උපනන්දවත්ථුකථා
උපනන්‍ද වස්තුවෙහි - “තත්‍ථ තයා මොඝපුරිස ගහිතං ඉධ මුක්කං තත්‍ර මුක්කං” යන මෙහි මේ අර්‍ත්‍ථය වේ. තා විසින් එහි යම් සෙනාසනයක් ගන්නාලද්දේද, ඉන්පසු ගන්නහු විසින්ම මෙහි මුදනලද්දේ වේ. “ඉධ දානාහං ආවුසො මුඤ්චාමි” ඇවැත්නි, දැන් මෙහි ඒ සෙනාසනය මුදමි’යි කියන්නහු විසින්ද එය එහිද මුදනලදය. මෙසේ යුෂ්මත් තෙමේ දෙතන්හි පරිබාහිර වෙහි.
මේ මෙහි විනිශ්චයයි:- ගැණීම කරණකොට ගැණීම සන්සිඳේ. ගැණීමෙන් ආලය සන්සිඳේ. ආලයෙන් ගැණීම සන්සිඳේ. ආලයෙන් ආලය සන්සිඳේ කෙසේද? යත්:- මේ සසුනෙහි ඇතැම් මහණෙක් තෙමේ වස් එළැඹෙන දිනයෙහි එක් විහාරයෙක්හි සෙනසුනක් ගෙන සමීප විහාරයකට ගොස් එහිද සෙනසුනක් ගණියි. ඔහුගේ මේ ගැණීමෙන් පළමු ගැණීම සන්සිඳේ. අනෙකෙක් තෙමේ ‘මෙහි වසන්නෙමි’යි ආලය පමණක්කොට සමීප විහාරයකට ගොස් එහි සෙනසුනක් ගණියි. ඔහුගේ මේ ගැණීමෙන් පළමු ආලය සන්සිඳේ. එකෙක් ‘මෙහි වසන්නෙමි’යි සෙනසුනක් හෝ ගෙණ ආලය හෝ කොට සමීපවිහාරයකට ගොස් ‘මෙහි දැන් වසන්නෙමි’යි ආලය කෙරේද, මෙසේ මොහුගේ ආලයෙන් හෝ ගැණීම, ආලයෙන් හෝ ආලය සන්සිඳේ. සැමතන්හි පැසුළු ගැණීමෙහි හෝ ආලයෙහි හෝ සිටියි. යම් මහණෙක් තෙමේ එක් විහාරයෙක සෙනසුනක් ගෙණ අන්‍ය විහාරයෙක වසන්නෙමි’යියේද, උපචාර සීමාව ඉක්මීමෙහි ඔහුගේ සෙනාසන ගැණීම සන්සිඳේ. ඉදින් වනාහි එහි පහසු වන්නේනම් වසන්නෙමි, පහසු නොවන්නේ නම් එන්නෙමි’යි ගොස් අපහසුබව දැන පෙරළා ඒද වටියි.
“තිවස්සන්තරෙන” මෙහි තිවස්සන්තර නම් යම් මහණෙක් තෙමේ දෙවසකින් මහන්තතරයෙක් හෝ දහරතරයක් හෝ වේද, යම් මහණක් තෙමේ එක් වසකින් මහන්තකරයෙක් හෝ දහරතරයෙක් හෝවේද, යම් මහණෙක් තෙමේ සමානවස් ඇත්තේවේද, එහි කියයුත්තෙක්ම නැත්තේය. මේ සියල්ලෝ එක් ඇඳෙහි හෝ එක් පුටුවෙහි හෝ දෙදෙන දෙදෙනව හිඳීම ලබත්. යම් ආසනයක් තුන්දෙනාහට නොපොහොනේ නම් ඒ ආසනය ගෙනයන්නට හැකි වූවක් හෝ ගෙනයන්නට නොහැකි වූවක් හෝ වේවා එබඳු පුවරුකඩෙක පවා අනුපසම්පන්නයකු සමග හිඳිය හැකිය.
“හත්‍ථිනඛං” ඇත්කුඹෙහි පිහිටියක් වැනි ප්‍රාසාදය. මෙසේ කරණලද පහයට මේ නමෙකි. “සබ්බං පාසාදපරිභොගං” රන්රිදී ආදියෙන් විසිතුරු කරණලද කවුළුද ඇඳපුටුද තල්වැටද රන්රිදියෙන් කළ පැන්කළ පැන්මලාද යම්කිසි සිතියමක් කරණලද්දාවූද සියල්ල වටියි. පහයට දැසි දස් කෙත්වත් ගොන් මීමුන් දෙමු’යි කියත්ද වෙන්ව ගැණීම් කිසෙක් නැත. පහය පිළිගත් කල්හි පිළිගන්නා ලද්දේම වේ. කොඳුපලස් ආදිය සඞ්ඝික විහාරයෙක හෝ පෞද්ගලික විහාරයක හෝ ඇඳපුටු මතුවෙහි අතුරා පරිභොග කිරීම සුදුසු නොවේ. ධර්‍මාසනයෙහි වනාහි ගිහින් විසින් කරණලද ආකාරයෙන් පරිභොග කිරීම වරද නොවේ. එහිද හිඳීම වරදය.
