රොජමල්ලාදිවත්ථුකථා
රොජවස්තුව ප්රකට අර්ත්ථ ඇත්තේමය. ඒ රොජවස්තුවෙහි “සබ්බඤ්ච ඩාකං” ගිතෙල් ආදිය සමග පැසවූද නොපැසවූද යම්කිසි පලාකොළය. “පිට්ඨඛාදනීයං” පිටියෙන් කළ කැවිලිය. රොජ නම් මල්ලවතෙමේ වනාහි මේ දෙවර්ගයම ලක්ෂයක් වියදම්කොට පිළියෙල කරවූයේය.
“මඤ්ජෙකා” මිහිරිබස් කියන. “පටිභාණෙය්යකා” සියසිප්හි වැටගෙන නුවණින් යුක්තවූ “දක්ඛා” දක්ෂ වූ අලස නොවූ “පරියොදාතසිප්පා” නිදොස්වූ ශිල්ප ඇති නැළියකින් හා පසුම්බියකින් යුක්තව. ආවාපක නම් යම් තැනෙක්හිදී ලද ලද දෙය බහා ලත්ද, ප්රක්ෂෙප කෙරෙත්’යි කියන ලද්දේ වේ. “භික්ඛවෙ නහාපිතපුබ්බෙන ඛුරභණ්ඩං” මෙහි කරබඩු ගෙන පරිහරණය කරන්නට පමණක්ම නොවටියි. අනුන් සතුවූවකින් හිසකේ සිඳීම වටියි. ඉදින් වැටුප් ගෙන සිඳීද, නොවටියි. යමෙක් පෙර ගිහි කාලයෙහි කරනැවෑමි නොවූයේද, ඔහු විසින් ගෙන පරිහරණයද වටියි. එය හෝ අනිකක් හෝ ගෙන හිසකෙස් සිඳීමද වටියි.
“භාගං දත්වා” දසවැනි කොටසක්දී. මේ වනාහි පෙර දඹදිව පුරාණ චාරිත්රයයි. එහෙයින් දස කොටසක්කොට එක් කොටසක් බිම්හිමියන්ට දියයුතුය.
චතුමහාපදෙසකථා
“යං භික්ඛවෙ මයා ඉදං කප්පති”යි මේ සතර මහා ප්රදේශයන් භාග්යවතුන් වහන්සේ භික්ෂූන්ට නය ගැනීම පිණිස වදාළ සේක. ඒ සිවුවැදෑරුම් විනය අතුරෙහි සූත්රය ගෙන පිරිමදින්නාවූ ධර්මග්රාහක ස්ථවිරයන් වහන්සේලා මේ මතු පහළවන ක්රමය දුටහ. “ඨපෙත්වා ධඤ්ඤඵලරසං” සප්තවිධ ධාන්යයෝද. පසුබත අකැපැයි ප්රතික්ෂෙප කරණ ලදහ. තල්-පොල්-කොස්-දෙල්-ලබු-කොමඩු-පුසුල්-තියඹරා-කැකිරි යන නවමහාඵල, සියලු අපරණ්ණයද ධාන්යගතිකම වෙත්. එය කිසිසේත් ප්රතික්ෂෙප නොකරන ලදී. එතකුදු වුවත් අකැපයට අනුලොම් වෙති. එහෙයින් පසුබත අකැපයි පානවර්ග අටක් අනුදන්නා ලද්දේය. සියඹලා-ලජනාරං-ගිවුල්-කොසඹ-කරඹ යනාදී වූ කුඩා ඵලපාන වර්ග අෂ්ටපානගතිකම වෙත්. ඒ ඵල කිසිසේත් නොඅනුදන්නා ලද්දේය. එහෙත් කැපයට අනුලොම් වෙති. එහෙයින් කැපවෙත්. අනුලොම් සහිත වූ ධාන්යඵලරසය හැර අකැපවූ අන්ය ඵලපානයක් නම් නැත්තේය. සියල්ල යාමකාලිකමැයි කුරුන්දියෙහි කියන ලද්දේය.
භාග්යවතුන් වහන්සේ විසින් සිවුරු සයක් අනුදන්නා ලදය. ධර්මසඞ්ග්රාහක ස්ථවිරයන් වහන්සේලා විසින් ඒ සිවුරුවලට අනුලොම් වූ දුකුලවස්ත්ර-පත්තුන්නවස්ත්ර-චීනපට්ට-සොමාරපට්ට හා එහි මහණුන්ගේ පුණ්යර්ද්ධියෙන් උපදින වස්ත්ර - දෙවියන් දුන් වස්ත්ර යන අනිකුදු සයක් අනුදන්නා ලද්දේය. එහි පත්තුණ්ණ නම් පත්තුණ්ණදෙශයෙහි පණුවන්ගෙන් උපන් වස්ත්රයි. චීන-සොමාර වස්ත්ර දෙක දෙශනාමයෙන් කියනලදී. පත්තුන්නපටයද දෙශනාමයෙන්ම කියන ලදය. පත්තුන්න - චීන - සොමාර යන මේ තුන, කොසෙය්යයට අනුලොම් වේ. දුකුලවස්ත්රය සාණවස්ත්රයට අනුලොම්ය. අනික් සෘද්ධිමය - දෙවදත්තිය යන දෙක කපු නූලෙන් කරනලද වස්ත්රයට හෝ සියල්ලන්ට හෝ අනුලොම් වේ.
