සලාකභත්තකථා
“සලාකභත්තං” සලාකබත වනාහි “අනුජානාමි භික්‍ඛවෙ සලාකාය වා පට්ටිකාය හා උපනිබන්‍ධිත්‍වා ඔපුඤ්ජිත්‍වා උද්දිසිතුං”යි වදාළ බැවින් රුක්හරමුවා සලාකයක හෝ හුණබට තල්පත් ඈමුවා පටිකයෙක හෝ ‘අසුවලාගේ සලාකබත නමැ’යි මෙසේ අකුරුලියා පැසෙහි හෝ සිවුරු නැම්මෙහි හෝ බහා සියලු සලාක කළතා නැවැත නැවැත යටඋඩුවසයෙන් කළතවා පෙළෙහි කියූ පසඟින් යුක්ත වූ භත්තුද්දෙසකයා විසින් ඉදින් ඨිතිකාවක් ඇත්තීනම් ඨිතිකාව පටන් ඨිතිකාවක් නැත්තීනම් ථෙරාසනය පටන් සලාක දිය යුතුය. පසුව ආවුන්ටද එකාබද්ධ වශයෙන් දුරසිටියවුන්ටද උදෙස්බතෙහි කියූනයින්ම දියයුතුය.
ඉදින් විහාරය අවට බොහෝ ගොදුරුගම් වේද එහෙත් භික්‍ෂූහු බොහෝ නොවෙත්ද, ගම්වසයෙන්ද, සලාක පැමිණේ යුෂ්මතුන්ට අසුවල් ගමෙහි සලාක බත පැමිණේය’යි ගම්වසයෙන්ම ගැන්විය යුතුය. මෙසේ ගන්වන්නහු විසින් ඉදිනුදු එක් එක් ගමෙක්හි නන්වැදෑරුම් වූ සලාකබත් සැටක් වෙත්ද, සියල්ල ගන්වන ලද්දාහුම වෙත්. ඔහුට පැමිණි ගම සමීපයෙහි අනික් දෙතුන් සලාක බත් වේද, ඒ සලාකබත්ද, ඔහුටම දියයුතුය. ඒ සලාකබත් හෙතුවෙන් අන් මහණකු යැවීමට නොහැක්කේය.
ඇතැම් ගම්වල බොහෝ සලාකබත් ගැන සලකා සත්නමක්, අටනමක් භික්‍ෂූන්ටද දියයුත්තාහු නම් දෙන්නහු විසින් සතර පස්බතක් පිළිබඳ සලාක එකට බැඳ දියයුතුය. එගම ඉක්මවා අන්ගමෙක් වේනම් එහිත් එක්ම සලාකබතක් වේද, ඒ සලාක බතක් උදෑසනම දෙත්ද, එද ඒ භික්‍ෂූන් අතුරෙහි එකක්හට නොකැමැති වුවද නිග්‍රහයෙන් පිළිගන්වා උදෑසනම ඒ සලාකය ගෙණ පසුව මොබගමෙහි අනික්බත් ගණුව’යි කියයුත්තේය. ඉදින් මොබගමෙහි සලාකබත් නොගැන්වූ කල්හිම ගැන්වූ හැඟීමෙන් යේද, පසුභාගගමෙහි සලාකබත ගෙණ නැවැත විහාරයට අවුත් අනික් සලාක ගන්වා මොබගමට යායුතුය. සීමාවෙන් පිටත සඞ්ඝලාභය ගන්වන්ට නොලැබේය’යි මේනය කුරුන්‍දියෙහි කියන ලදී.
ඉදින්වනාහි භික්‍ෂූහු බොහෝ වෙත්ද, ගම්වසයෙන් සලාක නොපැමිණෙත්ද, වීථිවසයෙන් හෝ වීථියෙහි එක් ගෙවල් පෙළක වසයෙන් හෝ කුලවසයෙන් හෝ ගැන්විය යුත්තේය. වීථි ආදියෙහිද යම්තැනෙක බොහෝ බත් වෙත්ද එගමෙහි කියූ ලෙසින්ම බොහෝ භික්‍ෂූන්ට ගැන්විය යුතුය. සලාක නැති කල්හි ‘අසුවල් කුලයෙහි සලාකබත් යුෂ්මතුන්ට පැමිණෙති’යි කියාද ගැන්විය යුතුය.
සලාකදායකයා විසින්ද වත දැනගත යුතුය. ඔහු විසින් උදෑසනම නැගිට පාසිවුරු ගෙණ බොජුන්හලට ගොස් නොහැමිදිතැන් හැමද, බොනපැන්, පරිබෝපැන් එළවා තබා දැන් භික්‍ෂූන් විසින් වත් කරණලද්දේ වන්නේය’යි කාලය සලකා ගෙඩිය ගසා මහණුන් රැස්වූ කල්හි පළමුකොටම ඉතා දුරබැවින් දවසකින් යායුතු වාරගමෙහි සලාකබත ගැන්විය යුතුය. ‘යුෂ්මත්හට අසුවල් නම් වාරගමෙහි සලාකය පැමිණේ. එහි යව’යි කියයුතුය.
ගව්වකට වැඩිදුර ගමක් වේද, එදවස යන්නාහු වෙහෙසට පත් වෙත්ද හෙට යුෂ්මත්හට වාරගමෙහි පැමිණේය’යි අදම ගැන්විය යුතුය. යමෙක්තෙමේ වාරගමට යවන ලද්දේ නොයේද, අන්සලාකයක් සොයාද, නොදිය යුතුය. ශ්‍රද්ධාවත් මිනිසුන්ගේ පුණ්‍යහානියද සඞ්ඝයාගේ ලාභය සිඳීයෑමද වේ. එහෙයින් ඒ මහණහුට දෙවනවූද තෙවනවූද දවසෙහි අන් සලාකයක් නොදියයුතුය. තමන් පැමිණි තැන ගොස් වලඳව’යි කියයුතුය. තුන්දවසක් යන්නහුට වාරගමින් මොබවාරගමෙහි සලාකය ගැන්විය යුතුය. ඒ සලාකය නොගණීනම් එතැන් පටන් ඒ මහණහුට අන් සලාකයක් දීම නොවටියි. දඬුවම වනාහි දැඩිකොට කටයුතුය. පැන්කළ සැටකින් හෝ පැන්කළ පණසකින් හෝ දඬුවම නොපිරිහෙළිය යුතුය. දුරවාරගමෙහි ගන්වා සියලු මහණුන් භික්‍ෂාව පිණිස නික්ම ගිය කල්හි විහාරය රකින වාරය ගැන්විය යුතුය. ‘යුෂ්මත්හට විහාරය රක්නා වාරය පැමිණේයයි කියයුතුය. විහාරය රකින්නහුට දෙකක් තුනක් කැඳසලාකද තුනක් හතරක් බත්සලාකද දියයුතුය. නිබඳ කොට නොදියයුතුය. කැඳබත් දෙන දායකයෝ වනාහි ‘අපගේ කැඳ බත් විහාරගොපකයෝම අනුභව කෙරෙති’යි අන් අයුරකට පැමිණෙන්නාහුද, එහෙයින් අන්කුලයන්හි දියයුතුය.