උද්දෙසභත්තකථා
උද්දෙස භත්තාදීන්හි මේනය වේ. රජු විසින් හෝ රජමහ ඇමැතියකු විසින් හෝ ‘සඞ්ඝයාගෙන් උදෙසා මෙපමණ මහණුන් ගෙණ එවු’යි යැවූකල්හි කාල ඝොෂාකොට ඨිතිකාව විචාළයුතුය. ඉදින් ඨිතිකාව ඇත්තී නම් එතැන් පටන් ගැන්විය යුතුය. ඨිතිකාව නැත්තී නම් ථෙරාසනය පටන් ගැන්විය යුතුය. භත්තුද්දෙසකයා විසින් පිණ්ඩපාතිකයන්ගේද ගැන්වීම නොඉක්මවිය යුතුය. ඒ පිණ්ඩපාතිකයන්ගේද ගැන්වීම නොඉක්මවිය යුතුය. ඒ පිණ්ඩපාතිකයෝ වනාහි ධ්‍රතාඞ්ගය රකිමින් තුමූම ඉක්මවන්නාහ. මෙසේ ගන්වනු ලබන කල්හි අලස ස්වභාවය ඇති මහතෙරහු පසුව එත්ද, ‘ස්වාමීනි’ විසිවයස් ඇත්තවුන්ට ගන්වනු ලැබේ, යුෂ්මතුන්ගේ ඨිතිකාව ඉක්ම ගියා’යි නොකිය යුතුය. ඨිතිකාව තබා ඒ මහතෙරුන්ට ගන්වා පසුව ඨිතිකාවෙහි පටන් ගැන්විය යුතුය. ‘අසුවල් විහාරයෙහි බොහෝ උදෙස්බත් උපනැ’යි යනු අසා යොදුනක් අතර විහාරයෙන්ද භික්‍ෂූහු එන්නාහ, පැමිණි පැමිණියවුන්ට සිටිතැන පටන් ගැන්විය යුතුය. නොපැමිණියාවූද, උපචාර සීමාවට පැමිණියවුන්ට අතැවැසි ආදීන් ගන්නා කල්හි ගැන්විය යුත්තේමය. උපචාර සීමාවෙන් පිටත සිටියවුන්ට හෝ ගැන්විය යුත්තාහ’යි කියත්ද නොගැන්විය යුතුය. උදෙස්බත් ගන්වන විහාරයෙහි උපචාර සීමාවට බැස්සවුන් හා එකාබද්ධවූවෝම තමන්ගේ වෙහෙරදොරකොටුව ලඟ හෝ විහාරය තුළම හෝ වෙත්ද, පිරිස වසයෙන් වැඩුනු සීමා නම්වන්නීය. එහෙයින් ගැන්විය යුතුය. සඞ්ඝ නවකයක්හට දුන් කල්හිද පසු ආවුන්ට ගැන්විය යුත්තේමය. දෙවන කොටස ථෙරාසනයට නැගී කල්හි නැවත ආවුන්ට පළමු කොටස නොපැමිණේ. දෙවන කොටස පටන් වස් ගණනින් ගැන්විය යුතුය.
එක් විහාරයෙක්හි බත් උදෙසන එක් තැනක් පිරිසිඳ ගව්වක් පමණ නමුදු උපචාර සීමාවෙහි යම් කිසි තැනෙක සැලකරණලද උදෙස්බත, එම බත් උදෙසන තැන්හිදී ගැන්විය යුතුය. එක් මහණෙක් තෙමේ එක් මහණක්හට ‘හෙට සඞ්ඝයා වෙතින් උදෙසා මහණුන් දසනමක් එවවු’යි කියා යවාද, ඒ මහණහු විසින් ඒ කරුණ භත්තුද්දෙසකයාහට ආරොචනය කටයුතුය. ඉදින් එදවස සිහිමුළාවේද, දෙවන දිනයෙහි උදෑසනම ආරොචනය කටයුත්තේය. තවද අමතකවම පිඬුපිණිස පිවිසෙන්නේ සිහිකෙරේද, උපචාර සීමාව යම්තාක් නොඉක්මවාද ඒතාක් බත් උදෙසන තන්හි බොජුන්හලෙහි යම් ප්‍රකෘති ඨිතිකාවක් ඇත්තීද, ඒ ඨිතිකාවගේවම වසයෙන් ගැන්විය යුතුය. උපචාර සීමාව ඉක්මවූ භික්‍ෂූහුද උපචාර සීමාවෙහි සිටියවුන් සමග එකාබද්ධ වෙත්ද, ඔවුනොවුන් දොළොස්රියන් අත්පස නොහැරයෙත්ද ප්‍රකෘති ඨිතිකා වසයෙන් ගැන්විය යුතුය. මහණුන්ගේ එබඳු එකාබද්ධයක් නැති කල්හි උපචාර සීමාවෙන් පිටත යම් තැනකදී සිහිකෙරේද, එහි අලුත් ඨිතිකාවක් කොට ගැන්විය යුතුය. ගම තුළ අසුන්හලෙහිදී සිහි කරන්නහු විසින් අසුන් හලෙහි ඨිතිකාවෙන් ගැන්විය යුතුය. යම්කිසි තැනෙක්හිදී සිහිකොට ගැන්විය යුතුමය. නොගැන්වීම නොවටියි. මේ බත් දෙවන දිනයෙහි නොමලැබේ.
