9-10. සම්පන්න ආදි සූත්‍ර වර්ණනා
නවවැන්නෙහි - ඉන්‍ද්‍රිය සම්පන්නො - පරිපූර්ණ වූ ඉන්‍ද්‍රියයන් ඇති තැනැත්තා, දස වැන්න පහසු අරුත් ඇත්තේය. මේ සූත්‍ර දෙකේදීම මිශ්‍ර වූ ඉන්‍ද්‍රියයන්ම කියන ලදී.
දෙවන මුදුතර වර්ගය නිමි.
3. ඡළින්ද්‍රිය වර්ගය
2. ජීවිතින්ද්‍රිය සූත්‍ර වර්ණනාව
තුන් වන වර්ගයේ දෙවැන්නෙහි - ඉත්‍ථින්‍ද්‍රියං යන මේ ආදියෙහි දී ස්ත්‍රී භාවයෙහි ප්‍රධානත්වය අර්ථවත් කෙරේය යන අදහසින් ඉත්‍ථින්‍ද්‍රියං යනු යෙදේ. පුරුෂ භාවයෙහි ප්‍රධානත්වය අර්ථවත් කෙරේය යන අදහසින් පුරිසින්‍ද්‍රියං යනු යෙදේ. ජීවිතයෙහි ප්‍රධානත්වය අර්ථවත් කෙරේය යන අදහසින් ජීවිත ජීවිතින්‍ද්‍රිය යයි යෙදේ. මේ සූත්‍රය අර්ථයන් මතු කර දැක්වීම සඳහා වේ. සංඝයා මධ්‍යයෙහි දී කෙතෙක් නම් (සති ආදී) ඉන්‍ද්‍රියයන් පවතීදැයි යන කථාව උපන්නේ ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පැවැත්ම පිළිබඳ ඉන්‍ද්‍රියයන් දක්වන්නාහු තීණිමානි භික්‍ඛවෙ යන ආදිය වදාළහ.
3. අඤ්ඤින්ද්‍රිය සූත්‍ර වර්ණනාව
තුන්වැන්නෙහි - අනඤ්ඤාතඤ්ඤස්සා මීතින්‍ද්‍රියං = කෙළවර නොපෙනෙන සසරෙහි නො දැන සිටි දහමක් දැන ගන්නෙමියි පිළිපන් තැනැත්තහු හට සෝවාන් මාර්ග ක්ෂණයෙහි උපන් ඉන්‍ද්‍රිය. අඤ්ඤින්‍ද්‍රියං = දැන් ගන්නා ලද එම ධර්මයන්ගේ ම දැනීම් ආකාරයෙන් සෝවාන් ඵලය ආදී ස්ථාන සයෙහි උපන් ඉන්‍ද්‍රිය. අඤ්ඤාතා වින්‍ද්‍රියං = වඩා හොඳින් දැන ගත් අර්හත් ඵල ධර්මයන්හි උපන් ඉන්‍ද්‍රිය ඒ ඒ තැන්හි ඒ ඒ අයුරින් උපන් ඥානයටම මෙය තවත් වදනක් වේ. මේ සූත්‍රය ද අර්ථයන් මතුකර දැක්වීමක් වේ. සංඝයා මධ්‍යයෙහිදී කෙතෙක් නම් ලෝකෝත්තර ඉන්‍ද්‍රියයන් පවතීදැයි යන කථාව උපන්නේ ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒවා දක්වන්නාහු තීණිමානි භික්‍ඛවෙ ඉන්‍ද්‍රියානි යන ආදිය වදාළහ.
4. එකබීජී සූත්‍ර වර්ණනාව
සිවු වැන්නෙහි - තතො මුදුතරෙහි = විදර්ශනාවෙන් අඩුවීමක්, ලිහිල්වීමක් වේ යයි දත යුතුය. (සති ආදී) සියලු ඉන්‍ද්‍රියයන් පහම අර්හත් මාර්ගයේ විදර්ශනා ඉන්‍ද්‍රියයන් නම් වේ. අන්තරා පරිනිබ්බායී පුද්ගලයාගේ විදර්ශනා ඉන්‍ද්‍රියයන් එයට (හෙවත් අර්හත් මාර්ගයේ විදර්ශනා ඉන්‍ද්‍රියයනට) වඩා ලිහිල් වේ. -පෙ- උද්ධං සෝත අකණිටඨගාමී පුද්ගලයාගේ විදර්ශනා ඉන්‍ද්‍රියයන් එයට ද වඩා ලිහිල් වන්නේ වේ. මෙහිදීද පෙර සේම අර්හත් මාර්ගයෙහි පිහිටා ඉවත් කළයුතු පහ බැහැර කළ යුතු වේ.
යම් සේ වනාහී පෙර පරිද්දෙන් ම සකෘදාගාමී මාර්ගයෙහි පිහිටා ඉවත් කළ යුතු තුනක් වේ. මෙසේ මෙහිදී බැහැර කළයුතු පහක් වේ. සකෘදාගාමි මාර්ගයේ විදර්ශනා ඉන්‍ද්‍රියයනට වඩා සෝවාන් මාර්ගයේ විදර්ශනා ඉන්‍ද්‍රියයනට වඩා සෝවාන් මාර්ගයේ විදර්ශනා ඉන්‍ද්‍රියයන් ලිහිල් වේ. සෝවාන් මාර්ගයේ එම විදර්ශනා ඉන්‍ද්‍රියයන් හට වඩා ඒකබීජී ආදී පුද්ගලයන්ගේ මාර්ගයේ විදර්ශනා ඉන්‍ද්‍රියයන් ලිහිල් වේ.
