1-2. හෙතු ආදි සූත්‍ර වර්ණනා
දෙවන වර්ගයේ පළමුවැන්නෙහි - නච අතිලීනො යන ආදිය බැහැරින් දර්ශනය වෙයි. මේ සූත්‍රයෙහිදී අභිඥා සය පාදක කොට ඇති ඍද්ධිපාදයන් කියන ලදී. දෙවැන්නෙහිද එසේමය.
3. ඡන්ද සූත්‍ර වර්ණනාව
තුන්වැන්නෙහි ඡන්‍දං = කරනු කැමැත්ත “ඡන්‍ද” නම් වේ. නිස්සාය = ආශ්‍රය කොට, නායකයා කොට යන අර්ථයයි. පධාන සඞ්ඛාරා = ප්‍රධාන වූ සංස්කාරයෝ කාර්යයන් සතර සිදු කිරීමට හේතු වන මනාවූ වීර්යයට මෙය පර්යාය වචනයකි. ඉති අයඤ්ච ඡන්‍දො යන ආදියෙහි “ඡන්‍දය” නම් ඡන්දයෙන් ද භාවනා සංස්කාරයගෙන් ද යුක්ත වූ ඡන්‍ද සමාධියයි. භාවනා සංස්කාරයන් ද ඡන්‍දයෙන් හා සමාධියෙන් ද යුක්ත වේ. එහෙයින් මේ සියලු ධර්මයන් එකතු කොට අයං වුච්චති භික්‍ඛවෙ ඡන්‍ද සමාධි පධාන සඞ්ඛාර සමන්නාගතො ඉද්ධිපාදො (මහණෙනි මෙය ඡන්‍ද සමාධිය, භාවනා සංස්කාරය යන මේවායින් යුක්ත වූ ඉද්ධි පාදය වේ) යයි කියන ලදී. ඉද්ධිපාද විභඞ්ගයෙහිදී වනාහී වේදනා ස්කන්ධය යන ආදී පිළිවෙළින් මේ ධර්මයන්ගෙන් යුක්ත වූ සෙසු අරූපී ධර්ම ඉද්ධිපාද යයි කියන ලදී.
තව ද මේවායින් ධර්මයන් තුනක් ඍද්ධීන් හෝ ඍද්ධිපාදයන් වේ. ඒ කෙසේද යත් - ඡන්‍දය (කැමැත්ත) වඩන්නහුට ඡන්‍දය ඍද්ධි නම් වෙයි. සමාධි භාවනා සංස්කාරයන් “ඡන්‍දිද්ධි පාද” නම් වේ. සමාධිය වඩන්නහුට සමාධිය “ඉද්ධි” නම් වෙයි. ඡන්ද භාවනා සංස්කාරයන් සමාධි ඉන්‍ද්‍රියයට පාද (හේතු හෝ අත්තිවාරම) නම් වේ. භාවනා සංස්කාරයන් වඩන්නහුට භාවනා සංස්කාරයන් “ඉද්ධි” නම් වේ. ඡන්ද සමාධි භාවනා සංස්කාර ඉන්‍ද්‍රියයන් පාද (හේතු හෝ අත්තිවාරම්) නම් වේ. එකට එක්ව යෙදුන ධර්මයන්හි එකක් සමෘද්ධ වන කල්හි සෙස්ස ද සමෘද්ධ වේමය.
තව ද ඒ ඒ ධර්මයන්ගේ (ධ්‍යාන සමාපත්තීන්හි) පූර්ව භාව වශයෙන් ද මේවායේ ඍද්ධිපාද භාවය දත යුතුය. ප්‍රථම ධ්‍යානය “ඍද්ධි” නම් වේ. ප්‍රථම ධ්‍යානයේ පූර්ව භාගයෙහි, මූලික කාර්යයන්ගෙන් යුක්ත වූ ඡන්ද ආදිය “සෘද්ධිපාද” නම් වේ. මේ පිළිවෙළින් “නේවසඤඤා නාසඤ්ඤායතනය” දක්වා, ඍද්ධි විධ ඥානය ආදි කොට දිව්‍ය චක්ෂුර් ඥානය දක්වා, සෝවාන් මාර්ගය ආදි කොට අර්හත් මාර්ගය දක්වා පිළිවෙළ ගෙන යා යුතු වේ. සෙසු ඍද්ධිපාදයන්හිද මේ පිළිවෙළම වේ.
