උපාලිපඤ්හාකථා
“එකතො උපාලි එකො” ධර්මවාදී පක්ෂයෙහි එක් මහණෙක් තෙමේ “එකතො ද්වෙ” අධර්මවාදී පක්ෂයෙහි දෙදෙනෙක් “චතුත්ථො අනුසාවෙති සලාකං ගාහෙති” සඞ්ඝයා බිඳින්නෙමි’යි අධර්මවාදියා සිවුවැනිව අස්වයි. අවබෝධ කරවමින් අස්වයි. ‘තොපට පමණක් නරකභය ඇත්තේ නොවේ. අපටද ඇත්තේය, අපට අවීචිමාර්ගය නොවැසුනේය. අපි අකුසලයෙන් බිය නොවන්නමෝ නොවෙමු. මේ ධර්මය තෙමේ, අවිනයයක් හෝ අශාස්නාශාසනයක් හෝ වන්නේනම් අපි නොගණුම්හ’ යනාදි ක්රමයෙන් ‘අධර්මය, ධර්මය’යි මෙසේ අටළොස් වැදෑරුම් භෙදකර වස්තු අවබෝධ කරව’යි යන අර්ත්ථයි. “සලාකං ගාහෙති” මෙසේ අස්වා ‘මේ සලාකය ගණිවු, මෙය රුචිකරවු’යි කියමින් සලාක ගන්වයි.
“එකතො උපාලි ද්වෙ හොන්ති” යනාදියෙහිද මේනයම වේ. “එවං ඛො උපාලි සඞ්ඝරාජිචෙව හොති සඞ්ඝභෙදො ච”යි මෙසේ වේ. මෙපමණකින් වනාහි සඞ්ඝ තෙමේ බිඳුනේ නොවේ.
“භික්ඛු ඛො උපාලි පකතත්තො සමාන සංවාසකො සමානසීමායං ඨිතො සඞ්ඝං භින්දති” යන මෙහි මෙසේ වන්නේය. දෙව්දත් තෙමේ කෙසේ පියවිසැහැවි ඇත්තේද, කෙසේ පියවිසැහැවි නැත්තේදැ’යි රජු නැසවූ බැවින් හා රුධිරොත්පාදය කළ බැවින්ය. එහිලා කියම්හ. ඇණවීම වැරදගිය බැවින් රජහු නැසවීමක් නැත්තේය. ‘කුමාරය’ එසේනම් තෝ පියා නසා රජ වෙව, මම භාග්යවත්හු මරා බුදුවන්නෙමි’යි ඒ දෙව්දත්හුගේ ඇණවීම මෙසේය. කුමාරතෙමේ රජවී පසුව පියා මැරවූයේය. මෙසේ වනාහි ඇණවීම වැරදුනු බැවින් රජහු නැසවීමක් නැත්තේය. රුධිරොත්පාදය කළ ඇසිල්ලෙහිම රුධිරොත්පාද හෙතුවෙන් භාග්යවතුන්වහන්සේ විසින් අභව්යභාවය නොවදාරණ ලදී. භාග්යවතුන් වහන්සේගේ වචනය හැරම ඒ දෙව්දත්හුගේ අභව්යභාවය ආරොපණය කරන්නට නොහැකිය.
‘මහණෙනි’ රුධිරොත්පාදකතෙමේ අනුපසම්පන්නවූයේ උපසපන් නොකටයුතුය, උපසපන්වූයේ නැසිය යුත්තේය’යි
මේ කරුණ භාග්යවතුන්වහන්සේ විසින් සඞ්ඝභෙදයෙන් පසුව වදාරණ ලද්දේය. එහෙයින් පියවි සැහැවි ඇත්තාවූම ඒ දෙව්දත්හු විසින් සඞ්ඝතෙමේ බිඳින ලද්දේයයි දතයුතුය.
