පෙසුඤ්ඤ ශික්‍ෂාපද වර්ණනාව
තෘතීය ශික්‍ෂාපදයෙහි “භණ්ඩනජාතානං” උපන් ඩබර ඇත්තවුන්ගේ. භණ්ඩන යනු කලහයෙහි පූර්‍වභාගයයි. ‘මොහු විසින් මොහු විසින් මේ කරන ලදැ’යි මෙසේ කියූ කල්හි ‘මෙසේ කියමි’යි යනාදීවූ ස්වකීය ස්වකීය පක්‍ෂයෙහි රහසිව කරන මන්ත්‍රණයයි. කලහ නම් ඇවැතට පමුණුවන කායවාග්ච්‍යතික්‍රමයයි. විවාද නම් විග්‍රහය පිණිස පවත්නා කථාය. ඒ විවාදයට පැමිණියවුන්ගේ’යි “විවාදාපන්නානං” යනුවේ. “පෙසුඤ්ඤං” යනු ප්‍රියභාවය ශුන්‍ය කරන වචනැයි කියන ලද්දේ වේ.
“භික්‍ඛුපෙසුඤ්ඤෙ” මහණුන්ගේ පෛශූන්‍යයෙහි. මහණක්හු වෙතින් අසා මහණක්හු විසින් මහණක්හට එළවනලද පෛශුන්‍යයෙහි යන අර්‍ත්‍ථයි.
“ද්වීහාකාරෙහි” කරුණු දෙකකින්. “පියකම්‍යස්ස වා” ‘මම මෙසේ මොහුට ප්‍රියවන්නෙමි’යි තමාට ප්‍රියභාවය පතන්නහුට හෝ “භෙදාධිප්පායස්ස වා” ‘මෙසේ මෙතෙමේ මොහු සමග බිදෙන්නේයයි අන්‍යයාගේ අන්‍යයා හා බිඳීම කැමැති වන්නහුට හෝ “ජාතිනො වා” යනාදි සිය පළමු ශික්‍ෂාපදයෙහි කියනලද නය ඇත්තේමය. මෙහිද මෙහෙණ ආදි කොට සියල්ලෝ අනුපසම්පන්නයෝ නම් වෙත්.
“න පියකම්‍යස්ස න භෙදාධිප්පායස්ස” ආක්‍රොශ කරන එකක්හුද, ඉවසන එකක්හුද දැක ‘ලජ්ජා නැත්තේ පුදුමය. මෙබන්දක් කියන්නහු නැවැත කියයුතුය’යි සිතන්නේය’යි මෙසේ හුදෙක් පාපයට ගැරහීම් වසයෙන් කියන්නහුට ඇවැත් නොවේ. සෙස්ස කියූ අර්‍ත්‍ථ ඇත්තේමය. ත්‍රිසමුත්‍ථානිකය. කායචිත්තයෙන් වාචාචිත්තයෙන් කායවාචාචිත්තයෙන් උපදි. ක්‍රියාසමුත්‍ථානිකය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. අකුශල චිත්තයි. ත්‍රිවෙදනයි.
තෘතීය පෙසුඤ්ඤශික්‍ෂාපදයයි
පදසෝධම්ම ශික්‍ෂාපද වර්ණනාව
චතුර්‍ත්‍ථශික්‍ෂාපදයෙහි - “අප්පතිස්සා” යටත් පහත් පැවැතුම් නැත්තාහ. උපාසකයහ’යි කියූ කල්හි වචනයකුදු නොඅසනු කැමැත්තාහුය. ආදර රහිතයහ යන අර්‍ත්‍ථයි. ‘අප්පතිස්සායා වා’ යටත් පැවැතුම් නැත්තාහුය යනු අර්‍ත්‍ථයි. “අසභාගවුත්තිකා” විසභාග ජීවිකා ඇත්තාහ. මහණුන් කෙරෙහි යම්සේ පැවැතිය යුතුද, එසේ නොපැවැතිය යුතු පැවතුම් ඇත්තාහුය යන අර්‍ත්‍ථයි.
