නවකම්මදානකථා
“ගණ්ඩිකාධානමත්තෙන” දොරබාවන්ගේ මතුවෙහි කොබෝපොදි යොදන මාත්‍රයකින්. “පරිභණ්ඩකරණමත්තෙන” ගොමින් පිරිබඩ කිරීම්, කසටින් පිරිබඩ කිරීම් මාත්‍රයකින්. “ධූමකාලිකං” යම්තාක් මේ විහාරයාගේ සෑයෙහි දුම් නොපෙනේද, ඒතාක් මේ විහාරය මොහුටමයයි මෙසේ ධූමකාලයෙහි අපලොකනය කොට කරනිමවනලද කර්‍මාන්ත ඇති විහාරයක් දෙන්නාහ. “විප්පකතං” මෙහි විප්පකත නම් යම්තාක් ගොනැස් නොනගත්ද ගොනැස් නැගුකල්හි වනාහි බොහෝ කරණලද්දේවේද, එහෙයින් මේ විහාරය එතැන් පටන් නවකර්‍මාන්ත පිණිස නොදිය යුතුය. කිසිමහණකු සමාදන්කරවා කරවන්නේද, කුඩා විහාරයෙහි කර්‍මාන්තබලා “ඡප්පඤ්චවස්සිකං” කර්‍මාන්ත බලා සිවුරියන් විහාරයෙහි සිවුවස් නවකර්‍මාන්තවිධානය ඇතිකොට පස්රියන් විහාරයෙහි පස්වස් නව කර්‍මාන්තවිධානය ඇතිකොට සරියන් විහාරයෙහි සවස් නවකර්‍මාන්තවිධානය ඇතිකොට දියයුතුය. අදර්‍ධයොග ප්‍රාසාදය වනාහි යම්හෙයකින් සත් අටරියනක් ඇත්තේ වේද, එහෙයින් මෙහි “සත්තට්ඨවස්සික”යි වදාරණ ලදී. ඉදින් ඒ අදර්‍ධයොගප්‍රාසාදය නවරියන් ඇත්තේ වේනම් නවවසක් නව කර්‍මාන්තවිධානය ඇතිකොටද දියයුතුය. මහල්ලක විහාරයෙහි දසරියන් එකොළොස්රියන් විහාරයෙහි හෝ ප්‍රාසාදයෙක්හි හෝ දසවසක් හෝ එකොළොස්වසක් හෝ නවකර්‍මාන්තවිධානය ඇතිකොට දියයුතුය. දොළොරියන් විහාරයෙහිද ඉන් වැඩිවූ ලොහමහාපාය සමාන විහාරයෙහිද දෙළොස් වසක්ම නවකර්‍මාන්ත විධානය ඇතිකොට දියයුතුය. ඉන් මත්තෙහි නව කර්‍මාන්තය නොදියයුතුය.
නවකාර්මික භික්‍ෂුතෙමේ වසතුළ ඒ ආවාසය ලබන්නේය. හෙමන්ත ග්‍රීෂ්ම සෘතුකාලයෙහි පැමිණි සෙසු මහණුන් ප්‍රතිබාහනය කරන්නට නොලබන්නේය. ඉදින් ඒ ආවාසය දිරායේනම් ඒ ආවාසය ස්වාමියාහට හෝ ඔහුගේ වංශයෙහි උපන්නා වූ කිසිවක්හට හෝ ‘තොපගේ ආවාසය නස්නේය, මේ ආවාසය දැගුම් කරවු’යි කියයුතුය. ඉදින් හෙතෙමේ නොහැක්කේ නම් මහණුන් විසින් නෑයන් හෝ උපස්ථායකයන් හෝ සමාදන් කරවා දැගුම් කටයුත්තේය. ඔවුහුද නොහැක්කෝ නම් සඞ්ඝික ප්‍රත්‍යයයෙන් දැගුම් කටයුත්තේය. එද නැති කල්හි එක් ආවාසයක් හැරදමා සෙසු ආවාස දැගුම් කටයුතුය. බොහෝ ආවාස හැරපියා එක් ආවාසයක් තබාගැණීම වටීමය.
