3-4. සුතනු ආදි සූත්ර වර්ණනා
තුන් වැන්නෙහි මහාභිඤ්ඤත්තං = අභිඥාවන් (විශිෂ්ට දැනීම්) නැතිබව. හීනංධම්මං = යන මේ ආදියෙහි දී මෙහි පෙළෙහි අර්ථය දත යුතුය.
කවර ධර්මයන් ලාමක නම් වේද? අකුසල් සිත් දොළස උපදවන මේ ධර්මයන් ලාමක නම් වේ. කවර ධර්මයන් මධ්යම නම් වේද? ත්රිවිධ භූමින්හි විපාක දෙන, ත්රිවිධ භූමින්හි ක්රියාවන් ප්රකට වන මෙම සියලුම රූප ධර්මයන් මධ්යම නම් වේ. කවර ධර්මයන් උසස් (ප්රණීත) නම් වේද? මාර්ග සතර ද, ශ්රමණ භාවයේ ඵල සතර ද, නිවන ද යන මේ ධර්මයෙන් උසස් (ප්රණීත) නම් වේ.
4. කණ්ටකී සූත්ර වර්ණනාව
සතර වැන්නෙහි කණ්ටකීවනෙ = මහා කරඳ ගස් වනයෙහි.
6-7. තතිය කණ්ටකී ආදි සූත්ර වර්ණනා
සය වැන්නෙහි - සහස්ස ලොකං = මෙයින් තෙරුන් වහන්සේගේ නිරන්තර විහරණය දක්වන ලදී. තෙරුන් වහන්සේ වනාහී උදෑසන ම මුව දොවා අතීතයෙහිද අනාගතයෙහි ද කල්ප දහසක් සිහි කරයි. වර්තමානයෙහි එක් සිහි කිරීමකින්ම දස දහසක් සක්වළ දර්ශන පථයට පැමිණෙයි. සත්වැන්න පහසු වේ.
8. සලලාගාර සූත්ර වර්ණනාව
අට වැන්නෙහි - සලළාගාරෙ = සලළ නම් රුක්වලින් තැනූ පන්සලෙහි. නැතහොත් දොරටුවෙහි සලළ රුකක් පිහිටි බැවින් (සලළාගාර යන) මේනම ඇති වූ ගෘහයෙහි. මේ සූත්රයෙහිදී විදර්ශනාව ද, විදර්ශනාව වඩන පුද්ගලයා (පිළිබඳව) ද කියන ලද්දේ වෙයි.
9. අම්බපාලි සූත්ර වර්ණනාව
නව වැන්නෙහි - ආසභිං වාචං = තමාගේ රහත් බව දක්වන උතුම් කියමන සෙස්ස සියලු තැන්හි පහසුවන්නේය.
පළමු වන රහොගත වග්ගය නිමි.
2. සහස්ස වර්ගය
5. ඨාන සූත්ර වර්ණනාව
දෙවන වර්ගයෙහි - ඨානඤ්ච ඨානතො = යන ආදියෙහි තෙරුන් වහන්සේ දසබල ඤාණය අවබෝධ කර ගනියි (යන අදහස එයි.) ශ්රාවකයන් හට මෙය කෙසේ සිදු වේදයත් - එක් අංශයකින් සිදු වෙයි. සර්වඥ බුදුන් වහන්සේලාට වනාහී මෙය සියල්ලම ඇතුල්වන හැම අංශයකින්ම සම්පූර්ණ වේ.
අනුරුද්ධ සංයුත්තය සමාප්තයි.
9. ඣාන සංයුක්තය
ඣාන සංයුත්තය පහසු අරුත් ඇත්තේය.
ඣාන සංයුත්තය සමාප්තයි.
10. ආනාපාන සංයුක්තය
1. එකධම්ම වර්ගය
1. එකධම්ම සූත්ර වර්ණනාව
ආනාපාන සංයුත්තයේ පළමු වැන්නෙහි - එක ධම්මො = එකම ධර්මයයි. මෙහිදී කිවයුතු සෙසු යමක් වේ නම් ඒ සියල්ල හැම අයුරින්ම විශුද්ධි මාර්ගයෙහි ආනාපාන සති කර්මස්ථාන නිර්දේශයෙහි කියන ලද්දේමය.
6. අරිට්ඨ සූත්ර වර්ණනාව
සය වැන්නෙහි - භාවෙථ නො = වඩන්නහු නොවෙත්ද? කාමච්ඡන්දො = පංච කාම ගුණයන්හි ඇලීම අජ්ඣත්තික බහිද්ධාච මෙ ධම්මෙසු = ආධ්යාත්මික හා බාහිර වූ දොළොස් වැදෑරුම් ආයතන ධර්මයන්හි පටිඝසඤඤා සුප්පටි විනීතා ක්රෝධය හා එක්ව යෙදුණ සංඥාවන් මනාව බැහැර කරන ලදී. සම්පූර්ණයෙන් විනාශ කරන ලදී යන අර්ථයයි. මෙයින් තමාගේ අනාගාමී මාර්ගය කියයි. දැන් අර්හත් මාර්ගයේ විදර්ශනාව දක්වමින් සො සතොව අස්සසිස්සාමි = (හේ තෙමේ “සිහි ඇතිවම ආශ්වාස කරන්නෙමි” යි) යන ආදිය කීය.
7. කප්පින සූත්ර වර්ණනාව
සත්වැන්නෙහි - ඉඤ්ජිත්තතං වා එන්දිත්තංවා = මේ දෙකෙන්ම චලනය වීම ම කියන ලදී.
8. දීප සූත්ර වර්ණනාව
අට වැන්නෙහි - නෙව මෙ කායොපි කිලමති, න අක්ඛීනිපි විභඤ්ඤන්ති = ධාතු කර්මස්ථානයෙහි දී වනාහී කමටහන වඩන තැනැත්තාගේ කය ක්ලාන්ත වේ. යන්ත්රයෙක බහා මඩිනා ආකාරයකට පැමිණියාක් මෙන් වෙයි. කසිණ කමටහනෙහිදී කමටහන වඩන තැනැත්තාගේ ඇස් චලනය වෙයි, වෙහෙසට පත් වෙයි, පිටතට පැමිණ වැටෙන ආකාරයකට පැමිණියාක් මෙන් වෙයි. මෙම කමටහනෙහිදී වනාහී කමටහන වඩන තැනැත්තාගේ කය වෙහෙසට පත් නොවේ, ඇස් විඩාවට පත් නොවේ. එබැවින් මෙසේ කීය.