උපොසථක්‍ඛන්‍ධක වර්‍ණනාව
සන්නිපාතානුජානනාදිකථා
උපොසථක්‍ඛන්‍ධකයෙහි - “අඤ්ඤතිත්‍ථියා” මෙහි ලබ්ධිය, තීර්ථ’යි කියනු ලැබේ. අන්‍යලබ්ධිය අන්‍යතීර්ථ නම. ඒ අන්‍යතීර්ථය මොවුනට ඇතැයි අඤ්ඤතිත්‍ථිය නම. මේ ශාසනික ලබ්ධියෙන් අන්‍යලබ්ධි ඇත්තාහයි කියන ලද්දේ වේ. “ධම්මං භාසන්ති” ඔවුන්ගේ කටයුතු නොකටයුතුවූ යමක්වේද, එය කියත්. “තෙ ලභන්ති” ඒ මනුෂ්‍යයෝ ලබත්. “මුගසූකරා” ගොලු ඌරෝ
“අජ්ඣාපන්නො වා හොති ආපජ්ජිත්‍වා වා වුට්ඨිතො” මෙහි මහණතෙමේ යම් ඇවැතකට නොපැමිණියේ හෝ වේද, පැමිණ නැගී සිටියේ හෝ වේද, මේ ඇවැත් නැත්තී නමැති මෙසේ අර්‍ත්‍ථය දතයුතුය. “සම්පජානමුසාවාදෙ කිං හොති” යම් මේ දැන බොරුකීමෙන් මොහුට වේය’යි කියන ලද්දේ ද, හෙතෙමේ ඇවැතින් කුමක්වේද, කවර ඇවැතක් වේද යන අර්‍ත්‍ථයි. “දුක්කටං හොති” දුක්කටාපත්තිය වේ. ඒ දුක්කටාපත්ති තොමෝද මුසාවාද ලක්‍ෂණයෙන් නොවේ. භාග්‍යවතුන් වහන්සේගේ වචනයෙනි. වාග්ද්වාරයෙහි අක්‍රියසමුත්‍ථාන ආපත්තිය වේයයි දතයුතුය.
“කිසියම් මිනිසකු සමග වචනයෙන් නොබණන්නේ අන්හට ඇසෙනසේ වචනයක් නොකියන්නේය. වචනයෙන් උපන් ඇවතට පැමිණෙන්නේය. කායද්වාරයෙහි සමුත්‍ථානය වන ඇවැතට නොපැමිණෙන්නේය. මේ ප්‍රශ්නය විනයඥයන් විසින් සිතන ලදැයි කියන්නේමය.
“අන්තරායිකො” අන්තරායකර වේ. “කිස්ස ඵාසු හොති” කුමක් පිණිස පහසුවේද, යත්: “පඨමස්ස ඣානස්ස අධිගමාය” ප්‍රථමද්ධ්‍යානයාගේ අධිගමය පිණිස බොරු නොකියන ඒ මහණහුට පහසු වේ. සියලු තන්හි මේනය වේ. මෙසේ භාග්‍යවතුන් වහන්සේ උද්දෙස වසයෙන්ද නිද්දෙස වසයෙන්ද පළමුකොට ප්‍රාතිමොක්‍ෂාද්දෙශය දක්වා වදාළ සේක.
“දෙවසිකං” දවසක් දවසක් පාසා. “චාතුද්දසෙ වා පණ්ණරසෙ වා” එක් සෘතුවක තෙවනවූද සත්වනවූද පක්‍ෂයෙහි තුදුස්වක්හි දෙවරක්. සෙසු පසළොස්වක්හි සවරක්. මේ වනාහි එක් අර්‍ත්‍ථයෙක් වේ. මේ වනාහි ප්‍රකෘති චාරිත්‍ර වශයෙන් කියන ලදී. ‘සකිං පක්‍ඛස්ස චාතුද්දසෙ වා පණ්ණරසෙ වා”යි කියූබැවින් එබඳු හෙතුවක් ඇති කල්හි යම් ඒ තුදුස්වක්හි හෝ පසළොස්වක්හි පාමොක් උදෙසීම වටියි. ‘ආවාසික භික්‍ෂූන්ට තුදුස්වක වේද, ආගන්තුක භික්‍ෂූන්ට පසළොස්වක වේද, ඉදින් ආවාසික භික්‍ෂූහු ඉතා බොහෝ වෙත්නම්, ආගන්තුක භික්‍ෂූන් විසින් ආවාසික භික්‍ෂූන්ට අනුව පැවතිය යුතුයයි කියූ බැවින්ද මේ කරුණ දතයුත්තේය.
