පදසෝධම්ම ශික්‍ෂාපද වර්ණනාව
චතුර්‍ත්‍ථශික්‍ෂාපදයෙහි - “අප්පතිස්සා” යටත් පහත් පැවැතුම් නැත්තාහ. උපාසකයහ’යි කියූ කල්හි වචනයකුදු නොඅසනු කැමැත්තාහුය. ආදර රහිතයහ යන අර්‍ත්‍ථයි. ‘අප්පතිස්සායා වා’ යටත් පැවැතුම් නැත්තාහුය යනු අර්‍ත්‍ථයි. “අසභාගවුත්තිකා” විසභාග ජීවිකා ඇත්තාහ. මහණුන් කෙරෙහි යම්සේ පැවැතිය යුතුද, එසේ නොපැවැතිය යුතු පැවතුම් ඇත්තාහුය යන අර්‍ත්‍ථයි.
“පදසො ධම්මං වාචෙය්‍ය” අනුපසම්පන්නයකු සමග පදයක් පදයක් වසයෙන් ධර්‍මය කියන්නේ නම්, කොටස් කොටස් වසයෙන් කියන්නේය යන අර්‍ත්‍ථයි. යම්හෙයකින් කොට්ඨාස යන නාමය ඇති ඒ පදය සිවුවැදෑරුම් වේද, එහෙයින් ඒ දක්වනු පිණිස “පදං අනුපදං අන්‍වක්‍ඛරං අනුබ්‍යඤ්ජනං” පදභාජනයෙහි වදාරන ලදි. එහි ‘පදං’ යන මෙයින් එක් ගාථාපාදයෙක් අදහස් කරන ලද්දේය. “අනුපදං” යනු දෙවන පාදයයි. “අන්‍වක්‍ඛරං” යනු එක් එක් අකුරෙකි. “අනුඛ්‍යඤ්ජනං” යනු පූර්‍ව්‍යඤ්ජනය සමාන වූ පශ්චාත් ව්‍යඤ්ජනයයි. යම්කිසි එක් අකුරක් වේද, එය අන්‍වක්‍ඛරයි. අවිභක්තික අක්‍ෂර සමූහය අනුඛ්‍යඤ්ජනයි. අක්‍ෂර අනුව්‍යඤ්ජන සමූහය පද නම. විභක්ත්‍යන්ත ප්‍රථම පදය පදයම වේ. දෙවන පදය අනුපද නමැයි මෙහි වෙනස මෙසේ දතයුතුය.
දැන් “පදං නාම එකතො පට්ඨපෙත්‍වා එකතො ඔසාපෙන්ති” ගාථා ලෙසින් බැදුනු ධර්‍මයක් කියනුයේ ‘මනො පුබ්බඞ්ගමා ධම්මා’යි මෙසේ එක් එක් පදය හෙරණහු සමග එක්ව පටන් ගෙණ එක්වම අවසන් කෙරේද, මෙසේ කියන්නට පදගණනින් පාචිත්තියාපත්තීහු වෙත්’යි දතයුතුය. “අනුපදං නාම පාටෙක්කං පට්ඨපෙත්‍වා එකතො ඔසාපෙන්ති” තෙරුන් විසින් ‘මනොපුබ්බඞ්ගමා ධම්මා’යි කියූ කල්හි හෙරණ තෙමේ ඒ පදය එකට නොකියා ‘මනොසෙට්ඨො මනොමයා’යි දෙවනපදය එකට කියාද, මොවුහු වෙන්ව පටන්ගෙන එකට අවසාන කෙරෙත් නම. මෙසේ කියන මහණහුටද දෙවන පදගණනින් පාචිත්තියාපත්තීහු වෙත්. “අන්‍වක්‍ඛරං නාම රූපං අනිච්චන්ති වුච්චමානො රුන්ති ඔතාපෙති” ‘හෙරණ’ ‘රූපං අනිච්චං’යි කියව, කියනු ලබන්නේ රුකාරය පමණක්ම එකට කියා සිටීද, මෙසේ කියන මහණහුටද එක් එක් අකුරු ගණනින් පාචිත්තියාපත්තීහු වෙත්. ගාථාබන්‍ධයෙහිද මෙම නය ලැබේමය. “අනුබ්‍යඤ්ජනං නාම රූපං අනිච්චන්ති වුච්චමානො වෙදනා අනිච්චාති සද්දං නිච්ඡාරෙති” ‘රූපං භික්‍ඛවෙ අනිච්චං වෙදනා අනිච්චා’ යන මේ සූත්‍රය කියවනු ලබන්නේ. තෙරුන් විසින් ‘රූපං අනිච්චං’යි කියනු ලබන්නේ හෙරණ තෙමේ වේගවත් ප්‍රඥා ඇති බැවින් ‘වෙදනා අනිච්චා’ යන මේ අනිච්චපදය, තෙරුන්ගේ ‘රූපං අනිච්චං’ යන මේ අනිච්ච පදය සමග එකට වචන නිකුත් කෙරේද, මෙසේ කියන මහණහුටද අක්‍ෂර සමූහගණනින් පාචිත්තියාපත්තීහු වෙත්. මේ වනාහි මෙහි සඞ්ක්‍ෂෙපයයි. මේ පදාදීන් අතුරෙහි යම් යම් පදයක් එකට කියාද, ඒ ඒ පදයෙන් ඇවැතට පැමිණේයයි දතයුතුය.