මෙහි ඒකබීජී ආදීන් කෙරෙහි වන තත්ත්වය මෙසේ වේ. යමෙක් සෝවාන් වී එකම ආත්ම භාවයක් ඉපදී රහත් බවට පැමිණේ ද මේ තත්ත්වය ඒක බීජී වේ. මෙසේ ද කියන ලදී. ඒක බීජී පුද්ගලයා නම් කවරෙක්දයත් - මෙලොව යම් පුද්ගලයෙක් සංයෝජන තුනක් ක්ෂය කිරීමෙන් දුගතියට නොවැටීමෙහි නියත වූ, නිර්වාණාවබෝධය නියත වූ සෝවාන් ඵලයට පැමිණේ ද හේ තෙමේ එකම මනුෂ්‍ය භවයක ඉපදී දුක අවසන් කරයි. මෙම පුද්ගලයා ඒකබීජි යයි කියනු ලැබේ.
යමෙක් වනාහී භවයන් දෙකක් තුනක් හැසිරී හෙවත් ඉපදී දුක් කෙළවර කරයි ද මේ තැනැත්තා “කෝලංකෝල” නම් වේ. මෙසේ ද කියන ලදී - කෝ ලං කෝල පුද්ගලයා නම් කවරෙක්ද යත් - මෙලොව යම් කිසි පුද්ගලයෙක් සංයෝජන තුනක් ක්ෂය කිරීමෙන් දුගතියට නොවැටීමෙහි නියත වූ, නිර්වාණාවබෝධය නියත වූ සෝවාන් ඵලයට පැමිණේ ද හේ තෙමේ කුලයක් හෙවත් ආත්ම දෙකක හෝ තුනක ඉපදී දුක අවසන් කරයි. මේ පුද්ගලයා “කෝලං කෝල” යයි කියනු ලැබේ. එහි දී කුලයන් යනු ඉපදීම් හෙවත් භවයන් යයි දත යුතුය. දෙකක් හෝ තුනක් යන මෙය ද මෙහි දී දේශනා මාත්‍රයක් පමණක් වේ. සය වන භවය දක්වා සැරිසරන තැනැත්තා කෝලංකෝල පුද්ගලයා ම වේ.
යමකුට සත් වරක් පමණක් උත්පත්තිය සිදු වේද? අටවන භවයක නො උපදිනේ වේ ද මේ තැනැත්තා “සත්තක්‍ඛත්තුංපරම” නම් වේ. මෙසේ ද කියන ලදී. සත්තක්ඛත්තු පරම පුද්ගලයා නම් කවරෙක් ද යත් - මෙලොව යම් පුද්ගලයෙක් සංයෝජන තුනක් ක්ෂය කිරීමෙන් දුගතියට නොවැටීමෙහි නියත වූ, නිර්වාණාවබෝධය නියත වූ සෝවාන් ඵලයට පැමිණේ ද හේ තෙමේ සත්වරක් දෙව්ලොව ද, මිනිස් ලොව ද හැසිරී දුක අවසන් කරයි. මෙම පුද්ගලයා “සත්තක්ඛත්තුං පරම” යයි කියනු ලැබේ.
භාග්‍යවතුන් වහන්සේ විසින් ම භාවිතයට ගන්නා ලද නම් වශයෙන්ම ද මෙම නාමයන් ඒවායේ සීමාවන් වේ. මෙ පමණ තැන් ගිය තැනැත්තේ ඒකබීජී නම් වේ. මෙ පමණ තැන් ගිය තැනැත්තේ කෝලංකෝල නම් වේ, මෙ පමණ තැන් ගිය තැනැත්තේ සත්තක්ඛත්තුං පරම නම් වේ, යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් මේ පුද්ගලයන්ගේ නම් භාවිතයට ගන්නා ලදී. මේ තැනැත්තා ඒකබිජිය, මේ තැනැත්තා කෝලංකෝලය. මේ තැනැත්තා සත්තක්ඛත්තුං පරම ය යනුවෙන් නියත භාවයක් නම් නැත.
මේ පුද්ගලයන් හට මෙ පමණ ප්‍රභේද කවරෙක් නම් නියම කරත් ද යත් - ඇතැම් තෙරවරු එය පූර්ව හේතූන්ගේ නියමයක් යයි කියති. ඇතැම් තෙරවරු ප්‍රථම මාර්ගය හේතු වේ යයි කියත්. ඇතැම් තෙරවරු (සකෘදාගාමී, අනාගාමී, අර්හත් යන) ඉහල මාර්ග තුන එයට හේතු වේ යයි කියත්. එහිදී පූර්ව හේතූන්ගේ නියමයක්ය යන මතය ප්‍රථම මාර්ගයට හේතුකාරක වූයේ නම් වෙයි. ඉන් ඉහල මාර්ග තුන හේතුවකින් උපන්නේය යන කියමනට පැමිණේ, ඉහල මාර්ග තුන නියමයන් කරන්නේය යන මතයෙහිදී පළමු මාර්ගය නො ඉපදී තිබියදීම ඉහල මාර්ග තුන උපන්නේය යන අදහසට පැමිණෙයි. මාර්ග තුනේ විදර්ශනාව නියමයන් කරන්නේය යන අදහස සුදුසු වේ. ඉදින් ඉහල මාර්ග තුනේ විදර්ශනාව බලවත් වේද (එකල්හි) “ඒක බීජී “ නම් වේ. ඉන් අඩු තත්ත්වයේ දී “කෝලංකෝල” නම් වේ. ඉනුත් අඩු තත්ත්වයේදී “සත්තක් ඛත්තුං පරම” නම් වේ.