අවිප්පවාසසීමානුජානනකථා
“අන්‍ධකවින්‍දා” රජගහනුවරින් තුන්ගවු පමණ තන්හි අන්‍ධකවින්‍ද නම් නුවර පිහිටියේය. එනුවර නිසා මහාකාශ්‍යප මහාස්ථවිරයන් වහන්සේ වැඩවසන සේක. එයින් රජගහනුවරට පොහොයට එන්නාහු, රජගහනුවර වටකොට අටළොස් මහාවිහාර කෙනෙක් වෙත්. සියල්ලෝ එක් සීමාය. දම්සෙනෙවි සැරියුත් මහතෙරුන් විසින් ඔවුන්ගේ සීමාව බඳින ලද්දීය. එහෙයින් වේළුවනයෙහි සඞ්ඝයාහට සාමග්‍රිය දෙනු පිණිස එන්නාහ යන අර්‍ත්‍ථයි. “නදිං තරන්තො” සප්පිනී නම් නදිය ඉක්මවන්නාහු “මනං වූළ්හො අහොසි” මදකින් නොපැමිණ ගසායෑම වූයේය. ඒනදිය වනාහි ගිජ්ඣකුටයෙන් බැස සැඩදියපහරින් යුක්තව ගලාබසියි. එහි වේගයෙන් ගලා එන ජලය ගැණ සිහි නොකරණ ස්ථවිරතෙමේ මදක් ගසාගෙන යන ලද්දේවීය. ගසාගෙන යන ලද්දේ නොවීය. උන්වහන්සේගේ දියෙන් මැඩුනු සිවුරු තෙත්වූහ.
“සම්මතා හි සීමා සඞ්ඝෙන තිචීවරෙන අවිප්පවාසා ඨපෙත්‍වා ගාමඤ්ච ගාමූපචාරඤ්ච” යන මේ කර්‍මවාක්‍යය උපන්තැන් පටන්ම මහණුන්ට පළමු කර්‍මවාක්‍යය නොවටියි. මේ කර්‍මවාක්‍යයම ථාවර වේ. මෙහෙණන්ට වනාහි මේ කර්‍මවාක්‍යය නොවටියි. පළමු කර්‍මවාක්‍යයම වටියි. කුමක් හෙයින, යත්:- භික්‍ෂුණී සඞ්ඝතෙමේ වනාහි ඇතුළුගම වෙසෙයි. මෙසේ කිසිකලෙක ඒ භික්‍ෂුණීසඞ්ඝතෙමේ මේ කර්‍මවාක්‍යයෙන් තිචීවරපරිහාරය නොලබන්නේය, මේ භික්‍ෂුණීසඞ්ඝයාහට පරිහාරය ඇත්තේය. එහෙයින් පළමු කර්‍මවාක්‍යයම වටියි. එහෙයිනි. භික්‍ෂුණිසඞ්ඝයාහට සමානසංවාසක-අවිප්පසවාසසීමා දෙකම ලැබේ. එහි මහණුගේ සීමාව යටපත්කොටද, ඒ සීමාව තුළද, මෙහෙණන්ගේ සීමාව සම්මත කිරීම වටියි. මහණුන්හටද මෙහෙණන්ගේ සීමාවෙහි මෙමනය වේ. ඔවුන් ඔවුනොවුන්ගේ කර්‍මයෙහි ගණපූරක නොවෙත්. කර්‍මවාක්‍යය වර්‍ග නොකෙරෙත්. මෙහිද නිගම නගරයන්ගේ සඞ්ග්‍රහයද ග්‍රාම යන වචනයෙන්ම දතයුතුය.