“ඛුද්ධභාසිතො” සියලු විනයපිටකය අභිධර්‍මපිටකය ධම්මපදය චරියාපිටකය උදානය ඉතිවුත්තකය ජාතකය සුත්තනිපාතය විමානවත්‍ථුය. පෙතවත්‍ථුය. බ්‍රහ්මජාලාදි සූත්‍රහයි යන මොවුහුය. “සාවකභාසිතො” සිවු පිරිසට ඇතුළත් වූ ශ්‍රාවකයන් විසින් කියනලද අනඞ්ගන සම්මාදිට්ඨි අනුමානසුත්ත චුල්ලවෙදල්ල මහාවෙදල්ල ආදි සූත්‍ර. “ඉසිභාසිතො” බාහිර පරිව්‍රාජකයන් විසින් කියන ලද සියලු පරිබ්බාජකවර්‍ගය බාවාරිහුගේ අතැවැසිවූ සොළොසක් බ්‍රාහ්මණයන්ගේ ප්‍රවජාය යන මේ ආදියයි. “දෙවභාසිතො” දෙවියන් විසින් කියන ලද්දය. එය දෙවතා සංයුත්ත ද්වෙපුත්ත සංයුත්ත මාරසංයුත්ත බ්‍රහ්මසංයුත්ත සක්කසංයුත්ත යනාදීන්ගේ වසයෙන් දතයුතුය.
“අත්‍ථූපසංහිතො” අර්‍ත්‍ථකථාවන් ඇසුරු කරන ලද්දය. “ධම්මූපසංහිතො” පාළිය ඇසුරු කරන ලද්දය. අත්‍ථූපසංහිත ධම්මූපසංහිත දෙකින්ම නිවන ඇසුරු කරන ලද්දම කියයි. කිසිසේත් නිවන ඇසුරු කරන ලද්දක් කියාද, ත්‍රිවිධ සඞ්ගීතයට නැගු ධර්‍මයක්ම අනුපසම්පන්නයකු සමග පදවසයෙන් කියන මහණහුට ඇවැත් වේ. නිවන ඇසුරු කරන ලද්දෙහිද නොයෙක් භාෂා වශයෙන් ගාථාශ්ලොක බන්‍ධනාදියෙන් පිළියෙල කරන ලද්දෙහි ඇවැත් නොවේ. ත්‍රිවිධසඞ්ගීතියට නොනැගූ කුලුම්බසුත්ත රාජොවාදසුත්ත තික්‍ඛින්‍ද්‍රිය චතුපරිවට්ට නන්‍දොපනන්‍ද යන මෙබන්දෙහි ඇවැත්මය. මහාපච්චරියෙහි ප්‍රතිෂෙධ කරනලද අපලාල දමනයද කියනලදී. මෙණ්ඩකමිලින්‍දප්‍රශ්නයන්හි නාගසෙන තෙරුන්ගේ ස්වකීය ප්‍රතිභාණයෙහි ඇවැත් නොවේ. රජුට හඟවනු පිණිස යමක් ගෙන හැර දක්වා කියන ලද්දේ ද, එහි ඇවැත් වේ. වණ්ණපිටක අඞ්ගුලිමාලපිටක රට්ඨපාල ගජ්ජිත ආලවකගජ්ජිත ගුළහුම්මග්ග ගුළ්හ වෙස්සන්තර ගුළ්හවිනය වෙදල්ලපිටක යනාදීහු අබුද්ධවචනයෝමය’යි කියන ලදහ. සීලූපදෙසය නම් ධම්මසේනාපතිහු විසින් කියන ලද්දේයයි කියත්. එහි ඇවැත්මය. අන්‍යවූද මග්ගකථා ආරම්මණකථා බුද්ධිකරණ්ඩකඤාණවත්‍ථු