ඉදින් තමන්ගේ විහාරයෙන් අන් විහාරයකට යන මහණුන් දැක කිසිවෙක් තෙමේ උදෙස්බත උදෙසවා නම් යම්තාක් උපචාර සීමාව තුළ හෝ උපචාර සීමාවෙහි සිටියවුන් සමග හෝ කියූ පරිදි එකාබද්ධ හෝ වෙත්ද, ඒතාක් තමන්ගේ විහාරයෙහි ඨිතිකා වසයෙන්ම ගැන්විය යුතුය. උපචාරයෙන් පිටත සිටියවුන්ට දුන බත වනාහි ‘ස්වාමීනි’ සඞ්ඝයා වෙතින් මෙපමණ මහණුන් උදෙසාලවු’යි කියූ කල්හි පැමිණි පැමිණියවුන්ට ගැන්විය යුතුය. එහි දොළොරියන් අත්පස අතර නොහැර එකාබද්ධ නයින් දුර සිටියෝද, පැමිණියෝමයයි දතයුතුය. ඉදින් යම් විහාරයකට යෙත්නම් එහි පිවිසියහුට ආරොචනය කෙරෙත්නම් ඒ විහාරයාගේ ඨිතිකා වසයෙන් ගැන්විය යුතුය. ගම්දොර හෝ විථියෙහි හෝ සතරමංහන්දියෙහි හෝ ඇතුළුගමෙහි හෝ මහණකු දැක කිසිවෙක් සඞ්ඝදෙදසයාහට ආරොචනය කෙරේද, ඒ ඒ තන්හි උපචාරය තුළට පැමිණියවුන්ට ගැන්විය යුතුය.
මෙහි ගෘහොපචාරය ‘එක් ගෙයක එක් උපචාරයෙක, එක් ගෙයක නානාඋපචාරය, නානාගෘහය එක් උපචාරය, නානාගෘහය, නානාඋපචාරයයි මොවුන්ගේ වසයෙන් දතයුතුය. එහි කුලයක්හුගේ යම්ගෙයක් එක් වාරයකින් වලඤ්ජනය කටයුතුවේද, එය, ගෙයි දොරකඩ සිට ස්ත්‍රියක විසින් දැමූ කුල්ල වැටුනු පිරිසිඳීම ඇතුළත් වූයේ ඒ කැපචාර නම්වේ. එහි උපන් උද්දෙසලාභීය තෙමේමේ උපචාරයෙහි භික්‍ෂාචාරවතින් සිටි සියල්ලන්ට පැමිණේ. මේ එකඝරය එකූපචාර නම්.
යම් එක් ගෙයක් භාර්‍ය්‍යාවන් දෙදෙනකුන්ගේ සැපවිහරණය පිණිස මැද බිත්තියක් නගා නන්දොර ඇතිව පරිභොග කරණලදද එහි උපන් උද්දෙසලාභය බිත්ති අතර සිටියහුට නොපැමිණේ. ඒ ඒ තැන සිටියහුටම පැමිණේ. මෙය එකඝරය නානූපචාරය නම.
යම්ගෙයක බොහෝ භික්‍ෂූන්ට ආරාධනාකොට ගෙය තුළ පටන් එකාබද්ධකොට අසල්වැසියන්ගේ ගෙවල්ද පුරවා හිඳුවත්ද එහි උපන් උද්දෙසලාභය සියල්ලන්ට පැමිණේ. නොයෙක් කුලයට අයත් යම් නිවෙසනයක් වේද, එහි මැද බිත්තියක් නොබැඳ එක් දොරකින්ම පරිභොග කෙරෙත්ද, එහිද මේනයම වේ. මෙය නානාඝරය එකූපචාරය නම.
නොයෙක් කුලයන්ට අයත් නිවෙසනයන්හි හුන් භික්‍ෂූන්ට යම් උද්දෙසලාභයක් උපදීද, කිසිලෙසකිනුදු බිත්ති සිදුරෙන් භික්‍ෂූහු දකිත්ද, ඒ ඒ නිවෙසනයෙහි හුන්නවුන්ටම පැමිණේ. මෙය නානාඝරය, නානූපචාරය නම.
යම් මහණෙක් තෙමේ ග්‍රාමද්වාරවීථි චතුෂ්කයන් අතුරෙහි එක්තරා තැනක උදෙස්බත් ලැබ අන් මහණකු නැති කල්හි තමන්හටම පමුණුවාගෙණ දෙවන දවසෙහිද එතැනම අනිකක් ලබාද ඔහු නවක වූ හෝ වෘද්ධ වූ හෝ යම් අන් මහණකු දකීද ඔහුට ගැන්විය යුතුය. ඉදින් කිසිවෙක් නැත්තේනම් තමන්ටම පමුණුවාගෙණ අනුභව කටයුතුය.