ගාමසීමාදිකථා
මෙසේ බද්ධසීමාවසයෙන් සමානසංවාසයද එකූපොසථභාවයද දක්වා දැන් අබද්ධසීමා අවකාශයන් කෙරෙහිද එය දක්වනසේක් “අසම්මතාය භික්‍ඛවෙ සීමාය අට්ඨපිතාය” යනාදිය වදාළ සේක. එහි “අට්ඨපිතාය” යනු බද්ධසීමා වසයෙන් නොකළ පිරිසිඳීම් ඇති මෙහි ග්‍රාමග්‍රහණයෙන් නගරයද ගන්නා ලද්දේම වේ. එහි යම් පමණ පෙදෙසක ඒ ග්‍රාමයෙහි ග්‍රාමභොජකයෝ බලි ලබත්ද, ඒ පෙදෙස කුඩා හෝ වේවා, මහත් හෝ වේවා, ග්‍රාමසීමා මැයි සඞ්ඛ්‍යාවට යයි. නගරනිගම සීමාවන්හිද මෙම නය වේ. එක්ම ග්‍රාම ක්‍ෂෙත්‍රයෙහි යම්බඳුවූද එක් පෙදෙසක් ‘මේ පෙදෙස විසුංග්‍රාමය වේවා’යි පිරිසිඳ රජතෙමේ කිසිවක්හට දේද, ඒ පෙදෙසද විසුංග්‍රාමසීමාව වන්නේමය. එහෙයින් ඕතොමෝද, අන්‍යවූද ප්‍රකෘති ග්‍රාම නගර නිගමසීමාවෝ බද්ධසීමාව සමානම වෙත්. හුදෙක් තුන් සිවුරෙන් වෙන්ව වසන පරිහාරය නොලබත්.
මෙසේ ග්‍රාමාන්තවාසීන්ගේ සීමා පරිච්ඡෙදය දක්වා දැන් ආරණ්‍යකයන්ගේ සීමාපරිච්ඡෙදය දක්වන සේක් “අගාමකෙ චෙ” යනාදිය වදාළ සේක. එහි “අගාමකෙ චෙ” යනු වින්‍ධ්‍යවනය සදෘශ වූ අරණ්‍යයෙහි මහණෙක් වසාද නැවත ඔහු සිටිය අවකාශයෙන් වටින් සත් අබතුරක් සමානසංවාසකසීමාය යන අර්‍ත්‍ථයි. මේ සීමාව තිචීවර විප්පවාසසම්මුතියද ලබයි. එහි එක් අබතුරක් අටවිසිරියන් පමණ වේ. ඉදින් සඞ්ඝයා දෙකොටසක් වෙන්ව විනයකර්‍ම කෙරෙත්ද, සත්අබතුරු දෙකක් අතර අනික් එක් සත් අබතුරක් උපචාරය පිණිස තැබිය යුතුයි. සෙසු සත්තබ්භන්තර සීමාකථා මහාවිභඞ්ගයෙහි උද්දෙසිත ශික්‍ෂාපද වර්‍ණනාවෙහි කියූනයින් ගතයුතුය.
“සබ්බා භික්‍ඛවෙ නදී අසීමා” නදීලක්‍ෂණප්‍රාප්ත වූ යම්කිසි නදියක් නිමිති කීර්තනය කොට ‘මේ නදිය බද්ධසීමාව කරම්හ’යි කරන ලද්දීද, සීමා නොවන්නීය. ඒ නදිය වනාහි තමාගේ ස්වභාවයෙන්ම බද්ධසීමාව සමානවන්නීය. මෙහිද සියලු සඞ්ඝකර්‍ම කරන්නට වටියි. සමුද්දජාතස්සරයන්හි ද මෙම නය වේ. මෙහි ජාතස්සර නම්, යටත් පිරිසයින් යම්කිසි තිරිසනෙකු විසින්ද, කැණ නොකළ තෙමේම හටගත් හෙබය. හාත්පසින් ගලා ආ ජලයෙන් පිරී සිටියි.
