2. සඞ්ඛිත්ත සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි - තතො = විදර්ශනාව මාර්ග ඵල වශයෙන් මිශ්‍රවූයේ යයි දත යුතුය. සියලු අයුරින්ම පරිපූර්ණ (සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා යන) ඉන්‍ද්‍රියයන් පස අර්හත් මාර්ගයේ විදර්ශනා ඉන්‍ද්‍රියයන් නම් වේ. තතො මුදු තරෙහි = ඒ අතුරින් මාර්ගයේ විදර්ශනා ඉන්‍ද්‍රියයන්ගෙන් වඩාත් ලිහිල් වනුයේ අනාගාමි මාර්ගයේ විදර්ශනා ඉන්‍ද්‍රියයන් නම් වේ. එයටද වඩා ලිහිල් වනුයේ සකෘදාගාමි මාර්ගයේ විදර්ශනා ඉන්‍ද්‍රියන්ය. සෝවාන් මාර්ගයේ විදර්ශනා ඉන්‍ද්‍රියයන් එයටද වඩා ලිහිල් වේ. ධර්මානුසාරී මාර්ගයේ විදර්ශනා ඉන්‍ද්‍රියයන් එයටද වඩා ලිහිල් වේ.
එසේ ම හැම අයුරින්ම පරිපූර්ණ වූ ඉන්‍ද්‍රියයන් පස නම් අර්හත් මාර්ග ඵල ඉන්‍ද්‍රියයන් වේ. අනාගාමී, සකෘදාගාමී, සෝවාන් මාර්ග ඉන්‍ද්‍රියයන් එයට ද වඩා ලිහිල් වේ. ධර්මානුසාරී මාර්ගයේ ඉන්‍ද්‍රියය එයට ද වඩා ලිහිල් වේ. හැම අයුරින් ම පරිපූර්ණ වූ ඉන්‍ද්‍රියයන් පස නම් අර්හත් ඵලයේ ඉන්‍ද්‍රියයන් වේ. අනාගාමි ඵලයේ ඉන්‍ද්‍රියයන් එයට වඩා ලිහිල් වේ. සකෘදාගාමි ඵලයේ ඉන්‍ද්‍රියය එයටත් වඩා ලිහිල් වේ. සෝවාන් ඵලයේ ඉන්‍ද්‍රියයන් එයට ද වඩා ලිහිල් වේ.
ධර්මානුසාරී ශ්‍රද්ධානුසාරී යන දෙදෙනා ද සෝවාන් මාර්ගයෙහි පිහිටි පුද්ගලයෝය. මාර්ගස්ථ පුද්ගලයන් වශයෙන් ඔවුන් හට වෙනත් වෙනත් ස්වභාවයන් ඇතිබව දතයුතුය. ශ්‍රද්ධානුසාරී පුද්ගලයා වනාහී පැමිණෙන ආකාරයෙන් ද, මාර්ගය වශයෙන් ද උපදෙස් ලබනුයේ ප්‍රශ්න කරනුයේ අනුපිළිවෙළින් මාර්ගයට පැමිණෙයි. ධර්මානුසාරී පුද්ගලයා ශ්‍රවණය කිරීම් එකකින් හෝ දෙකකින් මාර්ගයට පැමිණෙයි. මෙසේ ඔවුන්ගේ මාර්ගයට පැමිණීමෙහි වෙනස්කමක් ඇති බව දත යුතු වේ.
ධර්මානුසාරී පුද්ගලයාට වනාහී මාර්ගය තියුණු වේ. සූර ලෙස නුවණ මතු වෙයි. සංස්කාරයන්ගෙන් තොරව, වෙහෙසීමෙන් තොරව තියුණු කඩු තලයකින් කෙසෙල් කඳක් කපන්නා සේ කෙලෙස් හිඳ දමයි. ඔහුට මෙන් ශ්‍රද්ධානුසාරී පුද්ගලයාට මාර්ගය තියුණු නොවේ. සූර ලෙස නුවණ මතු නොවේ. සංස්කාරයන්ගෙන් යුතුව, වෙහෙසීමෙන් යුතුව. බෙහෙවින් ගෙවීගිය කඩු තලයකින් කෙසෙල් කඳක් කපන්නා සේ (අපහසුවෙන්) කෙලෙස් නසයි. කෙලෙස් ක්ෂය වීමේ දී වනාහී ඔවුන් ගේ වෙනස් බවක් නැත්තේය. ඉතිරිව ඇති කෙලෙස් ක්ෂය වේ.
3. දුතිය සඞ්ඛිත්ත සූත්‍ර වර්ණනාව
තුන් වැන්නෙහි - තතො = ඵල වශයෙන් මිශ්‍රයයි දත යුතුය. සියලු අයුරින් පරිපූර්ණ වූ (සති ආදී) ඉන්‍ද්‍රියයන් පස අර්හත් ඵල ඉන්‍ද්‍රියයන් නම් වේ. අර්හත් ඵලයෙන් යුක්තවූ පුද්ගලයා අර්හත් (අරහා) නම් වේ. එයට වඩා ලිහිල් වූයේ අනාගාමී ඵල ඉන්‍ද්‍රියයන් නම් වේ -පෙ- එයටත් වඩා ලිහිල් වූයේ සෝවාන් ඵල ඉන්‍ද්‍රියයන් නම් වේ. සෝවාන් ඵලයෙන් යුක්ත වූ පුද්ගලයා සෝවාන් තැනැත්තා (සොතාපන්න) නම් වේ. ඉන්‍ද්‍රියයන්ගේ වෙනස ඵලයන්ගේ වෙනස් වෙයි. ඉන්‍ද්‍රියයන්ගේ නානාගති ස්වභාවයෙන් ද, ඵලයන්ගේ නානා ගති ස්වභාවයෙන් ද පුද්ගලයන්ගේ නානාගති ස්වභාවය ඇති වේ.
