සඞ්ඝභත්තාදිඅනුජානනකථා
“න සක්කොන්ති සඞ්ඝභත්තං කාතුං” සියලු සඞ්ඝයාට බත් සපයන්නට නොහැකිවෙත්. “ඉච්ඡන්ති උද්දෙසභත්තං” යනාදිතන්හි එක් මහණකු හෝ මහණුන් දෙදෙනකු හෝ -පෙ- මහණුන් දසනමක් හෝ භික්ෂු සඞ්ඝයා වෙතින් උදෙසා දෙනු මැනැවැ’යි මෙසේ උදෙසීමෙන් ලත් මහණුන්ට බත් සපයන්නට කැමැති වෙති. අන්කෙනෙක් එසේම මහණුන් පිරිසිඳ ගෙණ නිමන්ත්රණයකොට ඒ මහණුන්ට බත් සපයන්නට කැමැතිවෙත්. අන්කෙනෙක් සලාක සිඳද, අන්කෙනෙක් පක්ෂයෙහි දියයුතු බත, පොහෝදිනයෙහි දියයුතුබත, පෑළවිය දිනයෙහි දියයුතු බතැයි මෙසේ නියමකොට එක් මහණක්හට හෝ මහණුන් දෙනමකට හෝ -පෙ- මහණුන් දසනමකට හෝ බත් සපයන්නට කැමැති වෙත්. මෙසේ මේ බත් “උද්දෙසභත්ත, නිමන්තණභත්ත” යන ව්යවහාරයට පැමිණියහ. යම්හෙයකින් ඒ මනුෂ්යයෝ දුර්භක්ෂයෙහි බත් සපයන්නට නොහැකිවෙත්ද, සුභික්ෂකාලයෙහි වනාහි නැවත සඟබත් සපයන්නට හැකි වෙත්ද, එහෙයින් භාග්යවතුන් වහන්සේ ඒ බත ඇතුළත්කොට “අනුජානාමි භික්ඛවෙ සඞ්ඝභත්තං උද්දෙසභත්තං” යනාදිය වදාළ සේක.
ඒ බත් අතුරෙහි සඟබතෙහි ඨිතිකාවක් නම් නැත්තීය. එහෙයින් ‘අපට අද දස දොළොස් දවස් අනුභව කරන්නවුන්ට දැන් අන් තැනකින් මහණුන් ගෙණෙවු’යි. එහි මෙසේ නොකියයුතුය. ‘පළමු දිනයන්හි අප විසින් නොලද්දේය දැන් එය අපට ගන්වාලවු’යි මෙසේද කියන්නට නොලබන්නේය. ඒ වනාහි ආ ආ වුන්ට පැමිණේමය.
උද්දෙසභත්තකථා
උද්දෙස භත්තාදීන්හි මේනය වේ. රජු විසින් හෝ රජමහ ඇමැතියකු විසින් හෝ ‘සඞ්ඝයාගෙන් උදෙසා මෙපමණ මහණුන් ගෙණ එවු’යි යැවූකල්හි කාල ඝොෂාකොට ඨිතිකාව විචාළයුතුය. ඉදින් ඨිතිකාව ඇත්තී නම් එතැන් පටන් ගැන්විය යුතුය. ඨිතිකාව නැත්තී නම් ථෙරාසනය පටන් ගැන්විය යුතුය. භත්තුද්දෙසකයා විසින් පිණ්ඩපාතිකයන්ගේද ගැන්වීම නොඉක්මවිය යුතුය. ඒ පිණ්ඩපාතිකයන්ගේද ගැන්වීම නොඉක්මවිය යුතුය. ඒ පිණ්ඩපාතිකයෝ වනාහි ධ්රතාඞ්ගය රකිමින් තුමූම ඉක්මවන්නාහ. මෙසේ ගන්වනු ලබන කල්හි අලස ස්වභාවය ඇති මහතෙරහු පසුව එත්ද, ‘ස්වාමීනි’ විසිවයස් ඇත්තවුන්ට ගන්වනු ලැබේ, යුෂ්මතුන්ගේ ඨිතිකාව ඉක්ම ගියා’යි නොකිය