උපොසථභෙදාදිකථා
“චාතුද්දසිකො ච පණ්ණරසිකො ච” මෙහි චාතුර්දශික පූර්වකෘත්යයෙහි “අජ්ජුපොසථො චාතුද්දසො”යි කියයුතුය.
“අධම්මෙන වග්ගං” යනාදිතන්හි එක් විහාරයෙක්හි භික්ෂූන් සතර නමක් වසන කල්හි එකෙක්හුගේ ඡන්දපාරිශුද්ධිය ගෙන තුන් දෙනෙක් පාරිශුද්ධිඋපොසථය කෙරෙත්නම්, භික්ෂූන් තුන්නමක් හෝ වසන කල්හි එකෙක්හුගේ ඡන්දපාරිශුද්ධිය ගෙනවුත් දෙදෙනෙක් පාමොක් උදෙසත්නම්, අධර්මයෙන් වර්ගවූ උපොසථ කර්මය වේ. සතර නමක් භික්ෂූහු රැස්ව පාරිශුද්ධිඋපොසථය කෙරෙත්නම්, තිදෙනෙක් හෝ දෙදෙනෙක් හෝ පාමොක් උදෙසත්නම්, අධර්මයෙන්වූ සමගිකර්මය නම් වේ. සතර දෙනකුන් අතුරෙහි එකෙකුගේ පාරිශුද්ධිය ගෙනවුත් තිදෙනෙක් පාමොක් උදෙසත්නම්, තිදෙනෙකුන් අතුරෙහි එකෙකුගේ පාරිශුද්ධිය ගෙනවුත් දෙදෙනෙක් පාරිශුද්ධි උපොසථය කෙරෙත්නම්, ධර්මයෙන්වූ වර්ගකර්මය නම් වේ. සතර දෙනෙක් එක්තැනෙක වසන්නාහු සියල්ලෝම රැස්වී පාමොක් උදෙසත්නම්, තිදෙනෙක් පාරිශුද්ධිඋපොසථය කෙරෙත්නම්, ධර්මයෙන් වූ සමගිකර්ම නම් වේ.
පාතිමොක්ඛුද්දෙසකථා
“නිදානං උද්දිසිත්වා අවසෙසං සුතෙන සාවෙතබ්බං” “සුණාතු මෙ භන්තෙ සඞ්ඝො -පෙ- ආවීකතාභිස්ස ඵාසු හොති” යන මේ නිදානය උදෙසා “උද්දිට්ඨං ඛො ආයස්මන්තො නිදානං, තත්ථායස්මන්තෙ පුච්ඡාමි කච්චිත්ථ පරිසුද්ධා? දුතියම්පි පුච්ඡාමි කච්චිත්ථ පරිසුද්ධා? තතියම්පි පුච්ඡාමි කච්චිත්ථ පරිසුද්ධා? පරිසුද්ධෙත්ථායස්මන්තො තස්මා තුණ්හී එවමෙතං ධාරයාමි. සුතා ඛො පනායස්මන්තෙහි චත්තාරො පාරාජිකා ධම්මා - පෙ- අවිවදමානෙහි සික්ඛිතබ්බං” යි මෙසේ සෙස්ස ශ්රැතපදයෙන් ඇස්විය යුතුය. මෙනයින් සෙසු සිවුවැදෑරුම්වූ ප්රාතිමොක්ෂයෝ දතයුත්තාහ.
“සවරභයං” වනවැසි මිනිසුන්ගෙන් වනබියක්. “රාජන්තරායො” යනාදි තන්හි භික්ෂූන් ‘පොහොය කරන්නෙමු’යි හුන් කල්හි රජතෙමේ ඒනම්, මේ රාජන්තරාය නම. සොරු එත්නම් මේ චොරන්තරාය නම. ලැවුගින්නක් හෝ වේද, ආවාසයෙහි හෝ ගිනි නගීද, මේ අග්ගන්තරාය නම. මෙඝයක් හෝ නගීද, දියසැඩපහරක් හෝ ඒද, මේ උදකන්තරාය නම. බොහෝ මිනිස්සු එත්ද, මේ මනුස්සන්තරාය නම. ව්යාඝ්රදිචණ්ඩ මෘගයෝ එත්ද, මේ වාළන්තරාය නම. සර්පාදීහු මහණකු දෂ්ටකෙරෙත්ද, මේ සිරීංසපන්තරාය නම. මහණෙක් ගිලන් හෝ වේද, කලුරිය හෝ කෙරේද, වෛරීහු හෝ ඔහු මරනු කැමැත්තාහු අල්ලා ගනිත්ද, මේ ජීවිතන්තරාය නම. මිනිස්සු එක් මහණකු හෝ බොහෝ මහණුන් හෝ බ්රහ්මචර්ය්යයෙන් ච්යුත කරනු කැමැත්තාහු ගනිත්ද, මේ බ්රහ්මචරියන්තරාය නම. මෙබඳු අන්තරායයන්හි ප්රාතිමොක්ෂය සැකෙවින් දෙසිය යුතුය. ප්රථම උද්දෙසය හෝ උදෙසිය යුතුය. ආදියෙහි දෙකක් තුනක් සතරක් හෝ දෙසිය යුතුය. මේ ප්රාතිමොක්ෂාද්දෙශිනාධිකාරයෙහි ද්විතීයාදි උද්දෙශයන් අතුරෙහි යම් උද්දෙශයක් නොනිමි කල්හි දශවිධ අන්තරායයන් අතුරෙහි යම් අන්තරායක් වේද, ඒ නොනිමි උද්දෙසයද ශ්රැතයෙන් ඇස්විය යුතුය.
“අනජ්ඣිට්ඨා” නොඅණවන ලද්දහු, නොයදින ලද්දාහු හෝ මෙහිද ආරාධනාව සඞ්ඝයා විසින් සම්මතකරණලද ධර්මාරාධකයාහට අයත්වූවා හෝ සඞ්ඝ ස්ථවිරයන්හට අයත්වූවා හෝය. ඒ ධර්මාරාධකයකු නැති කල්හි සඞ්ඝස්ථවිරයන් විචාරා හෝ ඔහු විසින් යාඥා කරණ ලද්දේ හෝ දහම් දෙසන්නට ලබයි. විහාරයෙහි බොහෝ ධර්මකථිකයෝ වෙත්නම්, සංඝස්ථවිර තෙමේද, වාරපිළිවෙළින් කියයුත්තාහ. ‘තෝ බණදෙසව, ධර්මදානය දෙව’යි හෝ කියනලද්දාහු විසින් ඔසාරණ, කථන, සරභඤ්ඤ යන මේ ත්රිවිධවූද විධියෙන් දහම් දෙසිය යුතුය. ‘පෙළකියව’යි කියන ලද්දේ පෙළ කීමම, අර්ත්ථ කියව’යි කියන ලද්දේ අර්ත්ථ කීමම ස්වරයෙන් කියව’යි කියන ලදුයේ ස්වරයෙන් කීමම ලබයි. සංඝස්ථවිර තෙමේද, ඉතා උස් අසුනෙක හුන්නේ යාඥාකිරීම නොලබයි. උපාද්ධ්යාය තෙමේද, සද්ධිවිහාරික තෙමේද යන මොවුහු වෙත්නම්, උපාද්ධ්යාය තෙමේද, උස් අසුනෙක හුන්නේ ඒ අතවැසියාහට කියව’යි කියාද සජ්ඣායනය ඉටා බිණිය යුතුය. මෙහි ලදරු භික්ෂූහු වෙත්ද, ඔවුනට කියමි’යි කියයුතුයි.