සෙනාසනග්ගාහකථා
“සෙය්‍යා” මඤ්චස්ථාන කියනු ලැබේ. “සෙය්‍යග්ගෙන” සෙනසුන් පිරිසිඳීමෙන් වස් එළැඹෙන දවසෙහි කාලඝොෂා කොට එක් මඤ්චස්ථානයක් එක් මහණක්හට ගැනීමට අනුදනිමි’ යන අර්‍ත්‍ථයි. “සෙය්‍යග්ගෙන ගාහෙන්තා” සෙනසුන් පිරිසිඳීමෙන් ගන්වනු ලබන්නාහු. “සෙය්‍යා උස්සාදයිංසු” මඤ්චස්ථානයේ අධිකවූහ. විහාරග්ගාදීන්හිද මේනයම වේ. “අනුභාගං” නැවැත තවත් කොටසක් දෙන්නට. මහණුන් ඉතා මදවූ කල්හි එක් එක් මහණක්හට පිරිවෙන් දෙකක් තුනක් දියයුතුය. “න අකාමා දාතබ්බා” නොකැමැත්තෙන් නොදියයුතුය. එහි වස් එළැඹෙන දවසෙහි අනුභාගය ගත් කල්හි පසුව ආ මහණුන්ට තමන්ගේ නොකැමැත්තෙන් ඒ අනුභාගය නොදිය යුතුය. ඉදින්වනාහි යම් මහණකු විසින් ගන්නා ලද්දේ ද, ඒ කොටස තමන්ගේ කැමැත්තෙන් ඒ අනුභාගය හෝ ප්‍රථමභාගය හෝ දේද, වටියි.
“නිස්සීමෙ ඨිතස්ස” උපචාර සීමාව තුළ දුර සිටියහුටද සෙනසුන ලැබේය. “සෙනාසනං ගහෙත්‍වා” වස් එළැඹෙන දවසෙහි සෙනසුන ගෙන. “සබ්බකාලං පටිබාහන්ති” සිවුමස ඇවෑමෙන් සෘතුකාලයෙහිද ප්‍රතිබාහනය කෙරෙත්. ත්‍රිවිධසෙනාසන ග්‍රාහයන් අතුරෙහි පුරිමක-පශ්චිමික යන ද්විධ වූ සෙනාසනග්‍රාහයෝ ථාවරයහ.
“අන්තරාමුක්තකයෙහි මේ විනිශ්චය වේ. එක් විහාරයෙක මහත්ලාභ ඇති සෙනසුනෙක් වේ. සෙනසුන් හිමියෝ වස් එළැඹි මහණක්හට සියලු පසයෙන් මනාව උපස්ථානකොට පවාරණයකොට යනකල්හි බොහෝ මහණපිරිකර දෙත්. මහාස්ථවිරයන් වහන්සේලා දුරසිටද, අවුත් වස් වසන දිනයෙහි ඒ සෙනසුන ගෙණ පහසු සේ වැස පැවරූ වස් ඇත්තාහු ලාභය ගෙණ බැහැරයෙත්. ආවාසිකයෝ ‘අපි මෙහි උපන්ලාභය නොලබම්හ, නිරතුරුව ආගන්තුක මහාස්ථවිරයෝම ලබත්, ඒ තෙරහුම අවුත් ඒ සෙනසුන සුන්බුන් තැන් පිළිදැගුම් කරන්නාහ’යි නැසෙන සෙනසුනද නොබලත්. භාග්‍යවතුන් වහන්සේ ඒ සෙනසුන පිළිදැගුම් කරනු පිණිස “අපරජ්ජුගතාය පවාරණාය ආයතිං වස්සාවාසත්‍ථාය අන්තරාමුත්තකො ගාහෙතබ්බො” ‘පවාරණයෙන් දෙවන දිනයෙහි මතුවස් වසනු පිණිස අන්තරාමුක්තක සෙනසුන ගැන්විය යුත්තේය’යි වදාළ සේක.