“පදසො ධම්මං වාචෙය්‍ය” අනුපසම්පන්නයකු සමග පදයක් පදයක් වසයෙන් ධර්‍මය කියන්නේ නම්, කොටස් කොටස් වසයෙන් කියන්නේය යන අර්‍ත්‍ථයි. යම්හෙයකින් කොට්ඨාස යන නාමය ඇති ඒ පදය සිවුවැදෑරුම් වේද, එහෙයින් ඒ දක්වනු පිණිස “පදං අනුපදං අන්‍වක්‍ඛරං අනුබ්‍යඤ්ජනං” පදභාජනයෙහි වදාරන ලදි. එහි ‘පදං’ යන මෙයින් එක් ගාථාපාදයෙක් අදහස් කරන ලද්දේය. “අනුපදං” යනු දෙවන පාදයයි. “අන්‍වක්‍ඛරං” යනු එක් එක් අකුරෙකි. “අනුඛ්‍යඤ්ජනං” යනු පූර්‍ව්‍යඤ්ජනය සමාන වූ පශ්චාත් ව්‍යඤ්ජනයයි. යම්කිසි එක් අකුරක් වේද, එය අන්‍වක්‍ඛරයි. අවිභක්තික අක්‍ෂර සමූහය අනුඛ්‍යඤ්ජනයි. අක්‍ෂර අනුව්‍යඤ්ජන සමූහය පද නම. විභක්ත්‍යන්ත ප්‍රථම පදය පදයම වේ. දෙවන පදය අනුපද නමැයි මෙහි වෙනස මෙසේ දතයුතුය.
දැන් “පදං නාම එකතො පට්ඨපෙත්‍වා එකතො ඔසාපෙන්ති” ගාථා ලෙසින් බැදුනු ධර්‍මයක් කියනුයේ ‘මනො පුබ්බඞ්ගමා ධම්මා’යි මෙසේ එක් එක් පදය හෙරණහු සමග එක්ව පටන් ගෙණ එක්වම අවසන් කෙරේද, මෙසේ කියන්නට පදගණනින් පාචිත්තියාපත්තීහු වෙත්’යි දතයුතුය. “අනුපදං නාම පාටෙක්කං පට්ඨපෙත්‍වා එකතො ඔසාපෙන්ති” තෙරුන් විසින් ‘මනොපුබ්බඞ්ගමා ධම්මා’යි කියූ කල්හි හෙරණ තෙමේ ඒ පදය එකට නොකියා ‘මනොසෙට්ඨො මනොමයා’යි දෙවනපදය එකට කියාද, මොවුහු වෙන්ව පටන්ගෙන එකට අවසාන කෙරෙත් නම. මෙසේ කියන මහණහුටද දෙවන පදගණනින් පාචිත්තියාපත්තීහු වෙත්. “අන්‍වක්‍ඛරං නාම රූපං අනිච්චන්ති වුච්චමානො රුන්ති ඔතාපෙති” ‘හෙරණ’ ‘රූපං අනිච්චං’යි කියව, කියනු ලබන්නේ රුකාරය පමණක්ම එකට කියා සිටීද, මෙසේ කියන මහණහුටද එක් එක් අකුරු ගණනින් පාචිත්තියාපත්තීහු වෙත්. ගාථාබන්‍ධයෙහිද මෙම නය ලැබේමය. “අනුබ්‍යඤ්ජනං නාම රූපං අනිච්චන්ති වුච්චමානො වෙදනා අනිච්චාති සද්දං නිච්ඡාරෙති” ‘රූපං භික්‍ඛවෙ අනිච්චං වෙදනා අනිච්චා’ යන මේ සූත්‍රය කියවනු ලබන්නේ. තෙරුන් විසින් ‘රූපං අනිච්චං’යි කියනු ලබන්නේ හෙරණ තෙමේ වේගවත් ප්‍රඥා ඇති බැවින් ‘වෙදනා අනිච්චා’ යන මේ අනිච්චපදය, තෙරුන්ගේ ‘රූපං අනිච්චං’ යන මේ අනිච්ච පදය සමග එකට වචන නිකුත් කෙරේද, මෙසේ කියන මහණහුටද අක්‍ෂර සමූහගණනින් පාචිත්තියාපත්තීහු වෙත්. මේ වනාහි මෙහි සඞ්ක්‍ෂෙපයයි. මේ පදාදීන් අතුරෙහි යම් යම් පදයක් එකට කියාද, ඒ ඒ පදයෙන් ඇවැතට පැමිණේයයි දතයුතුය.