නිමන්තනභත්තකථා
“නිමන්තණං” නිමන්ත්‍රණ බත පුද්ගලික වූයේ නම්, තෙමේම ඊශ්වර වේ. සඞ්ඝිකය වනාහි උද්දෙසභත්තයෙහි කියූනයින්ම ගැන්විය යුතුය. ඉදින් වනාහි මෙහි දූත තෙමේ ව්‍යක්තවේද ‘ස්වාමීනි, රජගෙයි භික්‍ෂුසඞ්ඝයාට, බත් ගණිවු’යි නොකියා ‘භික්‍ෂාව ගණිවු’යි කියානම්, භික්‍ෂාපරියායෙන් කියානම් පිණ්ඩපාතිකයන්ටත් වටියි. තවද දූතතෙමේ ව්‍යක්ත නොවේනම් ‘බත් ගණිවු’යි කියානම්, භත්තුද්දෙසක තෙමේ ව්‍යක්ත වේද, ‘බතැ’යි නොකියා ‘ස්වාමීනි’ යුෂ්මත්හු යවු’යි කියානම් පිණ්ඩපාතිකයන්ට වටියි. යුෂ්මතුන්ට පිළිවෙළින් බත් ලැබේය’යි කියූකල්හි වනාහි නොවටියි. ඉදින් පවරන්නට ආ මිනිස් තෙමේ අසුන්හලට පිවිස භික්‍ෂූන් අටනමක් දුනමැනැවැ’යි කියා හෝ පාත්‍ර අටක් දුනමැනැවැ’යි කියා හෝ නම් මෙසේද පිණ්ඩපාතිකයන්ට වටියි. ‘යුෂ්මත්හුද යුෂ්මත්හුද යවු’යි කියයුතුය. භික්‍ෂූන් අටනමක් දුනමැනැව, බත් ගණුමැනැව, පාත්‍ර අටක් දුනමැනැව, බත් ගණු මැනැවැ’යි හෝ කියාද පිළිවෙළින් ගැන්විය යුතුය. ගන්වන්නහු විසින් ‘බත් ගණිවු’ යනු නොකියා බතැයි නොකියන්නහු විසින් යුෂ්මත්හුද යුෂ්මත්හුද යවු’යි කියූකල්හිද පිණ්ඩපාතිකයන්ට වටියි. ‘ස්වාමීනි, යුෂ්මතුන්ගේ පාත්‍රය දුනමැනැව, යුෂ්මත්හු එනු මැනැවැ’යි කියූකල්හි ‘උපාසකය, මැනැවැ’යි කියා යායුතුය. සඞ්ඝයා වෙතින් උදෙසා ‘යුෂ්මත්හු එනුමැනැවැ’යි කියූකල්හිද, ඨිතිකාවෙන් නොගැන්විය යුතුය.
නිමැතූ බත් ඇති හෙයින් පාත්‍රය පිණිස ආවහුට උදෙස්බතෙහි කියූ නයින්ම ඨිතිකාවෙන් පාත්‍රය දියයුතුය. එකෙක් සඞ්ඝයා වෙතින් පිළිවෙළින් පාත්‍රයයි නොකියා හුදෙක් ‘එක් පාත්‍රයක් දුනමැනැවැ’යි කියා පාත්‍රය නොගැන්වූකල්හිම යම් කිසිවක්හුගේ පාත්‍රය ගෙණ පුරවා ගෙණ ඒද, ගෙණ එන ලද පාත්‍රය පාත්‍රහිමියාටම වේ. උදෙස්බතෙහි මෙන් ඨිතිකාවෙන් නොගැන්විය යුතුය. මෙහිද යමෙක් අවුත් නොබැණ සිටීද, හෙතෙමේ ‘කවරක්හුගේ සමීපයට ආයෙහිදැ’යි හෝ ‘කවරක්හුගේ පාත්‍රය ගෙණයෙහිදැ’යි හෝ නොවිචාළ යුතුය.