භාග්යවතුන් වහන්සේ විසින් පාත්ර එකොළසක් ප්රතික්ෂෙපකොට ලොහපාත්රය හා මැටි පාත්රය යන පාත්ර දෙකක් අනුදන්නා ලද්දේ වේ. ලොහොතළිය - මැටිතළිය - තඹලෝතළිය යන මෙය ඒ පාත්රයන්ටම අනුලොම් වේ. භාග්යවතුන් වහන්සේ විසින් ලොහොබඳුන - දැවබඳුන - ලබුබඳුනැයි බඳුන් තුනක් අනුදන්නා ලදය. කුණ්ඩිකා - කඤ්චනක - උදකතුම්බයී කළතුන ඔවුන්ටම අනුලොම්ය. කුරුන්දියෙහි වනාහි පානීය සඞ්ඛය හා පැන්මලාව යන මෙය මේ භාජනයන්ට අනුලොම්යයි කියනලදී. පට්ටිකා-සූකරන්තයි කායබන්ධන දෙකක් අනුදන්නා ලද්දේය. රෙදිපටින්ද, රැහණින්ද කරන ලද කායබන්ධනයි ඔවුන්ට අනුලොම් වෙයි. ශ්වෙතච්ඡත්ර - කිලඤ්ජච්ඡත්ර - පර්ණච්ඡත්රයි ඡත්ර තුනක් අනුදන්නා ලදය. එකපර්ණච්ඡත්රය ඔවුන්ටම අනුලොම්වේය යන මේ නයින් පෙළද අටුවාවද අපේක්ෂා නොකොට කැපවූවන්ට අනුලොම් වූ අන්යයද දතයුත්තාහ.
“තදහු පටිග්ගහිතං කාලෙ කප්පති” යනාදි තන්හි සියල්ල මිශ්රරසය සඳහා වදාරණ ලදී. ලෙලි හැරදමා මුළුමනින්ම පොල්පලය සමග පැන් පිළිගන්නාවේද, ඒ පැන් පොල්පලය බැහැරකොට විකාලයෙහිද කැපවේ. මත්තෙහි ගිතෙල්පිඩක් තබා සිහිල් පායාසයක් දෙත්ද, ගිතෙල් පායාසය සමග නොගැටුනු යම් ගිතෙල් ප්රමාණයක් වේද, ඒ ගිතෙල් බැහැරකොට සත්දවසක් පරිභොග කිරීම වටියි. යාවකාලිකය සමග බැඳුනු මී උක්පැණි, හකුරු ආදියෙහිද මෙම නය වේ. තකුල් සාදික්කා ගෙඩි ආදිය සමග සරසා පිණ්ඩපාතය දෙත්ද, ඒ තකුල්ආදිය උදුරා හැර සෝදා දිවි ඇතිතාක් පරිභොග කටයුතුය. කැඳෙහි ලා දුන් ඉඟුරු ආදියෙහිද, තෙල් ආදියෙහිලා දුන් වැල්මී ආදීන්හිද මේ නයමය. මෙසේ යමක් යමක් නොමුසු වූ රස ඇත්තේවේද, ඒ ඒ දෙය එකට පිළිගන්නා ලද්දේවේද, යම්ලෙසකින් පිරිසිදුවේද, එසේ සෝදා හෝ සැසදමා හෝ ඒ ඒ ද්රව්යයන්ගේ කාලවසයෙන් පරිභොග කිරීම වටියි.
ඉදින් මුසුරස ඇත්තේවේනම්, හනන ලද්දේ නොවටියි. යාවකාලිකය වනාහි තමන් සමග මුසුරස ඇත්තාවූ යාමකාලකාදීවූ තුනම තමන්ගේ ස්වභාවයට හෙවත් යාවකාලික ස්වභාවයට පමුණුවාද, යාමකාලිකය, සත්තාහකාලික-යාවජීවක යන තුනද තමන්ගේ ස්වභාවයට හෙවත් යාමකාලික ස්වභාවයට පමුණුවාද සත්තාහකාලිකයද තමන් සමග ගැනුනු යාවජීවිකය තමන්ගේ ස්වභාවයටම පමුණුවාද, එහෙයින් එදවස පිළිගත් ඒ සත්තාහකාලිකය සමග එදවස පිළිගන්නා ලද්දා වූ හෝ පෙර පිළිගන්නාලදවූ හෝ යාවජීවකය සත්දවසක් කැපවේ. පිළිගන්නා ලදුව දෙදවසක් ඉක්මගියා වූ සත්තාහකාලිකය සදවසක්ද, පිළිගන්නා ලදුව තෙදිනක් ඉක්මගියාවූ සත්තාහකාලිකය, පස් දවසක්ද, පිළිගන්නා ලදුව සත් දවසක් ඉක්ම ගියාවූ සත්තාහකාලිකය. එදවසම කැපයයි දතයුතුය. එහෙයින්ම “සත්තාහකාලිකෙන භික්ඛවෙ යාවජීවිකං තදහු පටිග්ගහිතං”යි වදාරණලදී.