පවාරනක්ඛන්ධක වර්ණනාව
අඵාසුකවිහාරකථා
පවාරනක්ඛන්ධකයෙහි - “නෙව ආලපෙය්යාම න සල්ලපෙය්යාම” යන මෙහි ආලාප නම්. ප්රථම වචනයයි. සල්ලාප නම් පශ්චිම වචනයයි. “හත්ථවිලඞ්ඝකෙන” අත්විලඟින් ‘පසු සංවාසය’ සිවුපාවුන්ගේ මෙන් එක්ව විසීමය. සිවුපාවෝද වනාහි තමතමන්ට උපන් සුවදුක් ඔවුනොවුන්ට නොසැලකෙරෙත්. පිළිසඳර නොකෙරෙත්. මේ මහණෝද එසේ නොකළාහුය. එහෙයින් ඔවුන්ගේ සංවාසය පසුසංවාසයි කියනු ලැබේ. සියලුතන්හි මේනය වේ. “න භික්ඛවෙ මූගබ්බතං තිත්ථියසමාදානං” ‘මේ තෙමස නොබිණිය යුතුය’යි මෙබඳුවූ ව්රතසමාදානයක් නොකටයුතුය. මෝතොමෝ අධර්ම කතිකාවක්මය. “අඤ්ඤමඤ්ඤානුලොමතා” වස්වැස නිමකළ මහණුන්ට දැකීමෙන් හෝ ඇසීමෙන් හෝ සැකයෙන් හෝ යන කරුණු තුනෙන් පැවරීම උනුන්ගේ අනුලොම්බවය. ‘ආයුෂ්මත්හු මට කියත්වා’මැයි කියන්නහුට කිසිවක් කියන්නට හැක්කේ වේ. අනිකක්හට කියන්නට නොහැකි වේ. “ආපත්තිවුට්ඨානතා විනයපුරෙක්ඛාරතා” ඒ තුන් කරුණෙන් පැවරීමෙන් ඇවැතින් නැගී සිටින බවය. විනය පෙරටුකොට මෙසේ කියනු ලැබේ.
“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො අජ්ජ පවාරණ, යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො පවාරෙය්ය” යන මෙය සර්වසඞ්ග්රාහික නම් ඤත්තියයි. මෙසේ කියූ කල්හි තෙවරක් කියා හෝ දෙවරක් කියා හෝ එක්වරක් කියා හෝ පැවරීම වටියි. සමානවස්සිකය නොවටියි. සමානවස්සිකය නම් එක් අවුරුද්දෙහි ලැබූ උපසම්පදාව ඇතියෝය. “තෙවාචිකං පවාරෙය්ය”යි කියූකල්හි ද්වෙවාචිකයද, තෙවාචිකයද වටියි. එකවාචිකයක් සමානවස්සිකයන් නොවටියි. “එකවාචිකං පවාරෙය්ය”යි කියූකල්හි එකවාචික, ද්වෙවාචික, තෙවවාචික යන මොවුහු වටිත්. සමානවස්සිකයම නොවටියි. “සමානවස්සික”යි කියූ කල්හි සියල්ල වටියි.
“අච්ඡන්ති” හුන්නාහුම වෙත්. නොනැගිටිත්. “තදනන්තරා” එයට අනතුරුව. එපමණකල්ය යන අර්ත්ථයි.
පවාරණාභෙදකථා
“චාතුද්දසිකා ච පණ්ණරසිකා ච” මෙහි චාතුද්දසියෙහි “අජ්ජපවාරණ චාතුද්දසී”යි මෙසේ පූර්වකෘත්යය කටයුතුය. “පණ්ණරසියෙහි අජ්ජපවාරණා පණ්ණරසී”යි මෙසේ පූර්වකෘත්යය කටයුතුය.
පවාරණ කර්මයන්හි එක් විහාරයක මහණුන් පස්නමක් වසන කල්හි එක් මහණකගේ පවාරණය ගෙනවුත් සතර දෙනෙක් ගණඤත්තිය තබා පවරත්ද, සිවු දෙනකුන් හෝ තිදෙනකුන් හෝ වසන කල්හි එකක්හුගේ පවාරණය ගෙණවුත් තිදෙනෙක් හෝ දෙදෙනෙක් හෝ සඞ්ඝඤත්තිය තබා පවරත්ද, මේ සියල්ලම අධර්මයෙන් වර්ගපවාරණකර්මයයි.
