සුක්කවිස්සට්ඨිකථා
සමුච්චයක්‍ඛන්‍ධකයෙහි - “ඡාරත්තං මානත්තං” යන මෙහි ‘අපටිච්ඡන්නමානත්ත, පටිච්ඡන්නමානත්ත, පක්‍ඛමානත්ත, සමොධානමානත්ත’යි සිවුවැදෑරුම් වේ. එහි අපටිච්ඡන්නමානත්ත නම්, නොපිළිසන් ඇවතට පිරිවෙස් නොදී හුදෙක් ඇවැතට පැමිණි බැවින්ම මානතට සුදුස්සහුට යම් මානතක් දෙනුලැබේද, ඒය. පටිච්ඡන්නමානත්ත නම්, පිළිසන් ඇවැතට පිරිවෙස් විසූවහුට යම් මානතක් දෙනු ලැබේද ඒය. පක්‍ඛමානත්ත නම් පිළිසන්වූ හෝ නොපිළිසන්වූ හෝ ඇවැතට අඩමසක් මෙහෙණන්හට යම් මානතක් දෙනු ලැබේද ඒය. සමොධානමානත්ත නම් සියලු ඇවැත් එක්කොට යම් මානතක් දෙනු ලැබේද, ඒය. ඔවුන් අතුරෙහි මේ මානත “අපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං”යි වදාළ බැවින් අපටිච්ඡන්නමානත්තයි දතයුතුය. ඒ අපටිච්ඡන්නමානත්තය දෙන්නහු විසින් එක් ඇවැතකට පැමිණියේ වේනම්, මේ සමුච්චයක්‍ඛන්‍ධකයෙහි කියූ නයින් දියයුතුය. ඇවැත් දෙකකට හෝ තුනකට හෝ ඉන් වැඩියකට හෝ පැමිණියේ නම් “එකං ආපත්තිං”යි යම්සේ කියන ලදද, එසේ “ද්වෙ ආපත්තියො තිස්සො ආපත්තියො”යි කියයුතුය. එයින් මතුවෙහි වනාහි සියයක් හෝ දහසක් හෝ වේද? “සම්බහුලා”යි කියයුත්තේය. නානාවස්තුක ආපත්තීහුද එක්කොට දියයුතුය. ඔවුන් දෙන විධිය පරිවාසදානයෙහි කියන්නෙමු.
මෙසේ ආපත්තීන්ගේ වසයෙන් කර්‍මවාක්‍යයකොට මානත දුන්කල්හි “එවමෙතං ධාරයාමි”යි කර්‍මවාක්‍යයාගේ කෙළවර මාලකසීමාවෙහිදීම “මානත්තං සමාදියාමි වත්තං සමාදියාමි” කියූනයින්ම වතසමාදන් වියයුතුය. සමාදන්ව එහිදීම සඞ්ඝයාට ආරොචනය කටයුතුය. ආරොචනය කරන්නහු විසින්ද -
“අහං භන්තෙ එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං අපටිච්ඡන්නං සොහං සඞ්ඝං එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං යාචිං, තස්ස මෙ සඞ්ඝො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං අදාසි. සොහං මානත්තං චරාමි, වෙදියාමහම්භන්තෙ වෙදියතීති මං සඞ්ඝො ධාරෙතු” යි මෙසේ ආරොචනය කටයුතුය.
