කප්පියභූමිඅනුජානනකථා
“පච්චන්තිමං” මේ දෙශනා මාත්රයකි. “යං සඞ්ඝො ආකඞ්ඛති”යි වදාළ බැවින් ධුරවිහාරයද සම්මත කිරීමට වටනේය. කර්මවාක්යය නොකියා අපලොකනයෙන් නමුදු වටීමය. “කාකොරවසද්දං” ඒ ඒ තැන්හි පිවිසි ආමිසය කනු පිණිස උදෑසනම රැස්වූ කවුඩන්ගේ මහත් හඬ යසොජ නම් කපිල සූත්රාවසානයෙහි පැවිදිවූ පන්සිය දෙනාගෙන් අග්රපුරුෂතෙමේය.
“උස්සාවනන්තිකං” යනාදිතන්හි උස්සාවනන්තිකා නම් කිළිය වනාහි පළමුකොට මෙසේ කටයුතුය. ටැම්මතුවෙහි හෝ බිත්ති මතුවෙහි හෝ කැන සිටුවා යම් විහාරයක් කරනු ලැබේද, ඒ විහාරයෙහි යට ටැම් වැදීසිටි ගල් භූමිගතිකමය. පළමු ටැඹ හෝ පළමු බිත්ති අඩිය හෝ පිහිටුවන්නන් විසින් බොහෝදෙනා පිරිවරා “කප්ටියකුටිං කරොම, කප්පිය කුටිං කරොම” වචන පිටකරන්නවුන් විසින් මිනිසුන් ඔසොවා පිහිටුවන කල්හි ආමර්ෂණයකොට හෝ තමන් විසින් ඔසොවා හෝ ටැඹ හෝ බිත්තිපාදය හෝ පිහිටුවිය යුතුය. කුරුන්දි මහාපච්චරී අර්ත්ථකථාවන්හි “කප්පිය කුටී, කප්පිය කුටී”යි කියා පිහිටුවිය යුතුයයි කියනලදී. අන්ධකාර්ත්ථකථාවෙහි “සඞ්ඝස්ස කප්පියකුටිං අධිට්ඨාමි”යි කියන ලදී. ඒ නොකියා සෙසු අර්ත්ථකථාවන්හි “කප්පියකුටිං කරොම”යි හෝ, “කප්පියකුටී”යි හෝ කියූ ලෙසින් කියූ කල්හි දොසෙක් නැත්තේය. මෙය මෙහි සියලු අර්ත්ථකථාවන්ට සාධාරණ වූ ලක්ෂණයයි. ටැම්පිහිටීමද වචනයෙහි කෙළවරද සමකාලයෙහි වටියි. ඉදින් වචනය නොනිමිකල්හි ටැඹපිහිටාද, ඒ ටැඹ නොපිහිටි කල්හි හෝ වචනය නිමවේද, එකල්හි කැපකිළියක් නොකරන ලද්දී වේ. එහෙයින්ම මහාපච්චරියෙහි ‘බොහෝ දෙන පිරිවර කියයුතුය. අවශ්යයෙන්ම මෙහි එකෙකුගේද වචන නිමවීමත්, ටැඹ පිහිටීමත් එකට වන්නේය’යි කියන ලද්දේය.
ගඩොල්මුවා කිළිගල්මුවා කිළිමැටිමුවා කිළි යන කිළි අතුරෙහි යට අඩිතාලම බැඳ හෝ නොබැඳ හෝ කෙරෙත්වා යම් තැනක පටන් බිත්තිය නගනු කැමැත්තාහු වෙත්ද, ඒ සියල්ලට පළමු ගඩොලක් හෝ ගලක් හෝ මැටිපිඩක් හෝ ගෙන කියූ ලෙසින්ම කැපකිළිය කටයුතුය. ගඩොල් ආදීහු බිත්තියෙහි පළමු තැබු ගඩොල් ආදින්ගේ යට තැබීම නොවටිත්. ටැම් මත්තට නගිත්. එහෙයින් වටිත්. අන්ධකාර්ත්ථකථාවෙහි ටැඹින් කරනු ලබන කල්හි සිවුකොන්හි කණු සතරක්, ගඩොල් ආදියෙන් කළ බිත්තියෙහි සිවුකොන්හි ගඩොල් දෙකතුනක් ඉටිය යුතුය’යි කියන ලදී. මෙසේ නොකළකල්හිද, දොසක් නැත්තේය. අර්ත්ථකථාවන්හි කියනලද්දම ප්රමාණයි.
