9. භාවනා සූත්‍ර වර්ණනාව
නව වැන්නෙහි - යො භික්‍ඛවෙ මග්ගො = අභිඥා පාදක කොටගත් සතරවන ධ්‍යානය අදහස් කරන ලදී.
10. විභඞ්ග සූත්‍ර වර්ණනාව
දස වැන්නෙහි - කොසජ්ජසහගතො = මෙහි භික්ෂුව ඡන්‍දය උපදවා කමටහන මෙනෙහි කරමින් හිඳියි. ඉක්බිති ඔහුගේ සිතට මැලි බවක් ඇතුල් වෙයි. හෙතෙම මැලිබවක් මා තුළ ඇතුල් වීයයි දැන අපායට බියෙන් සිතට තර්ජනය කොට නැවත ඡන්‍දය උපදවා කමටහන මෙනෙහි කරයි. ඉක්බිති ඔහු වෙතට නැවත මැලි බව ඇතුල් වේ. හෙතෙම නැවත ද අපායට බියෙන් සිතට තර්ජනය කොට ඡන්‍දය උපදවා කමටහන මෙනෙහි කරන්නේ වෙයි. මෙසේ ඔහු කුසීත බවෙන් ගැවසී ගත් බැවින් ඡන්‍දය කොසජ්ජ සහගත (කුසීත බව හා බැඳුනේ) නම් වෙයි. කොසජ්ජ සම්පයුත්තො = එයටම (හෙවත් කොසජ්ජ සහගත යන්නටම) වෙනත් පර්යාය යෙදුමකි.
උද්ධච්ච සහගතො = මෙහි දී භික්ෂුව ඡන්‍දය උපදවා කමටහන මෙනෙහි කරමින් හිඳියි. එවිට ඔහුගේ සිත (උද්ධච්චයෙහි) නොසන්සුන් බවෙහි වැටේ. හෙතෙමේ බුද්ධ ධම්ම සංඝ ගුණයන් සිහිකොට සිත සතුටු කරවා ප්‍රීතිමත් කරවා කළයුතු දෙය කොට නැවත ඡන්‍දය උපදවා කමටහන මෙනෙහි කරයි. නැවත ඔහුගේ සිත නොසන්සුන් බවෙහි ඇතුල් වෙයි. හේ තෙමේ නැවත බුද්ධ ධම්ම සංඝ ගුණයන් සිහිපත් කොට සිත සතුටු කරවා, ප්‍රීතිමත් කරවා ඡන්‍දය උපදවා කමටහන මෙනෙහි කරන්නේ වෙයි. මෙසේ ඔහු නොසන්සුන් බවෙන් ගැවසී ගත් බැවින් ඡන්‍දය උද්ධච්ච සහගත (නොසන්සුන් බව හා බැඳුනේ) නම් වෙයි.
ථීන මිද්ධ සහගතො = මෙහි භික්ෂුව ඡන්‍දය උපදවා කමටහන මෙනෙහි කරමින් හිඳියි. ඉක්බිති ඔහුට නිදිමත ඇතිවෙයි. හේ තෙමේ මට (ථීන මිද්ධය) මැලි බව හා නිදිමත උපන්නේ යයි දැන ජලයෙන් මුහුණ පිස දමා කන් ඇද ප්‍රගුණව ඇති ධර්මය සජ්ඣායනා කොට දහවල්හි ගන්නා ලද ආලෝක සංඥාව මෙනෙහි කොට ථීන මිද්ධය පහ කොට නැවත ඡන්‍දය උපදවා කමටහන මෙනෙහි කරයි. ඉක්බිති ඔහුට නැවත ථින මිද්ධය උපදියි. හෙතෙමේ කියන ලද පිළිවෙළින්ම නැවතත් ථීන මිද්ධය පහකොට ඡන්‍දය උපදවා කමටහන මෙනෙහි කරන්නේ වෙයි. මෙසේ ඔහු ථින මිද්ධයෙන් ගැවසී ගත් බැවින් ඡන්‍දය ථීන මිද්ධ සහගත (මැලිබව හා නිදිමත සහිත) නම් වෙයි.
අනු වික්‍ඛිත්තො = මෙහි භික්ෂුව ඡන්‍දය උපදවා කමටහන මෙනෙහි කරමින් හිඳියි. ඉක්බිති කාමගුණයුත් අරමුණු ඔහුගේ සිත් අවුල් කරයි. හෙතෙමේ මාගේ සිත බාහිර හේතූන් විසින් අවුල් කරන ලද්දේ යයි දැන අනමතග්ග, දෙවදූත, වෙලාම, අනාගත භය යන ආදී සූත්‍රයන් සිහි කරමින් සූත්‍ර දණ්ඩනයෙන් සිතට තර්ජනය කොට, කළයුතු දෙය කොට ඡන්‍දය උපදවා කමටහන මෙනෙහි කරන්නේ වෙයි. මෙසේ ඔහු කාම විතර්කය ගැවසී ගත් බැවින් ඡන්‍දය බාහිර පංචකාම ගුණයන් නිමිති කොට කැළඹීමට කම්පනයට පත් වෙයි.
