ඔමසවාද ශික්‍ෂාපද වර්ණනාව
ද්විතීය ශික්‍ෂාපදයෙහි “ඔමසන්ති” අනුන් පහත් කොට කතාකරත්. හෙලා දකිත් “ඛුංසෙන්ති” ආක්‍රොශ කරත්. “වම්හෙන්ති” අවමන් කරත්.
“භූතපුබ්බං” භාග්‍යවතුන් වහන්සේ මේ වස්තුව ඔමසවාදය ගරහනු පිණිස ගෙණහැර දැක්වූ සේක. “නන්‍දිවිසාලො නාම” නන්‍දි යනු ඒ ගොනුගේ නමයි. මේ ගොනුගේ විසාණයෝ (අං) විසාලයහ. එහෙයින් නන්‍දිවිසාලයයි කියනු ලැබේ. ඒ කාලයෙහි බෝධිසත්‍ව තෙමේ නන්‍දිවිශාල නම් වෘෂභ වූයේය. බමුණු තෙමේ ඒ වෘෂහ කැඳබත් ආදිය දී ඉතා මැනැවින් පොෂණය කෙළේය. එකල්හි ඒ නන්‍දිවිශාල තෙමේ බමුණහුට අනුකම්පා කරන්නේ, “ගච්ඡ ත්‍වං” යනාදිය කීය. ‘තත්‍ථෙව අට්ඨාසි’ අහෙතුකප්‍රතිසන්‍ධි කාලයෙහිද අන්හට ගැරහීම මන නොවඩනා බැවින්ම ‘මේ මන නොවඩායි දැන ගත්තේය. එහෙයින් බමුණුහට දොස් දක්වනු කැමැතිව සිටියේය. “සකටසතං අතිබද්ධං පවට්ටෙසි” මුං මෑ වැලි ආදියෙන් පිරුණු ගැල්සියයක් පිළිවෙළින් තබා යට රුකුල් දෙන දඬු දී එකට බැඳ ගැල්සියය පෙරළුනුයේ පළමු පිහිටි අර (රෝද) පෙදෙසට නැවත අර (රෝද) පැමිණි කල්හි පෙරළුනේ වේ. බොධිසත්‍වතෙමේ පළමු ගැළ පිහිටි තැන අන්තිම ගැළ පිහිටුවනු පිණිස ගැල් සියයක පමණ පෙදෙස පෙරළුයේය. බෝසතුන්ගේ වනාහි බුරුල් කිරීමෙක් නම් නැත්තේය. එහෙයිනි. “තෙන චත්තමනො අහුං” බමුණගේ ඒ ධනලාභය කරණකොට හා තමාගේ ක්‍රියාව කරණකොටද ඒ නන්‍දිවිශාල තෙමේ සතුටු සිත් ඇත්තේ වූයේය.
“අක්කොසෙනපි’ මෙහි වනාහි යම්හෙයකින් ඉදිරියෙහි හීනවූ ආක්‍රොශය උත්කෘෂ්ට වූ ආක්‍රොශය යන ආක්‍රොශ දෙක බෙදනු කැමැත්තාහුද, එහෙයින් අර්‍ත්‍ථොත්පත්තියට පෙර යම්සේද, එසේ “හීනෙනපි අක්කොසෙන ඛුංසෙන්ති”යි වදාරන ලද්දේය. මෙසේ නොවදාරා “අක්කොසෙන”යි මෙසේ වදාළ සේක. “වෙණජාති” වඩුජාතියය. කුළුපොතු ජාතියයිද කියත්. “නෙසාදජාති” මුව වැදිආදි ජාතියය.
“රථකාරජාති” සොම්වරු ජාතියය. “පුක්කුසජාති” පුප්සැඩු (කසළ ඉවත්කරන) ජාතියය. අවකණ්ණකාදී වූ දාසයන්ට නමෙක් වේ. එහෙයින් හීනය. “ඔඤාතං” අවමන් කරන ලද්දේය. “උඤ්ඤොතං”යි කියාද හදාරත්. “අවඤ්ඤතං” හෙලා දන්නා ලද්දේය. “හීළිතං” පිළිකුල් කරන ලද්දේය. “පරිභූතං” මෙයින් කිමැ’යි පරිභව කරන ලද්දේය. “අචිත්තීකතං” ගරු නොකරන ලද්දේය.
“කොට්ඨකම්මං” ගල්වඩුකම්ය. “මුද්දා” ඇඟිලි නැමීමෙන් ගිණීමය. “ගණනා” එක්තැන - දසතැන ආදීන්හි බෙල්ලන් තබා ගිණීම නම්වූ අච්ඡිද්දකාදී වූ සෙසු ගිණීමය. “ලෙඛා” අකුරු ලිවීමය. “මධුමෙහාබාධො” මධුමෙහාබාධය. වෙදනා නැති බැවින් “උක්කටඨො” උත්කෘෂ්ටයයි කියන ලද්දේය. “පාටිකඞ්ඛා” කැමැති වියයුතුය. “යකාරෙන වා භකාරෙන වා” යකාරය හෝ භකාරය යොදා යම් ආක්‍රොශයක් වේද, “කාටකොටවීකාය” කාට යනු පුරුෂනිමිත්තයි. “කොටවීකා” යනු ස්ත්‍රීනිමිත්තයි. මෙයින් හෝ යම් ආක්‍රොශයෙක් වේද, “එසො හීනො නාම අක්කොසො” මේ ආක්‍රොශය තෙමේ හීන නම් ආක්‍රොශයයි.