මේ අර්‍ත්‍ථය ගෙණ යම්කිසි භාෂාවකින් ආරොචනය කිරීම වටීමය. ආරොචනයකොට බහාතබනු කැමැත්තේනම් කියූනයින්ම සඟමැද නික්‍ෂෙප කටයුතුය. මාළකයෙන් භික්‍ෂූන් නික්ම ගිය කල්හි එකක්හුගේ සමීපයෙහිද නික්‍ෂෙප කළ හැකිය. මාළකයෙන් නික්මී සිහිය ලබන්නහු විසින් කැටුව යන්නකුගේ සමීපයෙහි නික්‍ෂෙප කටයුතුය. හෙතෙමේද ගියේනම්, මාළකයෙහි යම් අනිකක්හට ආරොචනය නොකරන ලද්දේ ද ඔහුට ආරොචනයකොට නික්‍ෂෙප කටයුතුය. ආරොචනය කරන්නහු විසින් අවසානයෙහි “වෙදීයතිති මං ආයස්මා ධාරෙතු”යි කියයුතුය. දෙදෙනක්හට ආරොචනය කරන්නහු විසින් “ආයස්මන්තා ධාරෙන්තු”යිද තිදෙනක්හට ආරොචනය කරන්නහු විසින් “ආයස්මන්තො ධාරෙන්තු”යි කියයුතුය. නික්‍ෂෙපය කළතැන් පටන් ප්‍රකෘති ආත්ම ස්ථානයෙහි සිටියි.
භික්‍ෂූන් ටිකදෙනකු වසන විහාරයක්වේද, සභාග භික්‍ෂූහු වෙසෙත්ද වත නික්‍ෂෙප නොකොට වෙහෙර තුළම රාත්‍රීහු ගිණිය යුත්තාහ. එකල්හි ශුද්ධ කරන්නට නොහැක්කේ නම් කියූනයින්ම වත නික්‍ෂෙපකොට අලුයම් කාලයෙහි මහණුන් සතරපස්නමක් සමග වටකළ විහාරයෙහි වටකළ පවුර පටන්, නොවටකළ විහාරයෙහි පවුරු බැදීමට සුදුසු තැන පටන් ලෙඩ්ඩුපාත දෙකක් ඉක්මවා මහමගින් පහව වනලැහැබෙකින් හෝ වැටකින් හෝ පිළිසන් තැනක හිඳිය යුතුය. අරුණ තුළම කියූනයින් වත සමාදන්ව ආරොචනය කටයුතුය. අන්කිසි මහණෙක් කිසි කටයුත්තක් කරුණුකොට ඒ ස්ථානයට ඒනම්, මෙතෙමේ ඔහු දකීනම්, මොහුගේ ශබ්දය හෝ අසා නම්, ආරොචනය කටයුතුය. ආරොචනය නොකරන්නහුට රාත්‍රිච්ඡෙදයද වතබිඳීමද වේ.
නොහොත් දොළොස් රියන් උපාචරයට බැස නොදන්නා කල්හිමයේ නම්, රාත්‍රිච්ඡෙදයම වේ. වතබිඳීමෙක් නැත්තේය. ආරොචනය කළ කාලයෙහි පටන් එක් මහණකු සෙස්සන් විසින් කටයුත්තක් ඇති කල්හි යෑමද වටියි. අරුණ නැගි කල්හි ඒ මහණහුගේ සමීපයෙහි වන නික්‍ෂෙප කටයුතුය. හෙතෙමේද කිසි කර්‍මාන්තයක් නිසා අරුණට පළමුවම යේනම්, විහාරයෙන් නික්මුනු යම් ආගන්තුකයකු හෝ පළමුකොට දකීනම් ඔහුගේ සමීපයෙහි ආරොචනයකොට වත නික්‍ෂෙප කටයුතුය. මෙතෙමේද යම් හෙයකින් ගණයාහට ආරොචනයකොට භික්‍ෂූන් ඇති බවද සලකා විසූයේද, ඒ කාරණයෙන් මේ මහණහුට ඌනෙ ගණෙ චරණදොෂයද විප්‍රවාසයද නොවේ. ඉදින් කිසිවකු නොදනීනම් විහාරයට ගොස් තමන් සමග ගිය මහණුන් අතුරෙහි එකක්හුගේ සමීපයෙහි නික්‍ෂෙප කටයුතු යයි මහාසුම්ම ස්ථවිර තෙමේ කීයේය. මහාපදුම ස්ථවිරතෙමේ වනාහි ‘යමකු පළමුකොට දකීද ඔහුට ආරොචනය කොට නික්‍ෂෙප කටයුතුය. මෙය නික්‍ෂෙප කළ වත් ඇත්තහුට පරිහාරය’යි කීයේය.