චොදකෙනපච්චවෙක්ඛිතබ්බධම්මකථා
“අච්ඡිද්දෙන අප්පටිමංසෙන” යනාදි තන්හි යමකු විසින් ගෘහස්ථ ප්‍රව්‍රජිතයන් අතුරෙහි යම් කිසිවෙක් පහරණලද්දේ හෝ වේද, ගිහිගේ ගෙඩිපෙළීම් ආදිවෙදකම් හෝ කරණලද්දේ වේද, ඔහුගේ කායසමාචාරය වේයන් විසින් කනලද තල්පතක් මෙන් සිදුරු ඇත්තේද, ඇදබලන්නට යම්කිසි තැනෙක්හි ගෙණ අදින්නට හැකිවන්නේද, එයින් ඇදබලන්නට හැක්කේද වේ. විපරීතවූයේ අච්ඡිද්ද අප්පතිමංසයයි දතයුතුය. වාක්සමාචාරය වනාහි මුසාවාද ඔමසවාද පෙසඤ්ඤ අමූලක චෝදනාදීන් කරණකොට සිදුරු ඇත්තේද ඇදබැලීමට නොහැකි වූයේද වේ. විපරිත වූයේ අච්ඡිද්ද අප්පතිවංස වේ.
“මෙත්තං නුඛො මෙ චිත්තං” පළිබොධයන් සිඳ කර්‍මස්ථානභාවනානුයොගයෙන් අර්‍පණාප්‍රාප්ත ධ්‍යාන චිත්තය ඇත්තේවේද, “අනාඝාති” ආඝාත විරහිත වූයේද යටපත් කිරීම් වසයෙන් නැසූ ආඝාත ඇත්තේය යන අර්‍ත්‍ථයි. “ඉදම්පන ආවුසො කත්‍ථ වුත්තං භගවතා” මේ ශික්‍ෂාපදය කිනම් නුවරෙක්හිදී වදාරණ ලද්දේ ද, යන අර්‍ත්‍ථයි.
චොදකෙනඋපට්ඨාපෙතබ්බකථා
“කාලෙන වක්‍ඛාමි” යනාදිතන්හි එකෙක් එකකු අවකාශ කරවා චෝදනා කරණුයේ සුදුසු කාලයෙහි චෝදනා කෙරේ නම. සඟමැද ගණමැද සලාක බෙදන තැන කැඳ බෙදන තැන විතක්කමළුව පිඬුසිඟායන මග අසුන්හල යනාදිතන්හි හෝ උපස්ථායකයන් විසින් පිරිවැරූ කෙණෙහි හෝ චොදනා කරණුයේ නොකල්හි චෝදනා කෙරේනම. සත්‍යය කියනුයේ විද්‍යමානයක් කරණකොට චොදනා කෙරේනම ‘එම්බා, මහල්ල’ පිරිස සමග හැසිරෙන්න, පංසුකුලිකය ‘ධර්‍මකථිකය’ තට මේ සුදුසුදැයි කියනුයේ පරුෂය කරණකොට චොදනා කෙරේනම. කරුණු ඇසුරුකොට වනාහි ‘ස්වාමීනි, මහල්ලකවහු, පරිසාවචර පංසුකූලිකවහු, ධර්‍මකථිකවහු, ඔබ වහන්සේට මෙය සුදුසු’දැයි කියනුයේ සණය කරණකොට චෝදනා කෙරේ නම. කරුණු ඇසුරුකොට කියනුයේ අර්‍ත්‍ථසංහිතයෙන් චෝදනා කෙරේ නම. “මෙත්තචිත්තො වක්‍ඛාමි නො දොසන්තරො” මෙත් සිත එළවා කියන්නෙමි. දූෂිත සිත් ඇතිව චෝදනා නොකරමි.
චොදකචුදිතකපටිසංයුත්තකථා
“අජ්ඣත්තං මනසි කරිත්‍වා” තමන්ගේ සිහි උපදවා “කාරුඤ්ඤතා” කරුණාභාවය මෙයින් අර්‍පණාප්‍රාප්තතරුණද්ධ්‍යානයද පරිකර්‍ම උපචාරවශප්‍රාප්ත කරුණාවද දක්වාලන්නේය. “හිතෙසිතා” වැඩීම සොයනබවය. “අනුකම්පිතා” ඒ වැඩීම සොයන සිතින් යෙදීමය. දෙකින්ම මෛත්‍රීද්ධ්‍යානයද පරිකර්‍මඋපචාර වශප්‍රාප්ත මෛත්‍රියද දක්වාලන්නේය. “ආපත්තිවුට්ඨානතා” ඇවැතින් නැකිටුවා ශුද්ධාන්තයෙහි පිහිටුවීමය. වස්තුව චෝදනාකොට සිහිකරවා ප්‍රතිඥාවට නගා ප්‍රතිඥාව පරිදි කර්‍ම කිරීම. විනයපුරෙක්‍ඛාරතා නම “ඉමෙ පඤ්චධම්මෙ” කාරුඤ්ඤතා යනාදි නයින් කියනලද යම්මේ ධර්‍මයෝ වෙත්ද, මේ පස්වැදෑරුම් වූ ධර්‍මයන් තම සිත් සතන්හි කොට අන්හට චොදන කටයුතුය.