දැන් ඒ ජාති ආදීන්ගේ ප්‍රභෙද වශයෙන් ඇවැත් නගා දක්වන සේක් “උපසම්පන්නො උපසම්පන්නං” යනාදිය වදාළ සේක. එහි “ඛුංසෙතුකාමො වම්හෙතුකාමො මඞ්කුං කත්තුකාමො” ආක්‍රොශ කරනු කැමැත්තේය. යටපත් කරනු කැමැත්තේය. ගරහනු කැමැත්තේය. නිස්තෙජසක කරනු කැමැත්තේය, යන අර්‍ත්‍ථයි. “හීනෙන හීනං” හීන වූ ජාතිවචනයෙන් හීනජාතිකය. මේ උපායයෙන් සියලු පදයන්හි අර්‍ත්‍ථ දතයුත්තේය
මෙහිද හීනවූ වචනයෙන් හීනයකුට කියන්නේ සැබවක් කියයි. වචන නැමැති හුලින් විදිනු කැමැතිබව හේතුකොට මේ මහණහුට වචනයක් වචනයක් පාසා පාචිත්තිය වේ. උත්කෘෂ්ට ජාතිය කරණකොට හීනයකුට කියන්නේද, අසත්‍යයක් කියාද විදිනු කැමැති බව හෙතුකොට මේ ශික්‍ෂාපදයෙන් පාචිත්තියට පැමිණේ. ප්‍රථම මුසාවාද ශික්‍ෂාපදයෙන් පාචිත්තියට නොපැමිණේ. යම් මහණෙක් තෙමේ ‘අතිචණ්ඩාල වෙහි, අතිබ්‍රාහ්මණ වෙහි, දුෂ්ටචණ්ඩාල වෙහි. දුෂ්ටබ්‍රාහ්මණ වෙහි’යි යනාදිය කියාද, හෙතෙම්ද ඇවැතින් කරවිය යුත්තේමය.
“සන්ති ඉධෙකච්චො” වාරයෙහි පරිහරණය කියූ බැවින් දුක්කටය වේ. “යෙ නූන -පෙ-න මයං” යන වාරයන්හිද මෙම නයවේ. අනුපසම්පන්නයකු කෙරෙහි සියලු වාරයන්හි දුක්කටයම වේ. “චොරොසි ගණ්ඨිභෙදකොසි” යනාදි වචනයන්ගෙන් උපසම්පන්නයකු කෙරෙහිද අනුපසම්පන්නයකු කෙරෙහිද යන සියලු වාරයන්හි දුක්කටයම වේ. කෙළි කැමැති බැවින් උපසම්පන්නයකු කෙරෙහිද අනුපසම්පන්නයකු කෙරෙහිද යන සියලු වාරයන්හි දුබ්භාසිතය වේ. “දවකම්පතා” නම් කෙළිසිනා අදහස් ඇති බවය. මේ ඔමසවාද ශික්‍ෂාපදයෙහි මහණහු හැර, මෙහෙණ ආදි සියලු සත්ත්‍වයෝ අනුපසම්පන්න ස්ථානයෙහි සිටියහ’යි දතයුත්තාහ.
“අත්‍ථපුරෙක්‍ඛාරස්ස” යනාදි තන්හි පෙළෙහි අර්‍ත්‍ථවර්‍ණනා කරනුයේ අර්‍ත්‍ථය පෙරටුකොට ඇත්තේ නම. පෙළ කියවනුයේ “ධම්මපුරෙක්‍ඛාරො”. ධර්‍මය පෙරටු කොට ඇත්තේ නම. අනුශාසනාවෙහි සිට ‘දැන්ද සැඩොල් වූයෙහි, පව් නොකරව, තමො තමපරායණ නොවව, මේ ආදි ක්‍රමයෙන් කියනුයේ “අනුසාසනී පුරෙක්‍ඛාරො” නැමැයි දතයුත්තේය. සෙස්ස ප්‍රකටමය.
ත්‍රිසමුත්‍ථානිකය. කායචිත්තයෙන් වාචාචිත්තයෙන් කායවාචාචිත්තයෙන්ද උපදී. ක්‍රියාසමුත්‍ථානිකය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. අකුශලචිත්තයි. සුඛමද්ධ්‍යස්ථතායි. ද්විවෙදනයි.
ද්විතීය ඔමසවාද ශික්‍ෂාපදයයි
පෙසුඤ්ඤ ශික්‍ෂාපද වර්ණනාව
තෘතීය ශික්‍ෂාපදයෙහි “භණ්ඩනජාතානං” උපන් ඩබර ඇත්තවුන්ගේ. භණ්ඩන යනු කලහයෙහි පූර්‍වභාගයයි. ‘මොහු විසින් මොහු විසින් මේ කරන ලදැ’යි මෙසේ කියූ කල්හි ‘මෙසේ කියමි’යි යනාදීවූ ස්වකීය ස්වකීය පක්‍ෂයෙහි රහසිව කරන මන්ත්‍රණයයි. කලහ නම් ඇවැතට පමුණුවන කායවාග්ච්‍යතික්‍රමයයි. විවාද නම් විග්‍රහය පිණිස පවත්නා කථාය. ඒ විවාදයට පැමිණියවුන්ගේ’යි “විවාදාපන්නානං” යනුවේ. “පෙසුඤ්ඤං” යනු ප්‍රියභාවය ශුන්‍ය කරන වචනැයි කියන ලද්දේ වේ.