පක්ඛගණනාදිඋග්ගහණානුජානනකථා
“කතමී භන්තෙ” මෙහි කීයකගේ පිරීමෙක්දැයි කතමී නම. “කාලවතො” උදෑසනම පළමුකොට යන අර්ත්ථයි.
“යං කාලං සරති” මෙහි සවසද ‘අද උපොසථය සලකවු’යි සැලකිරීම වටියි.
“ථෙරෙන භික්ඛුනා නවං භික්ඛු ආණාපෙතුං” මෙහිද කිසි කර්මාන්තයක් කරන්නෙක් හෝ හැම කල්හි එකලාවූවෙක් හෝ සඞ්ඝයාගේ බර උසුලන්නෙක් හෝ සරභාණකධම්මකථිකාදීන් අතුරෙහි එක්තරා එකෙක් හෝ පොහෝ ගෙය අමදිනු පිණිස නොඇණවිය යුතුය. සෙස්සෝ වාර විසින් ඇණවිය යුත්තාහ. අණවන ලදුයේ මුසුනක් තාවකාලික කොටත් නොලබානම්, කොළඅතු කැපකරවා හැමදිය යුතුය. කොළ අතුද, නොලබන්නහුට ලැබුනක් කැපවේ.
අසුන් පැණවීම් ඇණවීමෙහිද හැමදීම ඇණවීමෙහි කියූනයින්ම තෙරුන් විසින් ඇණවිය යුතුය. අණවන ලද්දහු විසින්ද උපොසථාගාරයෙහි අසුන් නැත්තේනම්, සඞ්ඝික ආවාසයකින්ද ගෙණ අවුත් පණවා නැවත ගෙන තැබිය යුතුය. අසුන් නැතිකල්හි කළාල්ද තටුද පැණවීම වටියි. තටු නැති කල්හි කොළ අතු කැප කරවා පැණවිය යුතුය. කැප කරන්නෙකු නොලබන්නහුට ලැබුනක් කැපවේ.
පහන් දැල්වීමෙහිද කියූ නයින්ම ඇණවිය යුතුය. අණවන්නහු විසින්ද ‘අසුවල්නම් අවකාශයෙහි තෙල්ද වැටිද තෙල්කබලද ඇත්තාහ. ඒ ගෙන පහන් දල්ව’යි කියයුතුය. තෙල් ආදිය නැත්තේනම් සෙවිය යුතුය. සොයා නොලබන්නහුට ලැබුනක් කැපවේ. එහෙත් කබලෙක්හි ගිනිද දැල්විය යුතුය.
දිසංගමිකාදිවත්ථුකථා
“සඞ්ගහෙතබ්බො” ‘ස්වාමීනි’ මැනැව, ආයෙහි මෙහි භික්ෂාසුලභය. සූපව්යඤ්ජන ඇත්තේය, උකටලී නොව වසනු මැනවැ’යි මෙසේ ප්රියවචනයෙන් සඞ්ග්රහ කටයුතුය. නැවත නැවත එසේ කිරීම් වසයෙන් අනුග්රහ කටයුතුය. ‘එසේය වසන්නෙමි’යි පිළිවදන් දීමෙන් ප්රියවචනයෙන් කතාකළ යුතුය. නොහොත් සිවුපසයෙන් සඞ්ග්රහද කටයුත්තේය. අනුග්රහද කටයුත්තේය. ප්රියවචනයෙන් කතා කළයුත්තේය. කණට සැප පරිද්දෙන් බිණිය යුත්තේය, යන අර්ත්ථයි. දියනෑමට දියයුතු සුණු ආදිය දීමෙන් උපස්ථාන කටයුත්තේය. “ආපත්ති දුක්කටස්ස” සියලු සඞ්ඝතෙමේ නොකෙරේ නම් සියල්ලන්ට දුක්කටය වේ. මෙහි තෙරහුද ඇවැතින් නොමිදෙත්මය. ලදරුමහණෝද ඇවැතින් නොමිදෙත්. සියල්ලන් විසින් දවසින් දවස