“ගාමූපචාරො” වටකරණලද ග්‍රාමයෙහි ප්‍රාකාරයද නොවටකරණලද ග්‍රාමයෙහි ප්‍රාකාරයට සුදුසු අවකාශයද වේ. ඒ දෙතන්හි ඉටුතුන් සිවුරු ඇති මහණතෙමේ. පරිහාරය නොලබයි. මෙසේ මහණුන්ගේ අවිප්පවාසසීමා ග්‍රාමයටද ගාමොපචාරයටද නොබසියි. සමානසංවාසක සීමාතොමෝ මෙහිද තමන්ගේ ධර්‍මතාවයෙන් යයි. අවිප්පවාසසීමාව වනාහි සමානසංවාසක සීමා යම්තැනෙක්හි ද එහිම යයි. ඒ අවිප්පවාසීමාවට වෙන්ව නිමිත්ත කීර්තනයෙක් නැත්තේය. එහි ඉදින් අවිප්පවාසසීමා සම්මුති කාලයෙහි ගම ඇත්තේද, ඒ ගමට ඒ අවිප්පවාසසීමා නොපැතිරේ. ඉදින් සීමාව සම්මත කළ කල්හි පසුව ගමක් පිහිටාද, එද අවිප්පවාස සීමාසඞ්ඛ්‍යාවටම යයි. යම්සේ පසුව පිහිටුවන ලද්දේ ද, එසේ පළමු පිහිටුවන ලද ගමෙහි වැඩීගිය පෙදෙසද අවිප්පවාසසීමා සඞ්ඛ්‍යාවටම යයි. ඉදින් සීමාසම්මුතිකාලයෙහි ගෙවල් කරණ ලද්දාහුද, එහි පිවිසෙන්නෙමු’යි ආලයක් ඇත්තේද, මිනිස්සු නොපිවිසියාහුද, පැරණි ගමෙහි හෝ ඉදින් ගෙයම හැරදමා අන්තැනෙක ගියාහුද, මෙය ගම නොවේමය. සීමාව පැතිරේ. ඉදින් එක් කුලයෙක්ද පිවිසියේ හෝ ආයේ හෝ ඇත්තේ නම් ගමමය. සීමාව නොපැතිරේ.
“එවඤ්ච පන භික්‍ඛවෙ තිචීවරෙන අවිප්පවාසො සමූහන්තබ්බො” මෙහි සීමාව උදුරණ මහණහු විසින් වත දැනගත යුතුය. එහි මේ වතයි. ඛණ්ඩ සීමාවෙහි සිට අවිප්පවාසසීමාව නොඉදිරිය යුතුය. එසේ අවිප්පවාස සීමාවෙහි ඛණ්ඩසීමාවද නොඉදිරිය යුතුය. ඛණ්ඩසීමාවෙහි සිටියහු විසින් අනික් මහාසීමාව ඉදිරිය යුතුය. සීමාවනම් ප්‍රකෘතියෙන් කුඩා සීමාව, නැවත ආවාසය වැඩීම පිණිස මහත් හෝ කරන්නට, ප්‍රකෘතියෙන් හෝ මහත්සීමාව, නැවත අන්‍යයන්ගේ විහාරයන් ඉඩදීම පිණිස කුඩා හෝ කරන්නටැ’යි යන දෙකරුණෙන් උදුරත්. එහි ඛණ්ඩසීමාවත් අවිප්පවාසසීමාවත් දනිත්නම්, උදුරන්නටද බඳින්නටද හැකිවෙත්. බණ්ඩසීමාව වනාහි දන්නාහු, අවිප්පවාස සීමාව නොදන්නාහුද උදුරන්නටද බඳින්නටද හැකිවෙත්. ඛණ්ඩසීමාව නොදන්නාහු, අවිප්පවාස සීමාවම දන්නාහු චෛත්‍යාඞ්ගණ බොධ්‍යඞ්ගණ උපොසථාගාරාදී වූ නිරාශඞ්ක ස්ථානයන්හි සිට උදුරන්නට හැකිවෙත්. ඉතාමැනවි. නැවත බඳින්නට නොහැකිවන්නාහුමය. ඉදින් බඳින්නාහු නම් සීමාසම්භෙදය කොට විහාරය සඞ්ඝකර්‍මයන්ට සුදුසු තැනක නොකරන්නාහුය. එහෙයින් ඛණ්ඩසීමාව නොදන්නහු විසින් නොඉදිරිය යුතුය. යම්කෙනෙක් වනාහි දෙකම නොදනිත්නම්, ඔවුහු උදුරන්නට නොහැකිවෙත්මය. බඳින්නට නොහැකිවෙත්. මේ සීමාව වනාහි කර්‍මවාක්‍යයෙන් හෝ ශාසනාන්තර්ධානයෙන් හෝ අසීමාවන්නීය. සීමාව නොදන්නන් විසින් කර්‍මවාක්‍යය කරන්නට නොහැකිය. එහෙයින් නොඉදිරිය යුතුය. මනාකොට දැනම සමූහනයද කටයුතුය. බන්‍ධනයද කටයුතුය.