සීමානුජානනකථා
“පඨමං නිමිත්තා කිත්තෙතබ්බා” විනයධරයා විසින් “පුරත්‍ථිමාය දිසාය කිං නිමිත්තං”යි විචාළ යුතුය. “පබ්බතො භන්තෙ”යි කියයුතුය. නැවත විනයධරයා විසින් “එසො පබ්බතො නිමිත්තං”යි මෙසේ කීර්තනය කටයුතුය. ‘මේ පර්‍වතය නිමිත්තක් කරමු, කරන්නෙමු, නිමිත්ත කරණලදී. නිමිත්තවේවා, වන්නේය, වේය’යි මෙසේ වනාහි කීර්තනය කිරීම නොවටියි. පාෂාණාදීන්හිද මෙම නයවේ. “පුරත්‍ථිමාය අනුදිසාය, දක්‍ඛිණාය දිසාය, දක්‍ඛිණාය අනුදිසාය, පච්ඡිමාය දිසාය, පච්ඡිමාය අනුදිසාය, උත්තරායදිසාය, උත්තරාය අනුදිසාය, කිං නිමිත්තං, උදකං භන්තෙ එතං උදකං නිමිත්තං” යන මෙහි නොසිට, නැවත “පුරත්‍ථිමාය දිසාය කිං නිමිත්තං, පබ්බතො භන්තෙ, එසො පබ්බතො නිමිත්තං”යි මෙසේ පළමුකොට කීර්තනය කළ නිමිත්ත කීර්තනය කොට තැබිය යුතුය. මෙසේ වනාහි නිමිත්තෙන් නිමිත්ත ගටන ලද්දේ වේ. මෙසේ නිමිති කීර්තතනයකොට, නැවත අනතුරුව කියන ලද කර්‍මවාක්‍යයෙහි සීමාව සම්මත කටයුත්තීය. කර්‍මවාක්‍යයාගේ අවසානයෙහි නිමිති තුළ සීමාව වන්නීය. නිමිති සීමාවෙන් පිටත වේ. එහි නිමිති වරක් කීර්තනය කරණ ලද්දාහුද, කීර්තනය කරණ ලද්දාහුම වෙත්. අන්‍ධකාර්‍ත්‍ථකථාවෙහි වනාහි තෙවරක් සීමාමණ්ඩලය සම්බන්‍ධ කරන්නහු විසින් නිමිත්ත කීර්තනය කටයුතුය’යි කියනලදී. “පබ්බතො භනෙත්ති -පෙ- උදකං භන්තෙති” මෙසේ වනාහි උපසම්පන්නයෙක් හෝ අනුපසම්පන්නයෙක් හෝ කියවා වටීමය.