උපස්ථාන කටයුතුය. තමන්ගේ වාරයෙහි උපස්ථාන නොකරන මහණහට ඇවැත් වේ. ඔහු විසින් වනාහි මහතෙරුන්ගේ පිරිවෙන් හැමඳීම් දැහැටිදඬු දීම් ආදිය නොඉවසිය යුතුය. මෙසේ ඇති කල්හිද මහතෙරුන් විසින් උදය සවස උපස්ථානයට ආයුතුය. ඔහු විසින් ඒ මහතෙරුන්ගේ ඊම දැන ඉතා පළමුකොට මහතෙරුන්ගේ උපස්ථානයට යායුතුය. ඉදින් මොහු සමග හැසිරෙන උපස්ථානයට යායුතුය. ඉදින් මොහුට සමග හැසිරෙණ උපස්ථායක භික්ෂූහු ඇත්තාහුද, “මට උපස්ථායකයෝ ඇත්තාහ. ඔබවහන්සේලා අල්පොත්සාහීව වසවු’යි කියයුතුය. තවද මොහු සමඟ හැසිරෙන භික්ෂූහු නැත්තාහුද, එම විහාරයෙහි එකෙක් හෝ දෙදෙනෙක් හෝ වතින් යුක්ත වූ භික්ෂූහු ‘අපි තෙරුන්ට කටයුතු කරන්නෙමු. සෙස්සෝ සැපයේ වෙසෙත්වා කියත්ද, සියල්ලන්ට ඇවැත් නොවේ.
“යො ආවාසො ගන්තබ්බො” පොහොය කිරීම පිණිස අඩමසක් පාසා යායුතුය. එය වනාහි හෙමන්ත ග්රීෂ්ම සෘතුදෙක්හිමය. වර්ෂා ඍතුවෙහි වනාහි යමක් කටයුතුද, එය දක්වනු පිණිස “වස්සං වසන්ති බාලා අව්යත්තා” යනාදිය වදාළසේක. එහි අනුඥාතාධිකාරයෙහි “න භික්ඛවෙ තෙහි භික්ඛූහි තස්මිං ආවාසෙ වස්සං වසිතබ්බං” පෙර වසෙහි පාමොක් උදෙසන්නකු නැතිව වස්නොඑළැඹිය යුතුය. ඉදින් ඒ ප්රාතිමොක්ෂාද්දෙශක තෙමේ වස් එළැඹියවුන් අතුරෙන් යන්නේ හෝ සිවුරු හෝ හරීද, කලුරිය හෝ කෙරේද, කියූ ලක්ෂණයෙන් යුත් ව්යක්ත වූ අන් මහණකු ඇති කල්හිම පසුවස් විසීම වටියි. නැතිකල්හි අන්තැනකට යායුතුය. නොයන්නවුන්ට දුක්කටය වේ. පසුවසෙහි එහි විසූ ව්යක්ත වූ මහණතෙමේ බැහැර හෝ යේද, සිවුරු හෝ හරීද, කලුරිය හෝ කෙරේද, දෙමසක් විසිය යුතුය.
පාරිසුද්ධිදානකථා
“කායෙන විහිඤ්ඤාපෙති” පාරිශුද්ධිදානය යම්කිසි අඞ්ග ප්රත්යඞ්ගයකින් හඟවාද, දන්වාද, වචනය වනාහි නිකුත් කිරීමට හැකිවනුයේ වචනයෙන් හඟවයි. දෙයාකාරයෙන් හැකිවනුයේ කය වචනයෙන් හඟවයි. “සඞ්ඝෙන තත්ථ ගනත්වා උපොසථො කාතබ්බො” එබඳු බොහෝ ගිලන්හු වෙත්ද, සඞ්ඝයා විසින් පිළිවෙළින් සිට සියලු දෙන අත්පසෙහි කටයුතුය. ඉදින් දුර දුර වෙත්නම්, සඞ්ඝ නොපොහොනේනම්, එදවස පොහොය නොකටයුතුය. වර්ග සඞ්ඝයා විසින් උපොසථය නොමකටයුතුය.