පවාරණාදානානුජානනකථා
“දින්නා හොති පවාරණා” මෙහි පවාරණය දෙන මහණහු විසින් එක් මහණකු කරා එළඹ උතුරු සළුව එකස්කොට උක්කුටුකයෙන් හිඳ ඇඳිලි බැඳ “පවාරණං දම්මි. පවාරණං මෙ හර, මමත්‍ථාය පවාරෙහි”යි මෙසේ පවාරණය දුන්කල්හි පවාරණය ගෙනඑන්නහු විසින් සඞ්ඝයා වෙත එළඹ “තිස්සො භන්තෙ භික්‍ඛු සඞ්ඝං පවාරෙති. දිට්ඨෙන වා සුතෙන වා පරිසඞ්කාය වා, වදතුං තං භන්තෙ සඞ්ඝො අනුකම්පං උපාදාය පස්සන්තො පටිකරිස්සාති දුතියම්පි - තතියම්පි භන්තෙ තිස්සො භික්‍ඛු සඞ්ඝං පවාරෙති -පෙ- පටිකරිස්සති”යි මෙසේ පැවැරිය යුතුය. ඉදින් පවාරණය දෙන මහණතෙමේ වෘද්ධතරවේද, “ආයස්මා භන්තෙ තිස්සො”යි කියයුතුය. මෙසේ වනාහි ඔහු විසින් ඔහු පිණිස පවරණ ලද්දේය’යි
“පවාරණං දෙන්තෙන ඡන්‍දම්පි දාතුං” මෙහි ඡන්‍දය දීම සෙස්සන්ගේ කර්‍ම සිද්ධිය පිණිසය. එහෙයින් පවාරණය දෙන්නේ ඡන්‍දය දෙන්නේය කියූනයින් පවාරණය ගෙන ආකල්හි පවාරණය දෙන ඒ මහණහු විසින්ද සඞ්ඝයා විසින්ද පවරණ ලද්දේම වේ. නැවත පවාරණය පමණක්ම දෙන්නේද, ඡන්‍දය නොදෙන්නේද, ඔහුගේද, පවාරණය ආරොචනය කළ කල්හි සඞ්ඝයා විසින්ද පැවරූකල්හි සියල්ලන් විසින් මොනවට පවරණ ලද්දේ වේ. අන්‍යවූ කර්‍මය කොප්‍ය වේ. ඉදින් ඡන්‍දයම දෙන්නේනම්, පවාරණය නොදෙන්නේනම්, සඞ්ඝයාගේ පවාරණයද, සෙසුකර්‍මද කොප්‍ය නොවේ. ඒ මහණහු විසින් නොපවරණ ලද්දේ වේ. පවාරණ දවසෙහි වනාහි පිටත සීමාවක පවාරණය ඉටා ආවහු විසින්ද, ඡන්‍දය දිය යුත්තේය. එයින් සඞ්ඝයාගේ පවාරණ කර්‍මය කොප්‍ය නොවන්නේය.
“අජ්ජ මෙ පවාරණා” මෙහි ඉදින් චාතුද්දසිය වන්නීද, “අජ්ජ මෙ පවාරණ චතුද්දසී”යිද, ඉදින් පණ්ණරසිය වන්නීද, “අජ්ජ මෙ පවාරණ පණ්ණරසී”යි මෙසේ ඉටියයුතුය.
“තදහු පාවාරණාය ආපත්තිං” යනාදිය කියූනයමය.
අනාපත්තිපන්නරසකාදිකථා
“පුන පවාරෙතබ්බං” නැවත පූර්‍වකෘත්‍යයකොට ඤත්තිය තබා සඞ්ඝ ස්ථවිරයන් පටන් පැවැරිය යුතුය. සෙස්ස උපොසථක්‍ඛන්‍ධක වර්‍ණනාවෙහි කියූනයින්ම දතයුතුය.