ඍද්ධිපාදය සමෘද්ධ නොවීයයි ඇතැමෙක් කියති. මෙහිදී ඔවුන්ගේ වාද මර්දනය පිණිස අභිධර්මයෙහි “උත්තර චුළවාරෝ යන නම එයි.
ඉද්ධිපාද සතරක් වේ. එනම් ඡන්‍දිද්ධිපාද, චිත්තතිද්ධිපාද, විරියිද්ධිපාද, වීමංසිද්ධිපාද යනුයි. එහි ඡන්‍දිද්ධිපාද නම් කුමක්ද යත් - මෙහි භික්ෂුවක් යම්කිසි කලෙක්හි නෛර්යාණිකවූ, නිවනට පමුණුවන්නාවූ, ලෝකෝත්තර ධ්‍යානයක් වඩන්නේ ද වැරදි දෘෂ්ටීන් ප්‍රහාණය කිරීම පිණිස ප්‍රථම භූමියට පැමිණීමෙන් කාමයන්ගෙන් වෙන්ව -පෙ- දුක සේ පිරිය යුතු ප්‍රතිපදාවක් සහිත වූ, වෙහෙසවී ලබා ගතයුතු අභිඥා සහිත වූ ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. එකල්හි කැමති බැවින් “ඡන්‍ද” යයි ද, ක්‍රියා කිරීමට කැමති බැවින් “කුසල” යයි ද නම් ඇති ධම්ම ච්ඡන්‍ධ වන මෙය “ඡන්‍දිද්ධි පාද” නම් වේ. අන් ධර්මයන් ඡන්‍දිද්ධි පාදය සමග එක්ව යෙදී ඇත.
මේවා වනාහී ලෝකෝත්තර වශයෙන්ම එන ධර්මයන්ය.
එහි (මෙය එයි) - රට්ඨපාල ස්ථවිර තෙමේ ඡන්‍ද ධුරය වඩා ලෝකෝත්තර ධර්මය ඉපදවීය. සෝණ ස්ථවිර තෙමේ විරිය ධුරය ද, සම්භූත ස්ථවිර තෙමේ චිත්ත ධුරය ද, ආයුෂ්මත් මෝඝරාජ තෙමේ වීමංස ධුරය ද වඩා ලෝකෝත්තර ධර්මය ඉපදවූහ. එහි දී යම් සේ අමාත්‍ය පුත්‍රයන් සිවු දෙනකු තනතුරු පතා රජුන් ඇසුරු කොට වසන කල්හි එක් අයෙක් (රජුට) උපස්ථාන කිරිමෙහි (රාජසේවයෙහි) කැමතිවූයේ රජුගේ අදහස ද කැමැත්ත ද දැන දිවා රෑ උපස්ථාන කරනුයේ රජු සතුටු කොට තනතුරට පත්වූයේය. ඡන්ද ධුරයෙන් ලොවුතුරු දහම උපදවා ගන්නා පුද්ගලයා මෙසේ යයි දත යුතුය.