4. තතිය සඞ්ඛිත්ත සූත්‍ර වර්ණනාව
සිවු වැන්නෙහි - පරිපූරං පරිපූරකාරී ආරාධෙති - අර්හත් මාර්ගය සම්පූර්ණ කරන තැනැත්තා අර්හත් ඵලය ලබා ගනියි. පදෙසං පදෙස කාරී = ඉතිරි මාර්ග කොටස් තුන සම්පූර්ණ කරන තැනැත්තා ඒ ඵල කොටස් තුනම ලබා ගනියි. මෙසේ මේ සූත්‍ර සතරෙහිදීම මිශ්‍ර වශයෙන් (සති ශ්‍රද්ධා ආදී) ඉන්‍ද්‍රියයන් කියන ලදී.
5-7. විත්ථාර ආදි සූත්‍ර වර්ණනා
පස් වැන්නෙහි - තතො මුදු තරෙහි = විදර්ශනා වශයෙන් මිශ්‍ර වී ඇති තත්ත්වයන් මෙහිදී දත යුතුයි. පරිපූර්ණ වූ (සති ආදී) ඉන්‍ද්‍රියයන් පස අර්හත් මාර්ගයෙහි විදර්ශනා ඉන්‍ද්‍රියයන් වේ. (අනාගාමී භාවයේ තත්ත්වයන් පහෙන් එකක් වන) අන්තරා පරිනිබ්බායී තත්ත්වයට පත් පුද්ගලයාගේ විදර්ශනා ඉන්‍ද්‍රියයන් එයට වඩා ලිහිල් වේ. උපහච්ච පරිනිබ්බායී තත්ත්වයට පත් පුද්ගලයාගේ විදර්ශනා ඉන්‍ද්‍රියයන් ඊට වඩා ලිහිල් වේ. අසංඛාර පරිනිබ්බායී තත්ත්වයට පත් පුද්ගලයාගේ විදර්ශනා ඉන්‍ද්‍රියය එයට ද වඩා ලිහිල් වේ. සසංඛාර පරිනිබ්බායී තත්ත්වයට පත් පුද්ගලයාගේ විදර්ශනා ඉන්‍ද්‍රියයන් ඊටත් වඩා ලිහිල් වේ. උද්ධංසොත අකණිටඨගාමී පුද්ගලයාගේ විදර්ශනා ඉන්‍ද්‍රියයන් ඊට ද වඩා ලිහිල් වන්නේ වෙයි.
මේ තැන්හිදී අර්හත් මාර්ගයෙහි ම සිට (පෙර කී) මිශ්‍රණ පස බැහැර කළ යුතුය. අර්හත් මාර්ගයේ විදර්ශනා ඉන්‍ද්‍රියයන් හට වඩා පළමු වන අන්තරා පරිනිබ්බායී පුද්ගලයාගේ විදර්ශනා ඉන්‍ද්‍රියයන් ලිහිල් වේ. දෙවන අන්තරා පරිනිබ්බායී පුද්ගලයාගේ විදර්ශනා ඉන්‍ද්‍රියයන් ඊට වඩා ලිහිල් වේ. තෙවන අත්තරා පරිනිබ්බායී පුද්ගලයාගේ විදර්ශනා ඉන්‍ද්‍රියයන් එයට ද වඩා ලිහිල් වේ. උපහච්ච පරිනිබ්බායී පුද්ගලයාගේ විදර්ශනා ඉන්‍ද්‍රියයන් ඊටත් වඩා ලිහිල් වේ. උද්ධං සොත අකණිටඨගාමී පුද්ගලයාගේ විදර්ශනා ඉන්‍ද්‍රියයන් ඊට ද වඩා ලිහිල් වේ. අසංඛාර පරිනිබ්බායී පුද්ගලයාගේ ද, ද, සසංඛාර පරිනිබ්බායී පුද්ගලයාගේ ද විදර්ශනා ඉන්‍ද්‍රියයන් යෝජනා පසකට අයත් වේ.
එනම් : ඉතිරි යෝජනා මිශ්‍රණයන් තුන මෙසේයි :- සකෘදාගාමී මාර්ගයේ ඉන්‍ද්‍රියයන් හට වඩා සෝවාන් මාර්ගයේ ඉන්‍ද්‍රියයන් මුදුතර වේ. සෝවාන් මාර්ගයේ ඉන්‍ද්‍රියයන් ලිහිල් වේ. සෝවාන් මාර්ගයේ ම ඉන්‍ද්‍රියයන් හට වඩා ධම්මානුසාරී මාර්ගයේ ඉන්‍ද්‍රියයන් ද, එයටත් වඩා සද්ධානුසාරී මාර්ග ඉන්‍ද්‍රියයන් ද ලිහිල් වේ. සය වන සත්වන කොටස් පෙර කියන ලද පරිදිම වේ. මේ සූත්‍ර තුනෙහිදී ම පූර්ව භාග විදර්ශනා ඉන්‍ද්‍රියයන් ම කියන ලදී.