යථා පුරෙ තථා පච්ඡා = කර්මස්ථාන වශයෙන් ද, දේශනා වශයෙන් ද පෙර පසු බව දත යුතුය. කෙසේද යත් කමටහනෙහි දී වනාහී කමටහනට ඇතුල් වීම “පුරෙ” (හෙවත් පෙර) නම් වෙයි. අර්හත් භාවය “පච්ඡා” (හෙවත් පසුව) නම් වෙයි. එහිදී යම් භික්ෂුවක් මුල් කමටහනෙහි ප්‍රවේශ වී අධික මැලිබව ආදී ස්ථාන සතර වෙත සිත ඇතුල් වීම වළක්වා, නපුරු ගවයන් යොදා (ගැල) හසුරුවනු මෙන් ද, ස්ථාන සතරෙන් එක් තැනක් හෝ නොගැටෙන සේ චතුරස්‍රයකට රවූම් බෝලයක් ඇතුල් කරනු මෙන් ද සංස්කාරයන් විමසාබලා රහත් බවට පැමිණේ ද මෙම ක්‍රියාව ද පෙර යම් සේ විසුයේ ද පසුව ද එසේම වාසය කරයි යන්නට සමාන නම් වේ. මෙය කමටහන් වශයෙන් පෙර පසු බවක් සහිත වේ. දේශනා වශයෙන් කෙස් (කෙසා) යනු පෙර (පුරෙ) නම් වේ. මොළය (මත්‍ථලුඞ්ග) යනු පසු (පච්ඡා) නම් වේ. එහි යම් භික්ෂුවක් කෙස්වලින් භාවනාවට ඇතුල් වී වර්ණ සටහන් ආදී වශයෙන් කෙස් ආදිය පරීක්ෂා කරනුයේ ස්ථාන සතරෙහි නොගැටෙමින් මොළය දක්වා භාවනාව පවත්වයි. මේ පිළිවෙළ ද පෙර යම් සේ විසුයේ ද පසුව ද එසේම වාසය කරයි (යන්නට සමාන) නම් වේ. මෙසේ දේශනා වශයෙන් පෙර පසු බව දත යුතුය. යථා පච්ඡා තථා පුරෙ = මෙය පෙර දැක්වූ පිළිවෙළටම යොදන වෙනත් පර්යාය යෙදුමකි.
යථා අධො තථා උද්ධං = මෙය ශරීරය වශයෙන් දත යුතුය. එහෙයින් මෙසේ කීය. (කෙසේදයත්) - පතුලෙන් උඩ මුදුන් කෙස්වලින් පහළ දෙතිස් ආකාර වශයෙන් හෝ පා ඇඟිලිවල අග පුරුක් ඇටවල සිට හිස් කබල තෙක් ද, හිස් කබලේ සිට පා ඇඟිලිවල අග පුරුක්හි ඇට තෙක් ද යනුවෙන් ඇට වශයෙන් හෝ සිවු තැන්හි එක් තැනක හෝ නො ගැටෙමින් භාවනාව පවත්වයි. මෙය “ඉහළ යම් සේද පහළ ද එසේය” නොහොත් පහළ යම්සේද ඉහළද එසේය යන අයුරින් පවතී නම් වේ.
යෙහි ආකාරෙහි යම් කොටස්වලින් යෙහි ලිඞ්ගෙහි = යම් සලකුණු වලින් යෙහි නිමිත්තෙහි = යම් වටහා ගැනීම්වලින් ආලොක සඤ්ඤා සුග්ගහිතා හොති = යම් භික්ෂුවක් අංගනයෙහි හිඳ ආලෝක සංඥාව මෙනෙහි කරයිද, වරෙක නෙත් පියා ගනියි ද, වරෙක නෙත් ඇර ගනියි ද ඔහු යම් විටෙක නෙත් වසා සිටියදීද නෙත් හැර බලන්නකුට මෙන් එක සමානවම වැටහේ. එකල්හි ආලෝක සංඥාව උපන්නේ නම් වෙයි. දිවා සඤ්ඤො යනු එයට ම නමකි. එය ද වනාහි රාත්‍රියෙහි උපදිනුයේ මනාව ගන්නා ලද්දේ නම් වෙයි. ස්වාධිට්ඨිතා යනු ද එයටම පර්යාය වචනයකි. මනාව තැන්පත් කළ, මනාව තබන ලද යන අරුත් සඳහා “ස්වාධිට්ඨිතා” යයි කියනු ලැබේ. එය අර්ථ වශයෙන් (මෙසේ වේ) මනාව ගන්නා ලද යම් ආලෝකයකින් මැලි බව හා අලස බව පහකොට ඡන්‍දය උපදවා කමටහන මෙනෙහි කරයිද, ඔහුට දහවල ද ආලෝක සංඥාව මනාව ගන්නා ලද්දේම වේ. රාත්‍රියෙහි හෝ දහවල හෝ වේවා යම් ආලෝකයකින් මැලි බව හා අලස බව පහකොට කමටහන මෙනෙහි කරයි. එහිදී ථින මිද්ධය පහ කිරීමෙන් ආලෝකයෙහි උපන් සංඥාව වන ආලෝක සංඥාව මනාව ගන්නා ලද්දේ නම් වෙයි. වීර්ය ආදියෙහි ද මේ පිළිවෙළම වේ. මේ සූත්‍රයෙහිදී ෂඩ් අභිඥා පාදක ඍද්ධිය කියන ලදී.