අවිස්සජ්ජියවත්ථුකථා
“පඤ්චිමානි” රාශිවශයෙන් පසෙක් වේ. ස්වාභාව වශයෙන් මේ ගරුභාණ්ඩයෝ බොහෝ වෙත්. එහි ආරම නම් පුෂ්පාරාමයෙක් ඵලාරාමයෙක් හෝය. ආරාමවස්තු නම් ඒ ආරාමයන්ම පිණිස පිරිසිඳ තැබූ අවකාශයයි. ඒ ආරාම නැසීගිය කල්හි හෝ ඒ ආරාමයන්ගේ පුරාණභූමිභාගයය. විහාර නම් යම්කිසි ප්‍රාසාදාදී සෙනසුනය. විහාරවස්තු නම් ඒ සෙනසුන පිහිටන අවකාශයය. මඤ්ච නම් පා සිදුරෙන් ඇඳවත ඇතුල්කොට කළ ඇඳ, පා හා එකට බැඳි ඇඳවත ඇති ඇඳ, කකුළු පා සටහන් පාඇති ඇඳ, ඇඳවත සිදුරෙහි පා ඇතුල් කොට කළ ඇඳ’යි පෙර කියූ ඇඳන් සතර අතුරෙහි එක්තරා එකෙක්ය. පීඨ නම් මසාරකාදීවූ සිවුවැදෑරුම් පුටු අතුරෙහි එක්තරා එකෙක්ය. භිසි නම් උණ්ණාභිසි ආදීවූ පස්වැදෑරුම් බිසි අතුරෙහි එක්තරා එකෙක්ය. බිම්බොහන නම් කියූ අයුරු ඇති බිම්බොහන අතුරෙහි එක්තරා එකෙක්ය. ලොහකුම්හි නම් කලු ලෝහයෙන් හෝ තඹ ලෝහයෙන් හෝ යන යම්කිසි ලෝහයකින් කළ සැළිය. ලෝහයෙන්ම කළ බොහෝ දිය ගන්නා සැළි ආදීන් අතුරෙහිද මේ නයම වේ. මෙහි වනාහි භාණකයි. බොහෝදිය ගන්නා සැලකියනු ලැබේ. “වාරකො” කළයයි. “කටාහං” කටාහමය. වෑ ආදීන් අතුරෙහිද වැල් ආදීන් අතුරෙහිද දැනගත නොහැක්කක්නම් නැත්තේය. මෙසේ:
ප්‍රථමද්විතීයගරුභාණ්ඩ කොටස් දෙකෙකින් යුක්තය. තෘතීය ගරුභාණ්ඩය සිවුකොටසකින් යුක්තය. සිවුවන ගරුභාණ්ඩය නව කොටසකින් යුක්තය. පස්වන ගරුභාණ්ඩ අටකොටසකින් යුක්තය.
මෙසේ පස් රැසකින් යුක්තවූ පස්විසි ආකාර වූ ගරුභාණ්ඩය, මාංශ දිව්‍ය ධර්‍ම බුද්ධ සමන්තචක්‍ෂුස් වශයෙන් නිර්‍මල වූ පසැස් ඇති සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ සේක.
එහි මේ විනිශ්චය කථාය. මේ සියලු ගරුභාණ්ඩයම මෙහි විසර්‍ජනය නොකට යුත්තේය. කීටාගිරි වස්තුවෙහි නොබෙදියයුතුයයි කියනලදී. පරිවාරයෙහි -
‘මහාර්ෂී වූ බුදුරජාණන් වහන්සේ විසින් විසර්‍ජනය නොකටයුතු වූ නොබෙදියයුතු වූ පස් කොටසක් වදාරණ ලද්දේය. විසඳන මහණහුට පරිභොග කරණ මහණහුට ඇවැත් නොවේ. මේ ප්‍රශ්නය දක්‍ෂයන් විසින් සිතන ලද්දේය’යි
ආයේය. එහෙයින් මූලච්ඡෙද්‍ය වශයෙන් නොවිසඳිය යුතුය. නොබෙදිය යුත්තේද වේ. පරිවර්‍තන වශයෙන් වනාහි විසර්‍ජනය කරන මහණහුටද පරිභොග කරන මහණහුටද අනාපත්තියි මෙසේ මෙහි අදහස දතයුතුය.
එහි මේ පිළිවෙළකථාය:- මේ පස්වැදෑරුම්වූද ගරුභාණ්ඩය චීවර පිණ්ඩපාත භෙසජ්ජ පිණිස එළවීම නොවටියි. ස්ථාවර වස්තුවකින් ස්ථාවරවස්තුවක්ද ගරුභාණ්ඩයෙන් ගරුභාණ්ඩයද පරිවර්‍තනයෙහි වරදෙක් නැත්තේය. ස්ථාවරවස්තුවෙහි වනාහි ඛෙත්ත-වත්‍ථු-තටාක-මාතිකා යන මෙබන්දක් භික්‍ෂු සඞ්ඝයාහට විචාරීමද පිළිගැණීමද ඉවසීමද නොකට හැකිය. කැපකරුවන් විසින්ම විචාරණලද දෙයින් කැපබඩු වටනේය. ආරාමයකින් ආරාමයක් ආරාමවස්තුවක් විහාරයක් විහාරවස්තුවක් යන මේ සතර පරිවර්‍තනය කරන්නට හැක්කේය.