යුතුය. ඨිතිකාව තබා ඒ මහතෙරුන්ට ගන්වා පසුව ඨිතිකාවෙහි පටන් ගැන්විය යුතුය. ‘අසුවල් විහාරයෙහි බොහෝ උදෙස්බත් උපනැ’යි යනු අසා යොදුනක් අතර විහාරයෙන්ද භික්ෂූහු එන්නාහ, පැමිණි පැමිණියවුන්ට සිටිතැන පටන් ගැන්විය යුතුය. නොපැමිණියාවූද, උපචාර සීමාවට පැමිණියවුන්ට අතැවැසි ආදීන් ගන්නා කල්හි ගැන්විය යුත්තේමය. උපචාර සීමාවෙන් පිටත සිටියවුන්ට හෝ ගැන්විය යුත්තාහ’යි කියත්ද නොගැන්විය යුතුය. උදෙස්බත් ගන්වන විහාරයෙහි උපචාර සීමාවට බැස්සවුන් හා එකාබද්ධවූවෝම තමන්ගේ වෙහෙරදොරකොටුව ලඟ හෝ විහාරය තුළම හෝ වෙත්ද, පිරිස වසයෙන් වැඩුනු සීමා නම්වන්නීය. එහෙයින් ගැන්විය යුතුය. සඞ්ඝ නවකයක්හට දුන් කල්හිද පසු ආවුන්ට ගැන්විය යුත්තේමය. දෙවන කොටස ථෙරාසනයට නැගී කල්හි නැවත ආවුන්ට පළමු කොටස නොපැමිණේ. දෙවන කොටස පටන් වස් ගණනින් ගැන්විය යුතුය.
එක් විහාරයෙක්හි බත් උදෙසන එක් තැනක් පිරිසිඳ ගව්වක් පමණ නමුදු උපචාර සීමාවෙහි යම් කිසි තැනෙක සැලකරණලද උදෙස්බත, එම බත් උදෙසන තැන්හිදී ගැන්විය යුතුය. එක් මහණෙක් තෙමේ එක් මහණක්හට ‘හෙට සඞ්ඝයා වෙතින් උදෙසා මහණුන් දසනමක් එවවු’යි කියා යවාද, ඒ මහණහු විසින් ඒ කරුණ භත්තුද්දෙසකයාහට ආරොචනය කටයුතුය. ඉදින් එදවස සිහිමුළාවේද, දෙවන දිනයෙහි උදෑසනම ආරොචනය කටයුත්තේය. තවද අමතකවම පිඬුපිණිස පිවිසෙන්නේ සිහිකෙරේද, උපචාර සීමාව යම්තාක් නොඉක්මවාද ඒතාක් බත් උදෙසන තන්හි බොජුන්හලෙහි යම් ප්රකෘති ඨිතිකාවක් ඇත්තීද, ඒ ඨිතිකාවගේවම වසයෙන් ගැන්විය යුතුය. උපචාර සීමාව ඉක්මවූ භික්ෂූහුද උපචාර සීමාවෙහි සිටියවුන් සමග එකාබද්ධ වෙත්ද, ඔවුනොවුන් දොළොස්රියන් අත්පස නොහැරයෙත්ද ප්රකෘති ඨිතිකා වසයෙන් ගැන්විය යුතුය. මහණුන්ගේ එබඳු එකාබද්ධයක් නැති කල්හි උපචාර සීමාවෙන් පිටත යම් තැනකදී සිහිකෙරේද, එහි අලුත් ඨිතිකාවක් කොට ගැන්විය යුතුය. ගම තුළ අසුන්හලෙහිදී සිහි කරන්නහු විසින් අසුන් හලෙහි ඨිතිකාවෙන් ගැන්විය යුතුය. යම්කිසි තැනෙක්හිදී සිහිකොට ගැන්විය යුතුමය. නොගැන්වීම නොවටියි. මේ බත් දෙවන දිනයෙහි නොමලැබේ.