අසුභකථා යනාදීහුද ඇත්තාහුය. එහි සත්තතිංසබොධිපක්‍ඛිය ධර්‍මයෝ බෙදා දක්වන ලදහ. ධුතාඞ්ග ප්‍රශ්නයෙහි ප්‍රතිපදාවෝ විභාග කරන ලදහ. එහෙයින් එහි ඇවැත්’යි කියනලදි. මහාපච්චරි ආදියෙහි වනාහි සඞ්ගීතියට නොනැගු රාජොවාද තික්‍ඛින්‍ද්‍රිය චතුපරිවට්ට නන්‍දොපනන්‍ද කුලුම්බ සූත්‍රයන්හිම ඇවැත්’යි කියා සෙසුතන්හි බුද්ධවචනයෙන් යමක් ගෙනහැර දක්වා කියන ලදද, එයම ආපත්ති වස්තු වේ. අනිකක් ඇවැතට වස්තු නොවේය, යන මේ අර්‍ත්‍ථය පිළිගන්නා ලද්දේය.
“එකතො උද්දිසාපෙන්තො” අනුපසම්පන්නයකු සමග එකට උදෙසීම් ගන්නේද, එකට කියාද අනාපත්තිය යන අර්‍ත්‍ථයි.
එහි මේ විනිශ්චයයි. උපසම්පන්නයෙක්ද අනුපසම්පන්නයෙක්ද හිඳ උදෙසවා ගණිත්. ආචාර්‍ය්‍ය තෙමේ හුන්නවුන්ට කියමි’යි ඔවුන් සමග එකට කියාද, ආචාර්‍ය්‍යයා හටම ඇවැත් වේ. අනුපසම්පන්නයකු සමග උදෙසීම් විසින් කියවා ගන්නහුට ඇවැත් නොවේ. දෙදෙනම සිටියාහු කියවා ගණිත්ද මේ නයමවේ. ලදරු මහණක් හුන්නේය. හෙරණෙක් සිටියේය. හුන්නහුට කියමි’යි කියන මහණහුටද ඇවැත් නොවේ. ඉදින් ලදරු මහණ තෙමේ සිටීද, අනික් මහණ තෙමේ හිදීද සිටියහුට කියමි’යි කියන්නහුටද ඇවැත් නොවේ. ඉදින් බොහෝ මහණුන් අතුරෙහි එක් හෙරණෙක් හුන්නේ වේද, ඒ හුන්නහු කෙරෙහි පදවසයෙන් ධර්‍මය කියවන්නාවූ ආචාර්‍ය්‍යයාහට අචිත්තකාපත්ති වේ. ඉදින් හෙරණ තෙමේ උපචාරය මුදා සිටියේ හෝ හුන්නේ හෝ වේද, යම් කෙනකුන්ට කියවාද ඔවුන් කෙරෙහි ඇතුළත් නොවූ බැවින් එක් දිසාභාගයකින් පලා යන ග්‍රන්‍ථයක් ගණීය යන සඞ්ඛ්‍යාවට යන්නේද, එහෙයින් ඇවැත් නොවේ. ‘එකතො සජ්ඣායං කරොන්තෙපි, යන මෙහි අනුපසම්පන්නයකු සමග උපසම්පන්නයෙක් එකට හදාරමින් ඔහු සමගම කියාද, ඇවැත් නොවේ. අනුපසම්පන්නයකු වෙත උද්දෙස ගන්නා මහණහුටද, ඔහු සමග එකට කියන මහණහුටද ඇවැත් නොවේ. මෙතෙමේද එකට හැදෑරීම කෙරේය යන සඞ්ඛ්‍යාවට යන්නේය.