මෙසේ නදී සමුද්දජාතස්සරයන්ගේ බද්ධසීමාභාවය ප්‍රතික්‍ෂෙපකොට නැවත එහි අබද්ධසීමා පරිච්ඡෙදය දක්වන සේක් “නදියා වා භික්‍ඛවෙ” යනාදිය වදාළ සේක. එහි “යං මජ්ඣිමස්ස පුරිසස්ස සමන්තා උදකුක්‍ඛෙපං” යම්තැනක් බල මැදුම් පුරුෂයක්හුගේ දියවීසි කිරීමෙන් පිරිසිදින ලද්දේ ද එතැනය. කෙසේවනාහි දියවීසි කළයුතුද, යත්: යම්සේ අක්‍ෂධූර්‍තයෝ දැවගුලය වීසිකෙරෙත්ද, එසේ දිය හෝ වැලි හෝ අතින් ගෙන මැදුම්බලැති පුරුෂයකු විසින් සියලු ශක්තියෙන් වීසි කළයුතුය. මෙසේ දැමූ දිය හෝ වැලි යම්තැනෙක වැටේද, මේ එක් උදකුක්‍ඛෙපයෙක් වේ. ඒ උදකුක්‍ඛෙපය ඇතුළත අත්පස හැර සිටියේ කර්‍මය කොප්‍ය කරයි. යම්තාක් පිරිස වැඩේද, ඒතාක් සීමාවද වැඩේ. පිරිස කෙළවර පටන් උදකුක්‍ඛෙපයම ප්‍රමාණ වේ. ජාතස්සර සමුද්දාදියෙහිද මෙමනය වේ.
මෙහිද ඉදින් නදී තොමෝ ඉතා දිග් නොවන්නීවේද, උපන්තැන් පටන් මුවදොර දක්වා හැමතන්හි සඞ්ඝතෙමේ අත්පස නොහැර හිඳීද, එහෙයින් උදකුක්‍ඛෙප සීමාකෘත්‍යයෙක් නැත්තේය. සියලු නදීතොමෝ මෙම මහණුන්ට පොහොනී වේ. මහාසුම්ම ස්ථවිරයන් වහන්සේ විසින් ‘යොදුනක් පවත්නාවූම නදියක් වීද, එහිද මතුවෙහි අඩයොදුනක් හැර යට අඩ යොදුනක් තන්හි කර්‍ම කරන්නට වටීය’යි යමක් කියන ලද්දේ ද, ඒ කීම මහාපදුම ස්ථවිරයන් වහන්සේ විසින්ම, භාග්‍යවතුන්වහන්සේ විසින් “තිමණ්ඩලං පටිච්ඡාදෙත්‍වා යත්‍ථ කත්‍ථචි උත්තරන්තියා භික්‍ඛුණියා අත්තරවාසකො තෙමීයති”යි මේ ආදියෙහි ප්‍රමාණය දක්වන ලද්දේය. යොදුනෙක් හෝ අඩයොදුනෙක් හෝයි ප්‍රමාණය නොවදාරණ ලද්දේය. එහෙයින් මේ සූත්‍රයාගේ වසයෙන් ප්‍රතික්‍ෂෙප කරණලදී. පෙරකියූ ලක්‍ෂණ ඇති නදියක් වේද, ඒ නදිය හටගත් තැන්පටන් සඞ්ඝකර්‍ම කරන්නට වටියි. ඉදින්වනාහි මෙහි බොහෝ භික්‍ෂූහු වෙන්වෙන්ව කර්‍ම කෙරෙත්ද, සියල්ලන් විසින් තමන්ගේ හා අන්‍යයන්ගේද, උදකුක්‍ඛෙප පරිච්ඡෙදය අතර අනික් උදකුක්‍ඛෙපයෙක් සීමන්තරිකය පිණිස තැබිය යුතුය. ඉන්වැඩියක් වටීමය. අඩුව වනාහි නොවටීයයි කියනලදී. ජාතස්සරසමුද්දාදියෙහි ද මෙම නය වේ.
නදියෙහි වනාහි කර්‍මකරන්නෙමු’යි ගියවුන් විසින් ඉදින් නදිය පිරීගියා ඉවුර සමව පවත්නීද, දියසළුව හැඳද නදිය තුළම කර්‍මකටයුතුය. ඉදින් නොහැකි වෙත්නම්, නැවෙහිද සිට කර්‍ම කටයුතුය. යන නැවෙහි සිට කර්‍ම කරන්නට නොවටියි. කුමක්හෙයින, යත්: උදකුක්‍ඛෙප ප්‍රමාණයම සීමාව වේ. නැව, ඒ උදකුක්‍ඛෙප ප්‍රමාණය වහාම ඉක්මවන්නීය. මෙසේ ඇතිකල්හි අනික් සීමාවක ඤත්තිය වේ. අනික් සීමාවක අනුශ්‍රාවණය වේ. එහෙයින් නැව රිටකින් හෝ නවතා ගල් හෝ එල්ලා නදියතුළ හටගත් රුකෙක හෝ බැඳ කර්‍ම කටයුතුය. නදියතුළ බඳින ලද අටල්ලෙහිද ගඟ තුළ හටගත් රුකෙක්හිද සිටියවුන් විසින් කර්‍ම කිරීම වටියි.