කෙණියජටිලවත්ථුකථා
“කාජෙහි ගාහාපෙත්‍වා” පන්සියයක් කදින් මොනවට පිළියෙල කළ ඩෙබර පැන්කළ දහසක් ගෙන්වා “එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්‍වා” මැනව, මහණෙනි ශ්‍රමණ ගෞතමගේ ශ්‍රාවකයෝ පැන් නොබොන්නාහු පසය බහුලකොට ගත්තාහුය යන වාදය නොඉපදවූහ. මා කෙරෙහිද ගෞරවය කළාහුය. මාගේ ගෞරවයද තොප කෙරෙහි ඉපදවූහ. මෙසේ තොපට මම මේ කරුණෙන් තදින් පැහැදුනෙමි’යි යනාදි නයින් ධර්‍මකථාවකොට “අනුජානාමි භික්‍ඛවෙ අට්ඨපානානි” යනාදිය වදාළ සේක.
එහි “අම්බපානං” අමුවූ හෝ පැසුනාවූ හෝ අඹපලයෙන් කරන ලද පැන්ය. එහි අමු අඹපලයෙන් කරන්නන් විසින් තරුණ අඹපල පොඩිකොට දියෙහි බහා අව්වෙහි ලා සූර්‍ය්‍යපාකයෙන් පැසවා පෙරා එදවස පිළිගත් මීසකුරු කපුරු ආදිය සමග යොදා කටයුතුය. මෙසේ කරනලද පැන් පෙරබතම කැපවේ. අනුපසම්පන්නයන් විසින් කරන ලද පැනක් ලැබ පෙරබතම කැපවේ. අනුපසම්පන්නයන් විසින් කරන ලද පැනක් ලැබ පෙරබත පිළිගන්නා ලද්දේ පෙරබත ආමිස සහිත පරිභොගයෙන් නමුදු වටියි. පසුබත නිරාමිස පරිභොගයෙන් අරුණ නැගීම දක්වා වටීමය. සියලු පැන්හි මේනය වේ.
ඒ පැන් අතුරෙහි “ජම්බුපානං” දඹපලයෙන් කරන ලද පැන්ය. “චොචපානං” ඇටකෙහෙල් පලයෙන් කරන ලද පැන්ය. “මොචපානං” ඇට රහිත කෙහෙල් පලයෙන් කරන ලද පැන්ය. “මධුපානං” මිදිරසයෙන් කරන ලද පැන්ය. එය, දිය හා මිශ්‍රකරන ලද්දේ වටනේය. එකලා වූයේ පිරිසිදු වූයේ නොවටියි. “මුද්දිකපානං” මිදිපල දියෙහිලා පොඩිකර අඹපැන් මෙන් කරන ලද පැන්ය. “සාලූකපානං” රත්උපුල් නිල්උපුල් ආදීන්ගේ ඇට පොඩිකර කරන ලද පැන්ය. “ඵාරුසකපානං” බොරලු දමන ඵලයෙන් අඹපැන් මෙන් කරනලද පැන්ය. මේ අටවැදෑරුම් පැන් සිහිල් වූවාහුද හිරුරැසින් පැසවන ලද්දහුද වටිත්. ගින්නෙන් පැසවන ලද්දාහු නොවටිත්. “ධඤ්ඤඵලරසං” සත්වැදෑරුම් ධාන්‍යඵලයන්ගේ රසයයි. “ඩාකරසං” තැම්බූ පලාකොළ රසයයි. යාවකාලික කෙළවල රසය පෙරබතම කැපවේ. පිළිගෙන තැබූ ගිතෙල් ආදිය සමග තැම්බූ යාවජීවක කොළ රසය සත්දවසක් කැපවේ. ඉදින් පිරිසිදු දිය සමග පැසවාද, දිවිහිම් වටියි. කිරිආදිය සමග පිසීම නොවටියි. අන්‍යද්‍රව්‍යයන් සමග තම්බන ලද්ද පලාරස ගණනටම යන්නේය. කුරුන්‍දියෙහි වනාහි යාවකාලික පත්‍රයන්ගේද සිහිල් දිය හා මැඩ කරනලද රසයද හිරුරැසින් පැසවන ලද්දේ වටීයයි කියනලදී. “ඨපෙත්‍වා මධුකපුප්ඵරසං” මෙහි මීමල් රසය ගින්නෙන් පැසවූවෙක් හෝ වේවා, හිරුරැසින් පැසවූවෙක් හෝ වේවා, පසුබත නොවටියි. පෙරබතද පැසවූ යම් මීමල් රසයක් ගෙන මද්‍යය කෙරෙත්ද, ඒ රසය මුලපටන් නොවටියි. මීමල්වනාහි තෙත්වූයේ හෝ වේවා, වියලුනේ හෝ වේවා, බදින ලද්දේ හෝ වේවා, එයින් කරන ලද පැණි (හකුරු) යම්කලෙක පටන් මද්‍යය නොකෙරෙත්ද, ඒ සියල්ල පෙරබත වටියි. උක්රසය කසට රහිතවූයේ පසුබත වටියි. මෙසේ පානයන් අනුදන්නාවූ බුදුරජුන් විසින් මේ සිවුරස අනුදන්නා ලදහයි.