දුර්භික්‍ෂ කාලයෙහි ආවාස හැරපියා භික්‍ෂූන් ගිය කල්හි සියලු ආවාසයෝ නැසීයන්නාහ. එහෙයින් එකක් හෝ දෙකක් හෝ තුනක් හෝ ආවාස හැරපියා එයින් උපදවනලද කැඳබත් සිවුරු ආදිය පරිභොග කරන්නවුන් විසින් සෙසු ආවාස දැගුම් කටයුත්තාහ. කුරුන්‍දියෙහි වනාහි ‘සඞ්ඝිකප්‍රත්‍යය නැති කල්හි එක් මහණෙක් තෙමේ ‘තා විසින් එක් මඤ්චස්ථානයක් ගෙන දැගුම් කරව’යි කියයුත්තේය. ඉතා වැඩියක් කැමැතිවේනම්, තුන්වන කොටසක් හෝ අඩකොටසක් හෝ දීද දැගුම් කරවියයුතුය. නැවත එකල්හි ‘ටැඹ පමණක් මෙහි ඉතිරිවූයේය, බොහෝ කර්‍මාන්ත කටයුතුය’යි නොකැමැතිවේනම්, තට පෞද්ගලිකමකොට දැගුම් කරව, මෙසේත් සඞ්ඝයාගේ බඩු තබන තැනක්ද නවකයන් වසන තැනක්ද ලැබෙන්නේය’යි දැගුම් කරවිය යුතුය. මෙසේ දැගුම් කරණ ලද්දේ ඔහු ජීවත්වන කල්හි පෞද්ගලික වේ. මළකල්හි සඞ්ඝිකම වේ. සද්ධිවිහාරිකයන්ට දෙනු කැමැතිවේනම් කර්‍මාන්තය බලා තෙවන කොටසක් හෝ අඩක් හෝ පෞද්ගලිකකොට දැගුම් කරවිය යුතුය. මෙසේ සද්ධිවිහාරිකයන්ට දීම ලබයි. මෙසේ දැගුම් කරන්නකු නැති කල්හි “එකං ආවාසං විස්සජ්ජෙත්‍වා” යනාදිනයින් දැගුම් කරවිය යුතුය’යි කියන ලදී.
මෙද අනිකද එසේම කියනලදී - මහණහු දෙදෙනෙක් සඞ්ඝික භූමියක් ගෙණ ශුද්ධකොට සඞ්ඝික සෙනාසනයක් කෙරෙත්ද, ඒ දෙදෙනා අතුරෙහි යම් මහණකු විසින් ඒ භූමිතොමෝ පළමුකොට ගන්නාලදද, ඒ භූමියෙහි විහාරය කිරීමට ඒ මහණතෙමේම ස්වාමි වේ. පළමුකොට ගත් හෙතෙමේ සඞ්ඝික සෙනාසනයක් කෙරේද, අනිකා පෞද්ගලික සෙනාසනයක් කෙරේද, අන්‍යවූද බොහෝ සෙනසුන් ගොඩනැගිය හැකි තැන් ඇත්තේ නම් පෞද්ගලික සෙනාසනයක් කරන්නේද නොවැළකිය යුතුය. අන්‍යවූද, එබඳු සුදුසු තැනක් නැති කල්හි ඒ පෞද්ගලික සෙනාසනය කරන්නහු වළකා සඞ්ඝික සෙනාසනය කරන්නහු විසින්ම කටයුතුය. එහි ඔහු විසින් යම් ව්‍යයකර්‍මයක් කරණලද්දේද, එය ඔහුට දියයුතුය. කළ ආවාසයෙක්හි හෝ ආවාසය කරණ තැනක හෝ සෙවන ඇත්තාවූ හෝ පලදරන්නාවූ හෝ වෘක්‍ෂයෝ වෙත්ද, අපලොකනය කොට පහකටයුත්තාහුය. ඉදින් වෙත්නම් හිමියෝ විචාළයුත්තාහ. නොදෙත්නම් තුන්යල දක්වා විචාරා රුක් අගනාමිල දෙන්නෙමු’යි පහකටයුත්තාහ.
යමෙක් වනාහි වැල් පමණකුදු නොගෙණ ගෙණ ආ උපකරණයෙන් සඞ්ඝික භූමියෙහි පෞද්ගලික විහාරයක් කරවාද එයින් අඩක් සඟසතු වේ. අඩක් පෞද්ගලික වේ. ප්‍රාසාදයක් වේනම් යට පහය සඟසතු වේ. මතුපහය පෞද්ගලික වේ. ඒ පහය කරවූ පුද්ගලතෙමේ යටපහය කැමැත්තේනම් එය ඔහුට වේ. නැවත යටත් උඩත් කැමැත්තේ නම් දෙතැන අඩක් ලබන්නේය. සෙනසුන් දෙකක් කරවා නම් එකක් සඟසතුවේ. එකක් පෞද්ගලික වේ. විහාරයෙහි හටගන්නා වූ ද්‍රව්‍යසම්භාරයෙන් කරවානම් තෙවන කොටසක් ලබන්නේය. සෙනසුනෙන් පිටත ගඩොල් ආදියෙන් නොකළ තැනක බැම්මක් හෝ ඉස්තෝප්පුවක් හෝ කෙරේද, බිත්තියෙන් පිටත තමන් විසින් කළ තන්හි අඩක් සඞ්ඝයාට වේ. අඩක් ඔහුටය. නැවත මහත් විසම වූ සඞ්ඝික භූමියක් පුරවා සමකොට පා නොතැබිය හැකි තැන පා තබන්නට හැකිසේ දක්වා කරණලද්දේවේද, සඞ්ඝතෙමේ එහි ඊශ්වර නොවේ.