උපොසථාගාරාදිකථා
“අනුපරිවෙණියං” එක් සීමාමහාවිහාරයෙහි ඒ ඒ පිරිවෙණෙහි “අසංකෙතෙන” සලකුණු නොකොට. “එකං සමූහනිත්‍වා” කර්‍මවාක්‍යයෙන් උදුරා.
“යතො පාතිමොක්‍ඛං සුණාති” යම්කිසි තැනක මහණුන්ගේ අත්පසෙහි හුන්නේ, යම්හෙයකින් ප්‍රාතිමොක්‍ෂය අසාද, ඒ මහණහු විසින් උපොසථය කරණ ලද්දේය යන අර්‍ත්‍ථයි. මෙද වස්තු වශයෙන් කියනලදී. අත්පසෙහි හුන් නොඅසන්නහු විසින්ද උපොසථය කරන ලද්දේම වේ. “නිමිත්තා කිත්තෙතබ්බා” උපොසථ ප්‍රමුඛයෙහි කුඩා වූ හෝ මහත්වූ හෝ ගල් ගඩොල් දැවකඩ දඬු ආදීවූ යම්කිසි නිමිති, එලිමහන් තන්හි හෝ මලු ආදී තන්හි හෝ යන යම්කිසි තැනෙක සංඥාකොට කීර්තනය කිරීම වටියි.
“ථෙරෙහි භික්‍ඛූහි පඨමතරං සන්නිපතිතුං” යන මෙහි ඉදින් මහාස්ථවිරතෙමේ ඉතා පළමුකොට නොඒනම්, දුක්කටය වේ. “එකජ්ඣං සන්නිපතිත්‍වා උපොසථො කාතබ්බො” මෙහි ඉදින් පුරාණ ආවාසයක් වෙහෙර මැද වේද, මෙහිද මහණුන්ට හිඳින තැන පොහොනේද, එහි රැස්වී පොහොය කටයුතුය. පුරාණ ආවාසය හෝ දුර්‍වලවේද, ඉඩකඩ නැත්තේ වේද, පසුව ගොඩනැගුනු අන්‍යවූ ආවාසයක් ඉඩපහසු ඇත්තේ සම්බාධරහිත වේද, එහි පොහොය කටයුතුය.
“යත්‍ථ වා පන ථෙරො භික්‍ඛු විහරති” මෙහිද තෙරහුගේ විහාරය සියල්ලන්ට පොහොනේද, පහසුවේද, එහි පොහොය කටයුතුය. ඒ විහාරය පිටිසර විසම ප්‍රදේශයක වේනම්, තෙරුන්ට “ස්වාමීනි” ඔබ වහන්සේගේ විහාරය පහසුකම් නැති පෙදෙසක වූයේය. මෙහි සියල්ලන්ට ඉඩකඩ නැත්තේය, අසුවල් ආවාසයෙහි නම් ඉඩකඩ ඇත්තේය, එහි සෑම වටීය’යි කියයුතුය. ඉදින් ස්ථවිරතෙමේ නොඒම, ඔහුගේ ඡන්‍දපාරිසුද්ධිය ගෙනවුත් සියල්ලන්ට පොහොනා පහසු තැනක පොහොය කටයුතුය.
අවිප්පවාසසීමානුජානනකථා
“අන්‍ධකවින්‍දා” රජගහනුවරින් තුන්ගවු පමණ තන්හි අන්‍ධකවින්‍ද නම් නුවර පිහිටියේය. එනුවර නිසා මහාකාශ්‍යප මහාස්ථවිරයන් වහන්සේ වැඩවසන සේක. එයින් රජගහනුවරට පොහොයට එන්නාහු, රජගහනුවර වටකොට අටළොස් මහාවිහාර කෙනෙක් වෙත්. සියල්ලෝ එක් සීමාය. දම්සෙනෙවි සැරියුත් මහතෙරුන් විසින් ඔවුන්ගේ සීමාව බඳින ලද්දීය. එහෙයින් වේළුවනයෙහි සඞ්ඝයාහට සාමග්‍රිය දෙනු පිණිස එන්නාහ යන අර්‍ත්‍ථයි. “නදිං තරන්තො” සප්පිනී නම් නදිය ඉක්මවන්නාහු “මනං වූළ්හො අහොසි” මදකින් නොපැමිණ ගසායෑම වූයේය. ඒනදිය වනාහි ගිජ්ඣකුටයෙන් බැස සැඩදියපහරින් යුක්තව ගලාබසියි. එහි වේගයෙන් ගලා එන ජලය ගැණ සිහි නොකරණ ස්ථවිරතෙමේ මදක් ගසාගෙන යන ලද්දේවීය. ගසාගෙන යන ලද්දේ නොවීය. උන්වහන්සේගේ දියෙන් මැඩුනු සිවුරු තෙත්වූහ.