රොජමල්ලාදිවත්ථුකථා
රොජවස්තුව ප්‍රකට අර්‍ත්‍ථ ඇත්තේමය. ඒ රොජවස්තුවෙහි “සබ්බඤ්ච ඩාකං” ගිතෙල් ආදිය සමග පැසවූද නොපැසවූද යම්කිසි පලාකොළය. “පිට්ඨඛාදනීයං” පිටියෙන් කළ කැවිලිය. රොජ නම් මල්ලවතෙමේ වනාහි මේ දෙවර්‍ගයම ලක්‍ෂයක් වියදම්කොට පිළියෙල කරවූයේය.
“මඤ්ජෙකා” මිහිරිබස් කියන. “පටිභාණෙය්‍යකා” සියසිප්හි වැටගෙන නුවණින් යුක්තවූ “දක්‍ඛා” දක්‍ෂ වූ අලස නොවූ “පරියොදාතසිප්පා” නිදොස්වූ ශිල්ප ඇති නැළියකින් හා පසුම්බියකින් යුක්තව. ආවාපක නම් යම් තැනෙක්හිදී ලද ලද දෙය බහා ලත්ද, ප්‍රක්‍ෂෙප කෙරෙත්’යි කියන ලද්දේ වේ. “භික්‍ඛවෙ නහාපිතපුබ්බෙන ඛුරභණ්ඩං” මෙහි කරබඩු ගෙන පරිහරණය කරන්නට පමණක්ම නොවටියි. අනුන් සතුවූවකින් හිසකේ සිඳීම වටියි. ඉදින් වැටුප් ගෙන සිඳීද, නොවටියි. යමෙක් පෙර ගිහි කාලයෙහි කරනැවෑමි නොවූයේද, ඔහු විසින් ගෙන පරිහරණයද වටියි. එය හෝ අනිකක් හෝ ගෙන හිසකෙස් සිඳීමද වටියි.
“භාගං දත්‍වා” දසවැනි කොටසක්දී. මේ වනාහි පෙර දඹදිව පුරාණ චාරිත්‍රයයි. එහෙයින් දස කොටසක්කොට එක් කොටසක් බිම්හිමියන්ට දියයුතුය.
චතුමහාපදෙසකථා
“යං භික්‍ඛවෙ මයා ඉදං කප්පති”යි මේ සතර මහා ප්‍රදේශයන් භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට නය ගැනීම පිණිස වදාළ සේක. ඒ සිවුවැදෑරුම් විනය අතුරෙහි සූත්‍රය ගෙන පිරිමදින්නාවූ ධර්‍මග්‍රාහක ස්ථවිරයන් වහන්සේලා මේ මතු පහළවන ක්‍රමය දුටහ. “ඨපෙත්‍වා ධඤ්ඤඵලරසං” සප්තවිධ ධාන්‍යයෝද. පසුබත අකැපැයි ප්‍රතික්‍ෂෙප කරණ ලදහ. තල්-පොල්-කොස්-දෙල්-ලබු-කොමඩු-පුසුල්-තියඹරා-කැකිරි යන නවමහාඵල, සියලු අපරණ්ණයද ධාන්‍යගතිකම වෙත්. එය කිසිසේත් ප්‍රතික්‍ෂෙප නොකරන ලදී. එතකුදු වුවත් අකැපයට අනුලොම් වෙති. එහෙයින් පසුබත අකැපයි පානවර්‍ග අටක් අනුදන්නා ලද්දේය. සියඹලා-ලජනාරං-ගිවුල්-කොසඹ-කරඹ යනාදී වූ කුඩා ඵලපාන වර්‍ග අෂ්ටපානගතිකම වෙත්. ඒ ඵල කිසිසේත් නොඅනුදන්නා ලද්දේය. එහෙත් කැපයට අනුලොම් වෙති. එහෙයින් කැපවෙත්. අනුලොම් සහිත වූ ධාන්‍යඵලරසය හැර අකැපවූ අන්‍ය ඵලපානයක් නම් නැත්තේය. සියල්ල යාමකාලිකමැයි කුරුන්‍දියෙහි කියන ලද්දේය.
භාග්‍යවතුන් වහන්සේ විසින් සිවුරු සයක් අනුදන්නා ලදය. ධර්‍මසඞ්ග්‍රාහක ස්ථවිරයන් වහන්සේලා විසින් ඒ සිවුරුවලට අනුලොම් වූ දුකුලවස්ත්‍ර-පත්තුන්නවස්ත්‍ර-චීනපට්ට-සොමාරපට්ට හා එහි මහණුන්ගේ පුණ්‍යර්ද්ධියෙන් උපදින වස්ත්‍ර - දෙවියන් දුන් වස්ත්‍ර යන අනිකුදු සයක් අනුදන්නා ලද්දේය. එහි පත්තුණ්ණ නම් පත්තුණ්ණදෙශයෙහි පණුවන්ගෙන් උපන් වස්ත්‍රයි. චීන-සොමාර වස්ත්‍ර දෙක දෙශනාමයෙන් කියනලදී. පත්තුන්නපටයද දෙශනාමයෙන්ම කියන ලදය. පත්තුන්න - චීන - සොමාර යන මේ තුන, කොසෙය්‍යයට අනුලොම් වේ. දුකුලවස්ත්‍රය සාණවස්ත්‍රයට අනුලොම්ය. අනික් සෘද්ධිමය - දෙවදත්තිය යන දෙක කපු නූලෙන් කරනලද වස්ත්‍රයට හෝ සියල්ලන්ට හෝ අනුලොම් වේ.