දැන් පර්‍වතනිමිත්තාදීන් අතුරෙහි විනිශ්චය මෙසේ දතයුතුය. පර්‍වතය ශුද්ධපාංශුපර්‍වතය, ශුද්ධපාෂාණපර්‍වතය, උභයමිශ්‍රකපර්‍වතයයි තෙවැදෑරුම් වේ. ඒ ත්‍රිවිධ පර්‍වතයම වටියි. වැලිරැස වනාහි නොවටියි. අන්‍යවූ ශුද්ධපාංශුපර්‍වතාදිය හස්තිප්‍රමාණයෙන් අඩුතරම් වූයේ නොවටියි. හස්තිප්‍රමාණය පටන් මහමෙර පමණවූයේද වටියි. ඉදින් සිවුදිසාවන්හි සතරක් හෝ තිදිසාවන්හි තුනක් හෝ පර්‍වත වෙයි. සතරක් හෝ තුනක් හෝ පර්‍වත නිමිත්තයෙන් සම්මත කරන්නටද වටියි. නිමිති දෙකකින් හෝ එකකින් හෝ සම්මත කරන්නට නොවටියි. මෙයින් අන්‍යවූ පාෂාණනිමිත්තාදීන්හිද මෙම නයවේ. එහෙයින් පර්‍වතය නිමිත්ත කරන්නහු විසින් ‘එකාබද්ධවූයේද, එකාබද්ධ නොවූයේදැ’යි විචාළ යුතුය. ඉදින් එකාබද්ධවූයේ වේනම් නොකටයුතුය. ඒ පර්‍වතය වනාහි සිවුදික්හි හෝ අටදික්හි හෝ කීර්තනය කරන්නහු විසින්ද එක්ම නිමිත්තක් කීර්තනය කරණ ලද්දේ වේ. එහෙයින් මෙසේ චක්‍රාකාරයෙන් වෙහෙර වටකොට සිටි යම් පර්‍වතයක්වේද, ඒ පර්‍වතය එක් දිසාවෙක්හි කීර්තනයකොට, අන්දිසාවන්හි ඒ පර්‍වතය පිටකොට ඇතුළත අන් නිමිති කීර්තනය කටයුතුය.
ඉදින් පර්‍වතයෙහි තෙවන කොටස හෝ අඩක් හෝ සීමාවට ඇතුළත් කරනු කැමැත්තාහු වෙත්ද, පර්‍වතය කීර්තනය නොකොට යම් පමණ පෙදෙසක් ඇතුළත් කරනු කැමැත්තාහුද, ඒ පෙදෙසෙහි පසුභාගයෙහි ඒ පර්‍වතයෙහිම හටගත් රුක්තුඹස් ආදීන් අතුරෙහි එක්තරා නිමිත්තක් කීර්තනය කටයුතුය. ඉදින් එක් යොදුන් දෙයොදුන් පමණ වූ සියලු පර්‍වතය ඇතුළත් කරනු කැමැත්තාහු වෙත්නම්, පර්‍වතයෙහි පසුභාගයෙහි බිම හටගත් රුක්තුඹස් ආදීවූ නිමිති කීර්තනය කටයුතුය.
පාෂාණනිමිත්තෙහි යගුලියද පාෂාණසඞ්ඛ්‍යාවටම’යයි. එහෙයින් යම්කිසි පාෂාණයක් වටියි. ප්‍රමාණයෙන් වනාහි ඇතකු පමණවූයේ පර්‍වතයසඞ්ඛ්‍යාවට ගියේය. එහෙයින් එය නොවටියි. මහගොන් මහමීමුන් පමණවූයේ වටියි. එයින් අඩුතරම්වූයේ නොවටියි ගඩොල මහත්වූවාද නොවටියි. නිමිත්තට නොසුදුසු ගල්රැසද නොවටියි. පස්වැලි රැස කියනු කිම. බිමට සමවූ කලවිට මඩලසමානවූ පිටිගල හෝ, පොළොවෙන් කණුවක් මෙන් නැගුනු ගලක් හෝ වේද, එද පමණට සුදුසුවූයේ නම්, වටියි. පිටිගල ඉතා මහත්වූයේද, පාෂාණසඞ්ඛ්‍යාවටම’යයි. එහෙයින් මහත් පිටිගලක එක්පෙදෙසක් සීමාවට ඇතුළත් කරනු කැමැත්තාහු වෙත්නම්, ඒ පිටිගල කීර්තනය නොකොට ඒ පිටිගල මත්තෙහි අනික් ගලක් කීර්තනය කටයුතුය. ඉදින් පිටිගල මත්තෙහි වෙහෙරක් කෙරෙත්ද, පිටිගල වෙහෙර මැදින් හෝ විනිවිද යේද, මෙබඳුවූ පිටිගල නොවටියි. ඒ පිටිගල කීර්තන කෙරෙත්නම්, නිමිත්ත මතුවෙහි විහාරයෙක් වේනම්, නිමිත්තද සීමාවෙන් පිටත වේනම්. විහාරයද සීමාවෙන් පිටතට පැමිණේ. විහාරය වටකොට සිටි පිටිගල හෝ එක් තැනෙක්හි කීර්තනයකොට, අනික් තැනෙක්හි කීර්තනය නොකටයුතුය.