ගාමසීමාදිකථා
මෙසේ බද්ධසීමාවසයෙන් සමානසංවාසයද එකූපොසථභාවයද දක්වා දැන් අබද්ධසීමා අවකාශයන් කෙරෙහිද එය දක්වනසේක් “අසම්මතාය භික්‍ඛවෙ සීමාය අට්ඨපිතාය” යනාදිය වදාළ සේක. එහි “අට්ඨපිතාය” යනු බද්ධසීමා වසයෙන් නොකළ පිරිසිඳීම් ඇති මෙහි ග්‍රාමග්‍රහණයෙන් නගරයද ගන්නා ලද්දේම වේ. එහි යම් පමණ පෙදෙසක ඒ ග්‍රාමයෙහි ග්‍රාමභොජකයෝ බලි ලබත්ද, ඒ පෙදෙස කුඩා හෝ වේවා, මහත් හෝ වේවා, ග්‍රාමසීමා මැයි සඞ්ඛ්‍යාවට යයි. නගරනිගම සීමාවන්හිද මෙම නය වේ. එක්ම ග්‍රාම ක්‍ෂෙත්‍රයෙහි යම්බඳුවූද එක් පෙදෙසක් ‘මේ පෙදෙස විසුංග්‍රාමය වේවා’යි පිරිසිඳ රජතෙමේ කිසිවක්හට දේද, ඒ පෙදෙසද විසුංග්‍රාමසීමාව වන්නේමය. එහෙයින් ඕතොමෝද, අන්‍යවූද ප්‍රකෘති ග්‍රාම නගර නිගමසීමාවෝ බද්ධසීමාව සමානම වෙත්. හුදෙක් තුන් සිවුරෙන් වෙන්ව වසන පරිහාරය නොලබත්.
මෙසේ ග්‍රාමාන්තවාසීන්ගේ සීමා පරිච්ඡෙදය දක්වා දැන් ආරණ්‍යකයන්ගේ සීමාපරිච්ඡෙදය දක්වන සේක් “අගාමකෙ චෙ” යනාදිය වදාළ සේක. එහි “අගාමකෙ චෙ” යනු වින්‍ධ්‍යවනය සදෘශ වූ අරණ්‍යයෙහි මහණෙක් වසාද නැවත ඔහු සිටිය අවකාශයෙන් වටින් සත් අබතුරක් සමානසංවාසකසීමාය යන අර්‍ත්‍ථයි. මේ සීමාව තිචීවර විප්පවාසසම්මුතියද ලබයි. එහි එක් අබතුරක් අටවිසිරියන් පමණ වේ. ඉදින් සඞ්ඝයා දෙකොටසක් වෙන්ව විනයකර්‍ම කෙරෙත්ද, සත්අබතුරු දෙකක් අතර අනික් එක් සත් අබතුරක් උපචාරය පිණිස තැබිය යුතුයි. සෙසු සත්තබ්භන්තර සීමාකථා මහාවිභඞ්ගයෙහි උද්දෙසිත ශික්‍ෂාපද වර්‍ණනාවෙහි කියූනයින් ගතයුතුය.