ථකථාවන්හි කියන ලදී. එහි මේ විචාරණයයි. ඉදින් අනුපසම්පන්නයක්හට පාරාජිකාපත්තියක් සැලකරන මහණහුට පාචිත්තියාපත්තිය නොවන්නීනම් භික්‍ෂු භික්‍ෂුණීන් පිළිබඳ උපසම්පන්න ශබ්දය යම්සේ සමාන කල්හි යම් තැනක භික්‍ෂුණී තොමෝ අදහස් නොකරන ලද්දීවේද, එහි භික්‍ෂූහු හැර සෙසු දෙන අනුපසම්පන්නයි කියනු ලැබෙත්. මෙසේ මෙහි පාරාජික සඞ්ඝාදිසෙසයන්ට දුට්ඨුල්ල ශබ්දය සමාන කල්හිද පාරාජිකාපත්තිය අදහස් නොකරන ලද්දී නම් ‘දුට්ඨුල්ලාපත්ති නම් තෙරස සඞ්ඝාදිසෙසයෝ’යි මේම කියයුතු වන්නේය. යම් මහණක් තෙමේ පාරාජිකාපත්තියට පැමිණියේ වේද, ඒ මහණතෙමේ භික්‍ෂුභාවයෙන් චුතවූයේ වේ. එහෙයින් ඒ මහණහුට ඇවැත ආරොචනය කරන්නේ දුක්කටයට පැමිණේදැයි එහි විමති වන්නේය. මෙසේ ඇති කල්හි ඔමසවාදයෙන් ආක්‍රොශ කරන්නේද දුක්කටයට පැමිණේ නම් පාචිත්තියටත් පැමිණේමය. ‘පුද්ගල තෙමේ එක්තරා පාරාජිකාපත්තියකට පැමිණියේ අපිරිසිදු වේ. අශුද්ධදෘෂ්ටි ඇතියෙක් ඔහුට ඔකාස කරවා ආක්‍රොශ කරන අදහස් ඇතිව කියා නම් ඔමසවාදපාචිත්තියාපත්තියට පැමිණීම වේය’යි මෙය වදාරන ලද්දේය. මෙසේ පාළිය විචාරනු ලබන කල්හි පාරාජිකාපත්තිය ආරොචනය කරන මහණහුටද පාචිත්තියම දන්නා ලැබේද, කිසිසේත් දක්නා ලැබේ. කුමක්හෙයින, යත්: සියලු අර්‍ත්‍ථකථාවන්හි කියූ බැවිනි. අර්‍ත්‍ථකථාචාර්‍ය්‍යයෝම මෙහි ප්‍රමාණ වෙත්. අනික් විමසීමක් නැත්තේය. පෙරද ‘බුද්ධෙන ධම්මො විනයොච වුත්තො, යො තස්ස පුත්තෙහි තථෙව ඤාතො’ යනාදිය කීම්හ. අර්‍ත්‍ථකථාචාර්‍ය්‍යයෝ වනාහි බුදුරජාණන් වහන්සේගේ අදහස දනිත්,
මෙද මේ ක්‍රමයෙන් දතයුතුය. භික්‍ෂුසම්මුතිය හැරැයි කියන ලද්දේය. භික්‍ෂු සම්මුතියෙන් ආරොචනය කිරීමද මත්තෙහි සංවරය පිණිසය. නැවැත එබඳු ඇවැතකට නොපැමිණීම පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් අනුදන්නා ලදී. ඒ මහණහුගේ අවර්‍ණමාත්‍රයක් පවසනු පිණිස නොවේ. ශාසනයෙහි හෝ මේ මහණහුට පිහිට වළකනු පිණිස නොවේ. පාරාජිකාපත්තියට පැමිණි මහණහුගේ, නැවැත එබඳු ඇවතට නොපැමිණීම් හේතුවෙන් භික්‍ෂුභාවයෙක් නම් නැත්තේය. එහෙයින පාරාජිකානි දුට්ඨුල්ලසද්දත්‍ථදස්සනත්‍ථං වුත්තානි සඞ්ඝාදිසෙසං ඉධ අධිප්පෙතං’යි යමක් අර්‍ත්‍ථකථාවන්හි කියන ලද්දේ ද, එය මනාකොට කියන ලද්දේමය.