ආසනප්පටිබාහනාදිකථා
“විප්පකතභොජනො” ඇතුළුගමෙහි හෝ විහාරයෙහි හෝ වෙනෙහි හෝ යම්කිසිතැනෙක වලඳන මහණතෙමේ බොජුන නොනිමිකල්හි නොනැගිටවිය යුතුය. ඇතුළුගමට පසුව ආවහු විසින් භික්‍ෂාව ගෙණ යායුතුය. ඉදින් මිනිස්සු හෝ භික්‍ෂූහු හෝ ‘පිවිසෙනු මැනැවැ’යි කියත්නම්’ මා පිවිසෙන කල්හි භික්‍ෂූහු නැගිටින්නාහුය’යි කියයුතුය. ‘ස්වාමීනි’ අසුනෙක් ඇතැ’යි කියූකල්හි පිවිසිය යුතුය. ඉදින් කිසිවෙක් කිසිවක් නොකියානම් අසුන්හලකට ගොස්, ඉතා ලඟට නොගොස් සභාගස්ථානයක සිටිය යුතුය. අවකාශ කළකල්හි ‘පිවිසෙනු මැනැවැ’යි කියනලද්දහු විසින් පිවිසිය යුතුය. ඉදින් යම් අසුනෙක් ඔහුට ලැබේනම් එහි මහණෙක් තෙමේ නොවලදනුයේ හුන්නේවේද, ඔහු නැගිටවීම වරද නොවේ. කැඳකැවිලි ආදිය අතුරෙහි යම්කිසිවක් බී හෝ කා හෝ අන් මහණෙක් යම්තාක් ඒද, ඒතාක් එහි හුන්නාවූ හිස් අත් ඇත්තහුද නැගිටුවාලිය හැකිය. හෙතෙමේ වනාහි අඩාලකළ බොජුන් ඇත්තේම වේ.
“සචෙ උට්ඨාපෙති” ඉදින් ඇවැත ඉක්මවාද නැගිටුවාම නම්. “පවාරිතො ච හොති” හෙතෙමේ යම් මහණකු නැගිටුවාද, මේ මහණ තෙමේත් පවරණ ලද්දේවේද ඔහු විසින් ‘යව පැන් ගෙණෙව’යි කියයුතුය. ඉතා මහලු මහණහුට නියොග කිරීමට මේ එක් තැනෙකැයි දතයුතුය. ඉදින් ඒ මහණතෙමේ පැනුත් ගෙණ ඒනම් ඉන්පසු නවකතරයා විසින් යමක් කටයුතුද, එය දක්වනුයේ “සාධුකං සිත්‍ථානි” යනාදිය වදාළ සේක.
“ගිලානස්ස පතිරූපං සෙය්‍යං” යන මෙහි යම් මහණෙක් තෙමේ කාසභගන්‍දර අතිසාරාදියෙන් ගිලන්වේද, කෙලමලා වස්කබල් ආදිය තැබිය යුතුය. කුෂ්ට ඇත්තේ හෝ වේද, සෙනසුන දූෂණය කෙරේද, මෙබඳු මහණහුට යටපහයෙහි පන්සල් ආදීන්හි එක්කෙළවර එක්තරා සෙනසුනක් දිය යුතුය. යමකු වසන කල්හි සෙනසුන දූෂිත වේද, ඒ ගිලන්හට උතුම් සෙනසුනක් නොදිය යුතුමය. යම් මහණෙක් තෙමේ තෙල්බීම් විරෙචනය කිරීම් නස්‍ය කර්‍මාදීන්හි යම්කිසි බෙහෙතක් කෙරේද, ඒ සියල්ල ගිලන්මය. මේ සලකා ඔහුට ද සුදුසු සෙනසුනක් දිය යුතුය. “ලෙසකප්පෙන” ස්වල්ප වූ ශීර්‍ෂබාධාදිමාත්‍රයකින්. “භික්‍ඛූ ගණෙත්‍වා” මෙතෙක් භික්‍ෂූහුයි විහාරයෙහි භික්‍ෂූන්ගේ පිරිසිඳීම කොට.
සෙනාසනග්ගාහකථා
“සෙය්‍යා” මඤ්චස්ථාන කියනු ලැබේ. “සෙය්‍යග්ගෙන” සෙනසුන් පිරිසිඳීමෙන් වස් එළැඹෙන දවසෙහි කාලඝොෂා කොට එක් මඤ්චස්ථානයක් එක් මහණක්හට ගැනීමට අනුදනිමි’ යන අර්‍ත්‍ථයි. “සෙය්‍යග්ගෙන ගාහෙන්තා” සෙනසුන් පිරිසිඳීමෙන් ගන්වනු ලබන්නාහු. “සෙය්‍යා උස්සාදයිංසු” මඤ්චස්ථානයේ අධිකවූහ. විහාරග්ගාදීන්හිද මේනයම වේ. “අනුභාගං” නැවැත තවත් කොටසක් දෙන්නට. මහණුන් ඉතා මදවූ කල්හි එක් එක් මහණක්හට පිරිවෙන් දෙකක් තුනක් දියයුතුය. “න අකාමා දාතබ්බා” නොකැමැත්තෙන් නොදියයුතුය. එහි වස් එළැඹෙන දවසෙහි අනුභාගය ගත් කල්හි පසුව ආ මහණුන්ට තමන්ගේ නොකැමැත්තෙන් ඒ අනුභාගය නොදිය යුතුය. ඉදින්වනාහි යම් මහණකු විසින් ගන්නා ලද්දේ ද, ඒ කොටස තමන්ගේ කැමැත්තෙන් ඒ අනුභාගය හෝ ප්‍රථමභාගය හෝ දේද, වටියි.
“නිස්සීමෙ ඨිතස්ස” උපචාර සීමාව තුළ දුර සිටියහුටද සෙනසුන ලැබේය. “සෙනාසනං ගහෙත්‍වා” වස් එළැඹෙන දවසෙහි සෙනසුන ගෙන. “සබ්බකාලං පටිබාහන්ති” සිවුමස ඇවෑමෙන් සෘතුකාලයෙහිද ප්‍රතිබාහනය කෙරෙත්. ත්‍රිවිධසෙනාසන ග්‍රාහයන් අතුරෙහි පුරිමක-පශ්චිමික යන ද්විධ වූ සෙනාසනග්‍රාහයෝ ථාවරයහ.