“සචෙව ච අකුප්පෙ ච” වාක්සත්‍යයෙහිද නොකිපෙන බැව්හිද, චුදිතකයා විසින් සත්‍යයද කියයුතුය. කොපයද නොකටයුතුය. තමන් නොකිපිය යුතුය. චොදකතෙමේ නොගැටිය යුතුය යන අර්‍ත්‍ථයි. සෙස්ස සියලු තන්හි ප්‍රකටමය.
පාතිමොක්‍ඛට්ඨපනක්‍ඛන්‍ධක වර්‍ණනාව නිමි.
භික්‍ඛුණිඛන්‍ධක වර්‍ණනාව
මහාපජාපතිගොතමීවත්ථුකථා
භික්‍ඛුණීඛන්‍ධකයෙහි - “අලං තෙ ගොතමී මා තෙ රුචවි” කුමක් හෙයින් ප්‍රතික්‍ෂෙප කරණ සේක්ද, සියලු බුදුවරයන්ටම සිවු පිරිසක් නොවේද යත්: එකාන්තයෙන් වේ. වෙහෙසට පැමිණ නොයෙක්වර යාඥා කළකල්හි ප්‍රව්‍රජ්‍යාව අනුදන්නා ලදද, ‘මේ ප්‍රව්‍රජ්‍යාව අප විසින් දුකින් ලදය’යි මැනැවින් රකින්නාහුයයි ගරුකොට අනුදන්නා කැමැතිසේක් ප්‍රතික්‍ෂෙප කරණසේක. අෂ්ට ගරුධර්‍මකථාව මහාවිභඞ්ගයෙහිම කියනලදී.
“කුම්භත්‍ථෙනකෙහි” කළයෙහි පහනක් දල්වා ඒ ආලෝකයෙන් අනුන්ගේ ගෙයි බඩු සොයා සොරකම්කොට ගන්නා සොරුන් විසින්.
“සෙතට්ඨිකා නාම රොගජාති” එක් පණුවෙක් නළමැද වූ ගොයම්කඳ විදියි. පණුවකු විසින් විදිනලද බැවින් නික්මුනාවූද හැල්කරල කිරිගන්ට නොහැක්කේය.
“මඤ්ජෙට්ඨිකා නාම රොගජාති” උක්දඬු තුළ රතුබවය. “මහතො තළාකස්ස පටිගච්චෙව ආලිං” මෙයින් වනාහි මේ කරුණ දක්වාලන්නේය. මහත් තටාකයක්හුගේ නියර නොබැදිකල්හිද මද දියක් සිටිනේමය. පළමුකොටම නියර බැඳි කල්හි වනාහි නියර නොබැදීම නිසා යම්දියක් නොසිටින්නේද, ඒ දියත් සිටින්නේය. එපරිද්දෙන්ම වස්තුව නොඋපන් කල්හි පළමුකොටම නොඉක්මවීම පිණිස යම්මේ ගරු ධර්‍මයෝ පණවන ලද්දාහුද, ඒ ගරුධර්‍ම නොපැණ වූ කල්හිද මාගම පැවිදි වූ බැවින් සද්ධර්‍මය අවුරුදු පන්සියයක් පවත්නේය. පළමුකොට පැණවූ බැවින් තවත් අවුරුදු පන්සියයක් පවත්නේයයි මෙසේ පළමු කියූ අවුරුදු දහසම පවත්නේය. අවුරුදු දහස යන මෙයි සිවු පිළිසැඹියා පත් රහතුන්වහන්සේගේ වසයෙන් වදාරණ ලද්දේය. එයින් මත්තෙහිද ශුෂ්කවිදර්‍ශක ක්‍ෂීණාස්‍රවයන්ගේ වසයෙන් අවුරුදු දහසක්, අනාගාමීන්ගේ වසයෙන් අවුරුදු දහසක්, සකෘදාගාමීන්ගේ වසයෙන් අවුරුදු දහසක්, ස්‍රොතාපන්නයන්ගේ වසයෙන් අවුරුදු දහසක්’යි මෙසේ අවුරුදු පන්දහසක් මුළුල්ලෙහි ප්‍රතිවෙධ සද්ධර්‍මය පවත්නේය. පර්‍ය්‍යාප්ති ධර්‍මයද ඒ පන්දහස මුළුල්ලෙහිමය. පර්‍ය්‍යාප්තිය නැතිවිට ප්‍රතිවෙධය නැත. පර්‍ය්‍යාප්තිය ඇති කල්හි ප්‍රතිවෙධය නොවන්නේ නොවේ. ලිඞ්ගය වනාහි ප්‍රතිපත්තිය අතුරුදහන්වූ කල්හිද බොහෝ කල් පවත්නේය.