“ආගන්තුකෙහි ආවාසිකානං අනුවත්තිතබ්බං” “අජ්ජ පවාරණා චාතුද්දසී”යි මේ පූර්‍වකෘත්‍යය පමණක්ම කටයුතුය. පණ්ණරසික වාරයෙහිද මෙනය වේ. “ආවාසිකෙහි නිස්සීමං ගනත්‍වා පවාරෙතබ්බං” යන මේ දෙශනාව අවසානයෙහි මේ පෙළෙන් මිදුනු විනිශ්චයයි: ඉදින් පෙරවසෙහි පස්නමක් මහණෝ වස් එළඹියාහුද, පසුවසෙහිද පස්නමක් එළඹියාහුද, පෙරවස් විසූවන් විසින් ඤත්තිය තබා පැවරූ කල්හි පසුවස් විසූවන් විසින් ඔවුන්ගේ සමීපයෙහි පාරිසුද්ධිඋපොසථය කටයුතුය. එක් උපොසථාග්‍රයෙක්හි ඤත්ති දෙකක් නොතැබිය යුතුය. පසුවස් එළඹි සිවුදෙනෙක් හෝ තිදෙනෙක් හෝ දෙදෙනෙක් හෝ වෙත්ද, එකෙක් හෝ වේද, එහිද මෙම නයවේ. පෙරවසෙහි සිවුදෙනෙක් වෙත්ද, පසුවසෙහිද සිවුදෙනෙක් හෝ තිදෙනෙක් හෝ දෙදෙනෙක් හෝ එකෙක් හෝ වේද, මෙම නයවේ. නැවතද පෙරවසෙහි තිදෙනෙක් වෙත්ද, පසුවසෙහි තිදෙනෙක් හෝ දෙදෙනෙක් හෝ එකෙක් හෝ වේද, මෙමනය වේ. මේ වනාහි මෙහි ලක්‍ෂණයයි. ඉදින් පෙරවස් එළැඹියවුනට වඩා පසුවස් එළැඹියාහු ඉතා අඩුවුවාහුද, සමසම වූවාහුද වෙත්ද, සඞ්ඝ පවාරණයට ගණය පුරත්ද, සඞ්ඝපවාරණ වසයෙන් ඤත්තිය තැබිය යුත්තීයයි.
ඉදින් වනාහි පෙරවසෙහි තිදෙනෙක් වෙත්ද, පසුවසෙහි එකෙක් වේද, ඔහු සමග සිවු දෙනෙක් වෙත්ද, සිවුදෙනාට සඞ්ඝ ඤත්තිය තබා පවාරණය කිරීම නොවටියි. ගණඤත්තියට වනාහි හෙතෙමේ ගණපූරක වේ. එහෙයින් ගණ වසයෙන් ඤත්තිය තබා පෙරවස් එළඹියන් විසින් පැවරිය යුතුය. අනික් මහණහු විසින් ඔවුන්ගේ සමීපයෙහි පාරිසුද්ධි උපොසථය කටයුතුය. පෙරවසෙහි දෙදෙනෙක් හෝ වෙත්ද, එකෙක් හෝ වේද, මෙම නයවේ. පෙරවසෙහි එකෙක්ද, පසුවසෙහි එකෙක්දැයි දෙදෙනෙක් වෙත්ද එකකු විසින් එකක්හුගේ සමීපයෙහි පැවරිය යුතුය. එකෙකු විසින් පාරිසුද්ධි උපොසථය කටයුතුය. ඉදින් පෙරවස් එළඹියනට වඩා පසුවස් එළඹියාහු එකෙකුගෙන්ද වැඩිතරම් වූවෝවෙත්ද, පළමුකොට පාමොක් උදෙසා පසුව අඩුතරම් වූවන් විසින් ඔවුන්ගේ සමීපයෙහි පැවරිය යුතුය.
සිවුමස පිරුණු ඉල්මස පසළොස්වක් දින පවාරණයෙහි පෙරවස් එළඹියාහු වැඩිතරම්වූවෝ හෝ සමසමවූවෝ හෝ වෙත්ද, පවාරණ ඤත්තිය තබා පැවැරිය යුතුය. ඔවුන් පැවරූකල්හි පසුව අන්‍යයන් විසින් පාරිසුද්ධි උපොසථය කටයුතුය. නැවත මහා පවාරණයෙහි පැවරූ මහණෝ බොහෝවෙත්ද, පසුවස් එළඹියාහු අඩුතරම් හෝ වෙත්ද, එකෙක් හෝ වේද, පාමොක් උදෙසූ කල්හි පසුව ඔහු විසින් ඔවුන්ගේ සමීපයෙහි පැවරිය යුතුය.