අනාපත්තිපන්නරසකාදිකථා
“පුන පවාරෙතබ්බං” නැවත පූර්‍වකෘත්‍යයකොට ඤත්තිය තබා සඞ්ඝ ස්ථවිරයන් පටන් පැවැරිය යුතුය. සෙස්ස උපොසථක්‍ඛන්‍ධක වර්‍ණනාවෙහි කියූනයින්ම දතයුතුය.
“ආගන්තුකෙහි ආවාසිකානං අනුවත්තිතබ්බං” “අජ්ජ පවාරණා චාතුද්දසී”යි මේ පූර්‍වකෘත්‍යය පමණක්ම කටයුතුය. පණ්ණරසික වාරයෙහිද මෙනය වේ. “ආවාසිකෙහි නිස්සීමං ගනත්‍වා පවාරෙතබ්බං” යන මේ දෙශනාව අවසානයෙහි මේ පෙළෙන් මිදුනු විනිශ්චයයි: ඉදින් පෙරවසෙහි පස්නමක් මහණෝ වස් එළඹියාහුද, පසුවසෙහිද පස්නමක් එළඹියාහුද, පෙරවස් විසූවන් විසින් ඤත්තිය තබා පැවරූ කල්හි පසුවස් විසූවන් විසින් ඔවුන්ගේ සමීපයෙහි පාරිසුද්ධිඋපොසථය කටයුතුය. එක් උපොසථාග්‍රයෙක්හි ඤත්ති දෙකක් නොතැබිය යුතුය. පසුවස් එළඹි සිවුදෙනෙක් හෝ තිදෙනෙක් හෝ දෙදෙනෙක් හෝ වෙත්ද, එකෙක් හෝ වේද, එහිද මෙම නයවේ. පෙරවසෙහි සිවුදෙනෙක් වෙත්ද, පසුවසෙහිද සිවුදෙනෙක් හෝ තිදෙනෙක් හෝ දෙදෙනෙක් හෝ එකෙක් හෝ වේද, මෙම නයවේ. නැවතද පෙරවසෙහි තිදෙනෙක් වෙත්ද, පසුවසෙහි තිදෙනෙක් හෝ දෙදෙනෙක් හෝ එකෙක් හෝ වේද, මෙමනය වේ. මේ වනාහි මෙහි ලක්‍ෂණයයි. ඉදින් පෙරවස් එළැඹියවුනට වඩා පසුවස් එළැඹියාහු ඉතා අඩුවුවාහුද, සමසම වූවාහුද වෙත්ද, සඞ්ඝ පවාරණයට ගණය පුරත්ද, සඞ්ඝපවාරණ වසයෙන් ඤත්තිය තැබිය යුත්තීයයි.
ඉදින් වනාහි පෙරවසෙහි තිදෙනෙක් වෙත්ද, පසුවසෙහි එකෙක් වේද, ඔහු සමග සිවු දෙනෙක් වෙත්ද, සිවුදෙනාට සඞ්ඝ ඤත්තිය තබා පවාරණය කිරීම නොවටියි. ගණඤත්තියට වනාහි හෙතෙමේ ගණපූරක වේ. එහෙයින් ගණ වසයෙන් ඤත්තිය තබා පෙරවස් එළඹියන් විසින් පැවරිය යුතුය. අනික් මහණහු විසින් ඔවුන්ගේ සමීපයෙහි පාරිසුද්ධි උපොසථය කටයුතුය. පෙරවසෙහි දෙදෙනෙක් හෝ වෙත්ද, එකෙක් හෝ වේද, මෙම නයවේ. පෙරවසෙහි එකෙක්ද, පසුවසෙහි එකෙක්දැයි දෙදෙනෙක් වෙත්ද එකකු විසින් එකක්හුගේ සමීපයෙහි පැවරිය යුතුය. එකෙකු විසින් පාරිසුද්ධි උපොසථය කටයුතුය. ඉදින් පෙරවස් එළඹියනට වඩා පසුවස් එළඹියාහු එකෙකුගෙන්ද වැඩිතරම් වූවෝවෙත්ද, පළමුකොට පාමොක් උදෙසා පසුව අඩුතරම් වූවන් විසින් ඔවුන්ගේ සමීපයෙහි පැවරිය යුතුය.
සිවුමස පිරුණු ඉල්මස පසළොස්වක් දින පවාරණයෙහි පෙරවස් එළඹියාහු වැඩිතරම්වූවෝ හෝ සමසමවූවෝ හෝ වෙත්ද, පවාරණ ඤත්තිය තබා පැවැරිය යුතුය. ඔවුන් පැවරූකල්හි පසුව අන්‍යයන් විසින් පාරිසුද්ධි උපොසථය කටයුතුය. නැවත මහා පවාරණයෙහි පැවරූ මහණෝ බොහෝවෙත්ද, පසුවස් එළඹියාහු අඩුතරම් හෝ වෙත්ද, එකෙක් හෝ වේද, පාමොක් උදෙසූ කල්හි පසුව ඔහු විසින් ඔවුන්ගේ සමීපයෙහි පැවරිය යුතුය.