ඒ අන්තරාමුක්තක සෙනාසනය ගන්වන්නහු විසින් සඞ්ඝස්ථවිර තෙමේ ‘ස්වාමීනි’ අන්තරාමුක්තක සෙනාසනය ගණු මැනැවැ’යි කියයුත්තේය. ඉදින් ගණීනම් දිය යුතුය. නොගණීනම් මේ උපායයෙන්ම අනුතෙරහු ආදිකොට යමෙක් ගණීනම් යටත් පිරිසෙයින් සාමණේරවූද, ඔහුට දියයුතුය. ඔහු විසින් ඒ සෙනසුන වස්සාන සෘතුව හැර සෙසු අට මස මුළුල්ලෙහි පිළිදැගුම් කටයුතුය. සෙවනි බිතු බිම යන මොවුන් අතුරෙහි යම්කිසි කඩා වැටුනු තැනක් හෝ දිරා ගිය තැනක් හෝ වේද, ඒ සියලු තැන් පිළිසකර කරවිය යුතුය. උදෙසීම් පිළිවිසීම් ආදියෙන් දවස ගෙවා රාත්‍රියෙහි එහිම විසීම වටියි. රාත්‍රියෙහි පිරිවෙණෙහි දවස ගෙවීමද වරද නොවේ. රෑදාවල දෙක එහිම විසීමද වටියි. සෘතු කාලයෙහි පැමිණියාවූ මහලු මහණුන්ට සෙනසුන ප්‍රතිබාහනය නොකටයුතුය. වස්වසන දිනය පැමිණි කල්හි සඞ්ඝ ස්ථවිරතෙමේ ‘මට මේ සෙනසුන දෙවු’යි කියා නම් එය නොලැබේ. ‘ස්වාමීනි’ මේ අන්තරාමුක්තක සෙනාසනය ගෙණ අටමසක් මුළුල්ලෙහි එක් මහණක්හු විසින් ප්‍රකෘතිමත් කරණ ලදැ’යි කියා නොදිය යුතුය. අටමසක් මුළුල්ලෙහි ප්‍රකෘතිමත් කරණලද මහණහුටම වන්නේය.
යම් සෙනසුනෙක එක් අවුරුද්දෙක සමසක් සමසක් ඇවෑමෙන් දෙවරක් ප්‍රත්‍යය දෙත්ද එය අන්තරාමුක්තක සෙනසුනක්කොට නොගැන්විය යුතුය. යම් සෙනසුනෙක එක් අවුරුද්දෙක සිවුමසක් සිවුමසක් ඇවෑමෙන් ප්‍රත්‍යය දෙත්ද, යම් සෙනසුනෙක එක් අවුරුද්දෙක තෙමසක් තෙමසක් ඇවෑමෙන් සිවුරක් ප්‍රත්‍යය දෙත්ද, ඒ සෙනසුන අන්තරාමුක්තකැයි නොගැන්විය යුතුය. දෙනලද ප්‍රත්‍යයයෙන්ම ඒ සෙනසුන ප්‍රකෘතිමත් කිරීම ලබන්නේය. යම් සෙනසුනෙක එක් අවුරුද්දෙක එක් වරකටම බොහෝ ප්‍රත්‍යය දෙත්ද, මේ සෙනසුන අන්තරාමුක්තක සෙනසුනකොට ගැන්විය යුත්තේය. මේවනාහි වසතුළ වස් වසන දවස සමග පෙළෙහි ආ සෙනසුන් ගැන්වීමෙහි කථාය.
මේ සෙනසුන් ගැන්වීම නම් සෘතු කාලයෙහිය, වස්සාවාසයෙහිය’යි දෙවැදෑරුම් වේ. එහි සෘතුකාලයෙහි වනාහි කිසි ආගන්තුක භික්‍ෂු කෙනෙක් පෙරබතෙහි හෙවත් බතට පෙරටුව එත්ද, කිසි භික්‍ෂු කෙනෙක් පසුබතෙහි එත්ද, ප්‍රථම යාමයෙහි හෝ මද්ධ්‍යම යාමයෙහි හෝ පශ්චිම යාමයෙහි හෝ එත්ද, යම් භික්‍ෂු කෙනෙක් යම් කලෙක්හි එත්ද ඔවුන්ට ඒ කාලයෙහිම භික්‍ෂූන් නැගිටුවා සෙනසුන දියයුතුය. අකාලයෙක් නම් නැත්තේය. සෙනසුන පණවන්නහු පණ්ඩිතවිය යුතුය. එකක් හෝ දෙකක් හෝ මඤ්චස්ථාන තැබිය යුතුය. ඉදින් නොකල්හි එකෙක් හෝ දෙදෙනෙක් හෝ තෙරහු එත්ද, ‘ස්වාමීනි’ මුල පටන් නැගිටුවන කල්හි සියලුම භික්‍ෂූහු තම තමන්ගේ පිරිකර පොදි බැඳ ගෙණ ඒ ඒ තන්හි හැසිරෙන්නෝ වන්නාහ, යුෂ්මත්හු වසන තැනම විසුව මැනැවැ’යි ඒ තෙරුන්ට කියයුතුය.