ඉදින් සියලු පස්දෙනම එකට රැස්ව ගණඤත්තිය තබා පවරත්ද, සිවු දෙනෙක් හෝ තිදෙනෙක් හෝ දෙදෙනෙක් හෝ වසනුවෝ එකට රැස්ව සඞ්ඝඤත්තිය තබා පවරත්ද මේ සියල්ලද අධර්මයෙන් සමග්ර පවාරණකර්මයයි.
ඉදින් පස්දෙනකුන් අතුරෙහි එකක්හුගේ පවාරණය ගෙනවුත් සිවුදෙනෙක් සඞ්ඝඤත්තිය තබා පවරත්ද, සිවුදෙනකුන් අතුරෙහි හෝ තිදෙනකුන් අතුරෙහි හෝ එකක්හුගේ පවාරණය ගෙනවුත් තිදෙනෙක් හෝ දෙදෙනෙක් හෝ ගණඤත්තිය තබා පවරත්ද, මේ සියල්ලද ධර්මයෙන් වර්ග පවාරණකර්මයයි.
සියලු පස් දෙනම එකට රැස්ව සඞ්ඝඤත්තිය තබා පවරත්ද, සිවුදෙනෙක් හෝ තිදෙනෙක් හෝ එකට රැස්ව ගණඤත්තිය තබා පවරත්ද, දෙදෙනෙක් ඔවුනොවුන් පවරත්ද, එකලාව වසනුයේ අධිට්ඨානපවාරණය කෙරේද, මේ සියල්ලද, ධර්මයෙන් සමග්ර නම් පවාරණකර්මයයි.
පවාරණාදානානුජානනකථා
“දින්නා හොති පවාරණා” මෙහි පවාරණය දෙන මහණහු විසින් එක් මහණකු කරා එළඹ උතුරු සළුව එකස්කොට උක්කුටුකයෙන් හිඳ ඇඳිලි බැඳ “පවාරණං දම්මි. පවාරණං මෙ හර, මමත්ථාය පවාරෙහි”යි මෙසේ පවාරණය දුන්කල්හි පවාරණය ගෙනඑන්නහු විසින් සඞ්ඝයා වෙත එළඹ “තිස්සො භන්තෙ භික්ඛු සඞ්ඝං පවාරෙති. දිට්ඨෙන වා සුතෙන වා පරිසඞ්කාය වා, වදතුං තං භන්තෙ සඞ්ඝො අනුකම්පං උපාදාය පස්සන්තො පටිකරිස්සාති දුතියම්පි - තතියම්පි භන්තෙ තිස්සො භික්ඛු සඞ්ඝං පවාරෙති -පෙ- පටිකරිස්සති”යි මෙසේ පැවැරිය යුතුය. ඉදින් පවාරණය දෙන මහණතෙමේ වෘද්ධතරවේද, “ආයස්මා භන්තෙ තිස්සො”යි කියයුතුය. මෙසේ වනාහි ඔහු විසින් ඔහු පිණිස පවරණ ලද්දේය’යි
“පවාරණං දෙන්තෙන ඡන්දම්පි දාතුං” මෙහි ඡන්දය දීම සෙස්සන්ගේ කර්ම සිද්ධිය පිණිසය. එහෙයින් පවාරණය දෙන්නේ ඡන්දය දෙන්නේය කියූනයින් පවාරණය ගෙන ආකල්හි පවාරණය දෙන ඒ මහණහු විසින්ද සඞ්ඝයා විසින්ද පවරණ ලද්දේම වේ. නැවත පවාරණය පමණක්ම දෙන්නේද, ඡන්දය නොදෙන්නේද, ඔහුගේද, පවාරණය ආරොචනය කළ කල්හි සඞ්ඝයා විසින්ද පැවරූකල්හි සියල්ලන් විසින් මොනවට පවරණ ලද්දේ වේ. අන්යවූ කර්මය කොප්ය වේ. ඉදින් ඡන්දයම දෙන්නේනම්, පවාරණය නොදෙන්නේනම්, සඞ්ඝයාගේ පවාරණයද, සෙසුකර්මද කොප්ය නොවේ. ඒ මහණහු විසින් නොපවරණ ලද්දේ වේ. පවාරණ දවසෙහි වනාහි පිටත සීමාවක පවාරණය ඉටා ආවහු විසින්ද, ඡන්දය දිය යුත්තේය. එයින් සඞ්ඝයාගේ පවාරණ කර්මය කොප්ය නොවන්නේය.