“අධම්මං ධම්මොති දීපෙන්ති” යනාදී වූ අටළොස් වැදෑරුම් වූ භෙදකර වස්තූන්හි සූත්රාන්ත පර්ය්යායයෙන් වනාහි දශකුශල කර්මපථ ධර්ම නම් වේ. දශඅකුශල කර්මපථ අධර්ම නම්වේ. එසේ සතර සතිපට්ඨාන, සතර සම්යක් ප්රධාන, සතර සෘද්ධිපාද, පඤ්චින්ද්රිය, පඤ්චබල, සප්තබොධ්යඞ්ග, ආර්ය්ය අෂ්ටාංගික මාර්ග යන සත්තිස් බොධිපාක්ෂිකධර්ම ධර්ම නම්වේ. සතිපට්ඨාන තුනෙක, සම්යක් ප්රධාන තුනෙක, සෘද්ධිපාද තුනෙක, ඉන්ද්රිය සයෙක, බල සයෙක, බෞද්ධඞ්ග අටෙක, නවාඞ්ගික මාර්ගයයිද, උපාදාන සතරෙක, නීවරණ පසෙක, අනුසය සතෙක, මිච්ඡත්ත අටෙකැයිද කියානම් මේ අධර්ම නම්වේ.
ඔවුන් අතුරෙහි යම්කිසි එක් අධර්මකොටසක් ගෙණ ‘මේ අධර්මය, ධර්මය කරන්නෙමු, මෙසේ කල්හි අපගේ ඇදුරුකුලය නෛර්ය්යාණික වන්නේය. අපිදු ලොකයෙහි පළට වන්නෙමු’යි ඒ අධර්මය, ධර්මය වේයයි කියන්නාහු, අධර්මය ධර්මයයි ප්රකාශ කෙරෙත් නම. එසේම ධර්ම කොට්ඨාසයන් අතුරෙහි එකක්ගෙණ ‘මේ අධර්මයයි කියන්නාහු, ධර්මය අධර්මයයි දක්වත් නම. විනයපර්ය්යායෙන් වනාහි විද්යමාන වස්තුවෙන් චෝදනාකොට සිහිකරවා පිළින ලෙසින් කටයුතු කර්මය ධර්මනම. විද්යමාන නොවූ වස්තුවකින් චෝදනා නොකොට සිහි නොකරවා ප්රතිඥාවෙන් බැහැරව කටයුතු කර්මය අධර්ම නම.
සූත්රාන්ත පර්ය්යායයෙන් රාගවිනය, දොසවිනය, මොහවිනය, සංවරය, ප්රහාණය, ප්රත්යවෙක්ෂය යන මෙය විනය නම්වේ. රාගාදීන්ගේ අවිනය, අසංවරය, අප්රත්යවෙක්ෂය යන මෙය අවිනය නම් වේ. විනය පර්ය්යායයෙන් වත්ථුසම්පත්තිය, ඤත්තිසම්පත්තිය, අනුසාවණ සම්පත්තිය, සීමාසම්පත්තිය, පරිසසම්පත්තිය යන මෙය විනය නම් වේ. වත්ථුවිපත්තිය -පෙ පරිසවිපත්තිය යන මෙය අවිනය නම් වේ.
සූත්රාන්ත පර්ය්යායයෙන් සතර සතිපට්ඨානය. සතර සම්යක් ප්රධානය -පෙ- අෂ්ටාඞ්ගික මාර්ගය යන මෙය තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද්දේය. කථනය කරණලද්දේය. සතිපට්ඨාන තුනෙක, සම්යක් ප්රධාන තුනෙක, සෘද්ධිපාද තුනෙක, ඉන්ද්රිය සයෙක, බල සයෙක, බෞද්ධ්යඞ්ග අටෙක, නවාඞ්ගික මාර්ගය යන මෙය තථාගතයන් වහන්සේ විසින් නොවදාරණ ලද්දේය, කථනය නොකරණ ලද්දේය. විනය පර්ය්යායයෙන් පාරාජික සතරෙක, සඞ්ඝාදිසෙස තෙළෙසෙක අනියත දෙකක, නිස්සග්ගියපාචිත්තිය තිසෙක යන මෙය තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද්දේය. කථනය කරණ ලද්දේය. පාරාජික තුනෙක, සඞ්ඝාදිසෙස තුදුසෙක, අනියත තුනෙක, නිස්සග්ගිය එක්තිසෙක යන මෙය තථාගතයන්වහන්සේ විසින් නොවදාරණ ලද්දේය. කථනය නොකරණ ලද්දේය.