“න ච භික්‍ඛවෙ අපවාරණය පවාරෙතබ්බං, අඤ්ඤත්‍ර සඞ්ඝසාමග්ගියා” මෙහි කොසම්බක භික්‍ෂූන්ගේ සමගිය මෙන් සාමග්ගි පවාරණාතොමෝ දතයුත්තීය. ඒ සාමග්ගිපවාරණධිකාරයෙහිද “අජ්ජ පවාරණා සාමග්ගි” මෙසේ පූර්‍වකෘත්‍යයකට යුතුය. යම්කෙනෙක් වනාහි ස්වල්පමාත්‍ර වූ කිසිකරුණෙක්හි පවාරණය තබා සමගිවෙත්ද, ඔවුන් විසින් පවාරණයෙහිම පවාරණය කටයුතුය. සාමග්ගිපවාරණය කරන්නවුන් විසින්ද ප්‍රථම පවාරණය තබා පෑළවිය දින පටන් සිවුමස් පිරුණු ඉල්මස පෞර්ණමිය යම්තාක්ද මේ අතරෙහි පවාරණය කටයුතුය. ඉන් පසුව හෝ පෙරටුව හෝ නොවටියි.
ද්වෙවාචිකාදිපවාරණාකථා
“ද්වෙ වාචිකං පවාරෙතුං” මෙහි ඤත්තිය තබන්නහු විසින්ද “යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො ද්වෙවාචිකං පවාරෙය්‍ය”යි කියයුතුය. එකවාචිකයෙහි “එකවාචිකං පවාරෙය්‍ය”යි ද, සමානවස්සිකයෙහිද “සමානවස්සිකං පවාරෙය්‍ය”යිද කියයුතුය. මේ සමානසංවාසික පවාරණධිකාරයෙහි බොහෝවූද සමානවස් ඇත්තාහු එකට පැවරීම ලබත්.
පවාරණාඨපනකථා
“භාසිතාය ලපිතාය අපරියොසිතාය” යන මෙහි පවාරණය තැබීම සර්‍වසඞ්ග්‍රාහිකද පෞද්ගලිකදැ’යි පවාරණට්ඨපනය දෙවැදෑරුම් වේ. ඒ දෙවැදෑරුම් පවාරණාධිකාරයෙහි සර්‍වසඞ්ග්‍රාහික පවාරණය තැබීමෙහි “සුණාතු මෙ භන්තෙ සඞ්ඝො - පෙ- සඞ්ඝො තෙවාචිකං පවාරෙ” යන මෙහි “සුකාරය පටන් “රෙ” කාරය යම්තාක්ද, ඒතාක් කියන ලද ලපනය කරණලද පවාරණ කෙළවර නොකරන ලද්දීම වේ. මේ අතුරෙහි එක් පදයෙක්හි නමුත් තබන්නහු විසින් පවාරණ තබන ලද්දී වේ. “ය්‍ය” කාරය වනාහි පැමිණි කල්හි කෙළවර කරන ලද්දී වේ. එහෙයින් එතැන් පටන් තබන්නහු විසින් තබන ලද්දීද, නොතබන ලද්දීම වේ. පුද්ගලික ඨපනයෙහි වනාහි - “සඞ්ඝං භන්තෙ පවාරෙමි -පෙ-තතියම්පි භන්තෙ, සඞ්ඝං පවාරෙමි දිට්ඨෙන වා - පෙ- පස්සන්නො පටි” යන මෙහි “සං” යන අක්‍ෂරයෙහි පටන් මේ සියල්ලන්ට පැසුළුවූ “ටි”කාරය යම්තාක්ද, ඒතාක් කියන ලද ලපනය කරණලද පවාරණ කෙළවර නොකරන ලද්දීම වේ. මේ අතරෙහි එක් පදයෙක්හිද තබන්නහු විසින් පවරණ තොමෝ තබන ලද්දීම වේ. “කරිස්සාමි”යි කියූකල්හි වනාහි කෙළවර කරණ ලද්දී වේ. එහෙයින් “කරිස්සාමි” යන මේ පදය පැමිණි කල්හි තබන ලද්දී ද නොතබන ලද්දී වේ. දෙවවාචික එකවාචික සමානවස්සිකයන්හිද මේ නයවේ. මොවුන් අතුරෙහි “ටි”කාරයෙහි කෙළවරම ඨපන ක්‍ෂෙත්‍රයයි.
“අනුයුඤ්ජියමානො” කිමෙක්හි ඒ පවාරණය තබන්නෙහිදැ’යි පසුභාගයෙහි කියූ නයින් විචාරණු ලබන්නේය. “ඔමද්දිත්‍වා” “අලං භික්‍ඛු මා භණ්ඩනං” යනාදී වූ මේ වචන කියා වචන මැඩීම මෙහි ඔමද්දනායි අදහස් කරනලලදී. “අනුද්ධංසිතං පටිජානාති” අමූලක පාරාජිකයකින් මෙතෙමේ මා විසින් චොදනා කරණ ලද්දේය’යි මෙසේ පිළිදන්වයි. “යථාධම්මං” සඞ්ඝාදිසෙසයකින් චෝදනා කිරීමෙහි පාචිත්තිය වේ. ථුල්ලච්චයාද සෙස්සෙන් චොදනා කෙරේනම් දුක්කටය වේ. “නාසෙත්‍වා” ලිඞ්ගනාසනයෙන් නසා.