එක් අයෙක් දිනපතා උපස්ථානයට (රාජ සේවයට) නො හැක්කෙමි, වැඩක් ඇති කල්හි පරාක්‍රමයෙන් සතුටු කර වන්නෙමි යි කියා, පසල් දනවුවක් කෝප වූ කල්හි රජු විසින් එහි යවන ලද්දේ පරාක්‍රමයෙන් යුතුව සතුරන් මර්දනය කොට පැමිණියේය. විරිය ධුරයෙන් ලොවුතුරු දහම උපදවා ගන්නා පුද්ගලයා මෙසේ යයි දත යුතුය. එක් අයෙක් දිනපතා රාජ සේවය ද, උරහිසෙන් ආයුධ ඊතල ආදිය දරා ගෙන සිටීම ද බරක් යයි සිතා මන්ත්‍රණ බලයෙන් රජු සතුටු කරවන්නෙමියි සිතා රාජ්‍යපාලන විද්‍යාවෙන් කරන ලද කටයුතු ඇත්තේ මන්ත්‍රණ සංවිධානයෙන් රජු සතුටු කොට පැමිණියේය. චිත්ත ධුරයෙන් ලොවුතුරු දහම උපදවා ගන්නා පුද්ගලයා මෙසේ යයි දත යුතුය.
අනික් තැනැත්තා මේ රාජ්‍ය සේවය ආදියෙන් කවර ඵලයක් ද? රජවරු වනාහී උසස් කුලවතුන් හට තනතුරු දෙත්. එබඳු අයට දෙමින් මට ද දෙන්නේ යයි සිතා ජාති සම්පත්තිය නිසාම තනතුරකට පැමිණියේය. සුපිරිසිදු විමංසනය නිසා විමංසා ධුරයෙන් ලොවුතුරු දහම උපදවා ගන්නා පුද්ගලයා මෙසේයයි දත යුතුය. මෙසේ මේ සූත්‍රයෙහිදී නිවන පාදක කොටගත් සෘද්ධිය කියන ලදී.
4. මොග්ගල්ලාන සූත්‍ර වර්ණනාව
සිවු වැන්නෙහි - උද්ධතා = උද්ධච්ච බව (නොසන්සුන් බව) ස්වභාවය කොට ගත් චංචල වන සිත් ඇති නොසන්සුන් වීම නිසා කොඩි ගස මත වාතයෙන් සැලෙන ධජයක් මෙන් එක් අරමුණක් කෙරෙහි සිත චලනය වෙයි. උන්නලානි = ඉහළට යොමු වූ බටගස් මතුවූ හිස් අහංකාරය යයි කියන ලද්දේ වෙයි. චපලා = පා සිවුරුවලින් සැරසීම් ආදී චපල බවින් යුතු වූ මුඛරා මුඛයේ රළු බව. රළු වචනයන් යයි කියන ලද්දේ වෙයි. විකිණ්ණවාචා = අසංයත වචන ඇති දවස පුරාම නිරර්ථක වචන කියන්නාවූ මුට්ඨස්සතිනො = මුළා වූ සිහි ඇති. අසම්‍යජානා = ප්‍රඥාව රහිත වූ විබ්භන්ත චිත්තා = පහ කරන ලද සිත් ඇති. (සිතින් ඉවත් කළ) සමාධිය නැති වීම නිසා ලැබුණ අවසරයෙන් නොසන්සුන් වීම හේතු කොට ගෙන. පාකතින්‍ද්‍රියා = අසංවර වූ ඉන්‍ද්‍රියයන් ඉද්ධාභිසංඛාරං = ආපෝ කසිණයට සමවැදී, ඉන් නැඟී ප්‍රාසාදය පිහිටි බිම් කොටස ජලය වේවායි අධිෂ්ඨාන කොට දිය මත පිහිටියාවූ ප්‍රාසාදයෙන් අහසට පැන නැඟී ඇඟිල්ලෙන් පහර ගැසීය. ගම්භීර නෙමො = ගැඹුරු ආවාටය. ගැඹුරු භූමි භාගයෙහි ඇතුළට පිවිසියේය යන අර්ථයයි. සුනිඛාතො = මනාව වළ දමන ලදුව යහපත් ලෙස තබන ලදී. මෙහිදී අභිඥා පාදක ඍද්ධිය කියන ලදී.