ගොනිසාදිකා තොමෝ ආරාමගොනිසාදිකා - විහාරගොනිසාදිකායි දෙවැදෑරුම් වේ. එදෙක අතුරෙහි යම් තැනක ආරාමය හා සෙනසුන් වට නොකරන ලද්දාහු වෙත්ද, මෝතොමෝ ආරාමගොනිසාදිකා නම. යම් තැනක සෙනසුන් සියල්ල හෝ සමහරක් හෝ වටකරන ලද්දාහු වෙත්ද, ආරාමය වටනොකරන ලද්දේවේද, මෝතොමෝ විහාරගොනිසාදිකා නම. මෙසේ දෙතැන්හිම ආරාමයේ අපරික්ෂිප්තභාවයම ප්රමාණ වේ. ආරාමය වනාහි අඩක් වටකරන ලද්දේ ද, ඉතා වැඩියක් වටකරන ලද්දේ ද, වටකරන ලද්දේම නමැයි කුරුන්දි මහාපච්චරීන්හි කියන ලද්දීය. මෙහි මේ අඩක් වටකිරීමෙහි ගොනිසාදිය නැති බැවින් සෙසු කැප කිළියක් ලබන්නට වටියි.
“ගහපති” මනුෂ්යයෝ ආවාසයක්කොට, කැපකිළියක් දෙමු. පරිභොග කරවු’යි කියත්ද, මෝතොමෝ ගහපතිනම. ‘කැප කිළියක් කරන්නට දෙමු’යි කියූකල්හිද වටීමය. අන්ධකාර්ත්ථකථාවෙහි ‘යම්හෙයකින් මහණහු හැර, සෙසු සහධාර්මිකයන්ගේද, සියලු දෙව් මිනිසුන්ගේද, අතින් පිළිගැණීමද, තැන්පත් කරතැබීමද, ඇතුළත තැබූ දෙයද යන ඔවුන් සතුදෙය මහණහට වටියි. එහෙයින් ඔවුන්ගේ ගෙවල් හෝ ඔවුන් විසින් දෙන ලද කැපකිළිය හෝ ගැහැවිකිළියයි කියනු ලැබේයයි කියනලදී. නැවතද භික්ෂුසඞ්ඝයාගේ විසීමට කළ විහාරය හැර මෙහෙණ අසපුව හෝ, ආරාමිකයන්ගේ හෝ තීර්ථකයන්ගේ හෝ දෙවියන්ගේ හෝ නාගයන්ගේ හෝ නැවැතද බ්රහ්මයන්ගේ හෝ විමානය කැපකිළිය වේයයි කියනලදී. ඒ කියනලද්ද මනාමය. සඟසතුමවූද මහණහු සතුවූද ගෙය ගැහැවිකිළියක් නොවේ. සම්මුතිකා නම් කර්මවාක්යය අස්වා කරන ලද්දීය.
මේ සිවු කැපබිම්හි තැබූ යම් ආමිසයක් වේද, ඒ සියල්ල ඇතුළත තැබු ගණනට නොයයි. මහණුන්ට හා මෙහෙණන්ටද අන්තොවුත්ථ අන්තොපාකමොචනය පිණිස කැපකිළි අනුදන්නා ලදහ. අකැප බිම සහසෙය්යාවට පොහොනා ගෙයක තැබූ සඞ්ඝික වූ හෝ පෞද්ගලික වූ හෝ යමක් මහණක්හු හෝ මෙහෙණක හෝ සතුව එක් රැයකුදු තබන ලද්දේනම් එය “අන්තොවුත්ථ” නම් වේ. එහි පිසන ලද්ද ද “අන්තොපක්ක” නම්වේ. මේ අන්තොවුත්ථ අන්තොපාකය කැප නොවේ. සත්තාහකාලිකයද යාවජීවිකයද වටියි.
එහි මේ විනිශ්චයයයි:- හෙරණෙක් තෙමේ මහණක්හුගේ සහල් ආදී ආමිසයක් ගෙන කැපකිළියෙහි තබා දෙවන දිනයෙහි පිස දේද, අන්තොවුත්ථ නොවේ. ඒ අකැප කිළියෙහි තැබූ ගිතෙල් ඈ අතුරෙහි යම්කිසිවක් බහා දේද, මුඛසන්නිධි නම්වේ. මහාපච්චරියෙහි වනාහි අන්තොවුත්ථය වේයයි කියනලදී. එහි නාමමාත්රයම වෙනස් වේ. මහණෙක්තෙමේ අකැප කිළියෙහි තැබූ ගිතෙල්ද දිවි ඇතිතාක් ගතහැකි කොළද එක්කොට පිස අනුභව කෙරේද, සත්දවසක් ආමිස රහිතව වටියි. ඉදින් ආමිස හා මුසුකොට අනුභව කෙරේනම් අන්තොවුත්ථයද සාමපාකයද වේ. මේ උපායෙන් සියලු සංසර්ගයෝ දතයුත්තාහ.