“සම්මතා හි සීමා සඞ්ඝෙන තිචීවරෙන අවිප්පවාසා ඨපෙත්‍වා ගාමඤ්ච ගාමූපචාරඤ්ච” යන මේ කර්‍මවාක්‍යය උපන්තැන් පටන්ම මහණුන්ට පළමු කර්‍මවාක්‍යය නොවටියි. මේ කර්‍මවාක්‍යයම ථාවර වේ. මෙහෙණන්ට වනාහි මේ කර්‍මවාක්‍යය නොවටියි. පළමු කර්‍මවාක්‍යයම වටියි. කුමක් හෙයින, යත්:- භික්‍ෂුණී සඞ්ඝතෙමේ වනාහි ඇතුළුගම වෙසෙයි. මෙසේ කිසිකලෙක ඒ භික්‍ෂුණීසඞ්ඝතෙමේ මේ කර්‍මවාක්‍යයෙන් තිචීවරපරිහාරය නොලබන්නේය, මේ භික්‍ෂුණීසඞ්ඝයාහට පරිහාරය ඇත්තේය. එහෙයින් පළමු කර්‍මවාක්‍යයම වටියි. එහෙයිනි. භික්‍ෂුණිසඞ්ඝයාහට සමානසංවාසක-අවිප්පසවාසසීමා දෙකම ලැබේ. එහි මහණුගේ සීමාව යටපත්කොටද, ඒ සීමාව තුළද, මෙහෙණන්ගේ සීමාව සම්මත කිරීම වටියි. මහණුන්හටද මෙහෙණන්ගේ සීමාවෙහි මෙමනය වේ. ඔවුන් ඔවුනොවුන්ගේ කර්‍මයෙහි ගණපූරක නොවෙත්. කර්‍මවාක්‍යය වර්‍ග නොකෙරෙත්. මෙහිද නිගම නගරයන්ගේ සඞ්ග්‍රහයද ග්‍රාම යන වචනයෙන්ම දතයුතුය.
“ගාමූපචාරො” වටකරණලද ග්‍රාමයෙහි ප්‍රාකාරයද නොවටකරණලද ග්‍රාමයෙහි ප්‍රාකාරයට සුදුසු අවකාශයද වේ. ඒ දෙතන්හි ඉටුතුන් සිවුරු ඇති මහණතෙමේ. පරිහාරය නොලබයි. මෙසේ මහණුන්ගේ අවිප්පවාසසීමා ග්‍රාමයටද ගාමොපචාරයටද නොබසියි. සමානසංවාසක සීමාතොමෝ මෙහිද තමන්ගේ ධර්‍මතාවයෙන් යයි. අවිප්පවාසසීමාව වනාහි සමානසංවාසක සීමා යම්තැනෙක්හි ද එහිම යයි. ඒ අවිප්පවාසීමාවට වෙන්ව නිමිත්ත කීර්තනයෙක් නැත්තේය. එහි ඉදින් අවිප්පවාසසීමා සම්මුති කාලයෙහි ගම ඇත්තේද, ඒ ගමට ඒ අවිප්පවාසසීමා නොපැතිරේ. ඉදින් සීමාව සම්මත කළ කල්හි පසුව ගමක් පිහිටාද, එද අවිප්පවාස සීමාසඞ්ඛ්‍යාවටම යයි. යම්සේ පසුව පිහිටුවන ලද්දේ ද, එසේ පළමු පිහිටුවන ලද ගමෙහි වැඩීගිය පෙදෙසද අවිප්පවාසසීමා සඞ්ඛ්‍යාවටම යයි. ඉදින් සීමාසම්මුතිකාලයෙහි ගෙවල් කරණ ලද්දාහුද, එහි පිවිසෙන්නෙමු’යි ආලයක් ඇත්තේද, මිනිස්සු නොපිවිසියාහුද, පැරණි ගමෙහි හෝ ඉදින් ගෙයම හැරදමා අන්තැනෙක ගියාහුද, මෙය ගම නොවේමය. සීමාව පැතිරේ. ඉදින් එක් කුලයෙක්ද පිවිසියේ හෝ ආයේ හෝ ඇත්තේ නම් ගමමය. සීමාව නොපැතිරේ.