පෘච්ඡාසමානයෙන්ද ‘යුෂ්මතුන්ගේ සමීපයට ආයෙමි, යුෂ්මතුන්ගේ පාත්‍රය ගෙණ යන්නෙමි’යි කියන්නේ නම් එයින් භික්‍ෂූහු ඒ මහණහු පිළිකුල් කෙරෙත්. ‘කොතැනයෙහිද, කුමක් කරමින් ඇවිදිහිදැ’යි විචාළ කල්හි ‘ඔහුගේ පාත්‍රය පිණිස ආයෙමි’යි කියන්නහුට පිළිවෙළින් ඨිතිකාවෙන් ගන්වා පාත්‍රය දියයුතුය. ‘බත් ගෙණෙන පාත්‍රය දුනමැනැවැ’යි කියූ කල්හිද, පිළිවෙළින් භත්ත ඨිතිකාවෙන්ම දිය යුතුය. ඉදින් ගෙණ අවුත් ‘සියලු සඞ්ඝතෙමේ වලඳවා’යි කියානම් බෙදා වැලඳිය යුතුය. පාත්‍ර ස්වාමියාහට ඉක්මගියාවූද ඨිතිකාව තබා අන් පිළිවෙළ බතක් ගැන්විය යුතුය.
එකෙක් තැටියකින් බත් ගෙණ අවුත් ‘සඞ්ඝයාට දෙමි’යි කියානම් ආලොපභත්තඨිතිකාව පටන් එක් එක් පිඬුවසයෙන් බෙදිය යුතුය. ඉදින් නිහඬව සිටීනම්, ‘කවරක්හට තාවිසින් ගෙන එන ලද්දේ ද, කවරක්හට දෙනු කැමැත්තෙහි’යි නොවිචාළයුතුය. ඉදින් කොතැනකයෙහි, කුමක් කරමින් ඇවිදිහි’යි විචාළ කල්හි ‘මාවිසින් සඞ්ඝයාට බත් ගෙනෙන ලද්දේය, මාවිසින් තෙරුන්ට බත් ගෙනෙන ලද්දේය’යි කියානම්, ගෙණ ආලොපභත්තඨිතිකාවෙන් බෙදියයුතුය. ඉදින් මෙසේ ගෙනෙන ලද්ද බොහෝ වේනම්, සියලු සඞ්ඝයාට පොහොනේ නම් එළවනලද භික්‍ෂානම පිණ්ඩපාතිකයන්ටත් වටියි. ඨිතිකා විචාරණ කෘත්‍යයෙක් නැත්තේය. ථෙරාසනය පටන් පාත්‍ර පුරවපුරවා දියයුතුය.
උපාසකයෙක් තෙමේ සඞ්ඝ ස්ථවිරනමක්හට හෝ ග්‍රන්‍ථ ධුතඞ්ග වශයෙන් ප්‍රසිද්ධ වූවකුට හෝ භත්තුද්දෙසකයකුට හෝ ‘අපගේ බත් ගැණීම පිණිස භික්‍ෂූන් අටනමක් ගෙණ එනු මැනැවැ’යි කියා යවාද, ඉදින් ඥාතිඋපස්ථායකයන් විසින් එවන ලද්දේවේද, මේ තිදෙන විචාරන්නට නොලබන්නේය. සඞ්ඝයා වෙතින් භික්‍ෂූන් අටනමක් උදෙසවා තමා නවවැනිකොට ඇත්තවුන් විසින් යායුතුයයි මාතෘකාවට නැගුනීමය. කුමක් හෙයිනයත්:- භික්‍ෂු සඞ්ඝයාහට මේ මහණුන් නිසා ලාභ උපදී එහෙයිනි. ග්‍රන්‍ථධුතඞ්ගාදියෙන් වනාහි අප්‍රකටවූවෙක් තෙමේ ආවාසික භික්‍ෂු නමක් විචාරන්නට ලබන්නේය. එහෙයින් ඔහු විසින් සඞ්ඝයා වෙතින් ගණිම්ද, නොහොත් යම් කෙනකු ගැන දනිම්ද, ඔවුන් සමග එමි’යි මාතෘකාවට නගා (මාතෘකාභෙදය දායකයාට දන්වා) යම්සේ දායකයෝ කියත්ද, එසේ පිළිපැද්ද යුතුය. ‘යුෂ්මතුන්ගේ නිශ්‍රිතකයන් ගැණ හෝ අන් යම් කෙනකුන් ගැණ හෝ දනිවුද ඔවුන් ගෙන එවු’යි කියූකල්හි යම් කෙනෙක් කැමැතිවෙත්ද, ඔවුන් සමග යනු ලබන්නේය. ඉදින් ‘භික්‍ෂූන් අටනමක් එවනු මැනැවැ’යි දන්වා එවත්ද, සඞ්ඝයා වෙතින්ම යැවියයුතුය. තමන්ට අන් ගමෙක්හි භික්‍ෂාව ලබන්නට හැකිවන්නීද, අන් ගමකට යායුතුය. භික්‍ෂාව ලබන්නට නොහැකිවේනම් ඒගමට පිඬුපිණිස පිවිසිය යුතුය.