2. සමුදය සූත්‍ර වර්ණනාව
පස්වන වර්ගයේ දෙවැන්නෙහි - ආහාර සමුද්දයා කාය සමුද්දයො - ආහාරයේ හේතුවෙන් කය හටගනී. සෙසු තන්හි ද මේ පිළිවෙළම වේ. මනසිකාර සමුදයා = මෙහිදී නුවණින් මෙනෙහි කිරීමේ (යොනිසො මනසිකාර) හේතුවෙන් බොජ්ඣඞ්ග ධර්මයන්ගේ හට ගැනීමද නුවණින් මෙනෙහි නො කිරීමේ හේතුවෙන් නීවරණ ධර්මයන්ගේ හට ගැනීම ද සිදුවෙයි. යනුවෙන් මෙසේ මේ සූත්‍රයෙහි අරමුණු පිළිබඳව සිහිය පැවැත්වීම් (ආරම්මණ සතිපට්ඨාන) ගැන කියන ලදී.
4. සතො සූත්‍ර වර්ණනාව
සිවු වැන්නෙහි - පිරිසිදු කොට හට ගැනීම (සමුදය) ගැන කියනු ලැබීමේදී අවබෝධ කරගන්නවුන්ගේ අදහසින් කියන ලදී.
6. පාතිමොක්ඛ සූත්‍ර වර්ණනාව
සය වැන්නෙහි - පාතිමොක්‍ඛ සංවර සංවුතො = සතර (සංවර) සීලයන්ගේ ප්‍රධාන සීලය දක්වමින් මෙසේ කීය. ත්‍රිපිටක චූළනාග ස්ථවිර තෙමේ “ප්‍රාතිමෝක්ෂ සංවරය පමණක්ම සීලයයයි ද, (ඉන්‍ද්‍රිය සංවර, ආජීව පාරිසුද්ධි, පච්චය සන්නිස්සිත යන) ඉතිරි තුන “සීල” යනුවෙන් කියන ලද තැනක් නම් නැත්තේ යයි ද කීය. එසේ කියා (ඒ තුන සීලයන්ය යන බව) අනුමත නොකරමින්ම (මෙසේ) කීය. ඉන්‍ද්‍රිය සංවරය යනු දොරටු සය රැක ගැනීම පමණක්මය, ආජීව පාරිසුද්ධිය යනු ධාර්මිකවම සිවු පසය උපදවා ගැනීම පමණක්මය. ප්‍රත්‍ය සන්නිශ්‍රිතය යනු ලැබුණ ප්‍රත්‍යයන්හි ප්‍රයෝජනය මේ යයි නුවණින් සලකා බලා පරිභෝග කිරීම පමණක්මය. වෙනත් සීලයන් හා සමාන බවකින් තොරව ප්‍රාතිමෝක්ෂ සංවරයම පමණක් සීලය වෙයි. යමකුගේ ඒ සීලය බිඳුනේ නම් හිස සිඳුනාක් වැනි මේ පුරුෂයා සෙසු අත් පා රැකගනු ඇතැයි කිව යුත්තේ නොවේ. යමකුගේ හිස නීරෝගීව පවතී ද, නො සිඳුණ හිස ඇති මේ පුරුෂයා සෙසු දෙය ද ප්‍රකෘති තත්ත්වයට පත් කොට ජීවිතය ආරක්ෂා කර ගැනීමට ද සමත් වේ. ඒ නිසා ප්‍රාතිමෝක්ෂ සංවරයම සීලය වෙයි. එබැවින් ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් සංවර කරන ලද්දේය යන අදහසින් “පාතිමොක්‍ඛ සංවර සංවුතො” යයි කියනු ලැබේ. (සීලයට) පැමිණියේය, (සීලයෙන්) යුක්ත වූයේය” යන අර්ථය වේ.
ආචාර ගොචර සමපන්නො = හැසිරීමෙන් ද, පුරුදු කාර්යයන්හි යෙදීමෙන් ද සමෘද්ධ වූයේ. අණුමත්තෙසු = ඉතා සුලු ප්‍රමාණයන්හි වජ්ජෙසු = අකුසල් දහම්හි භය දස්සාවී = බිය දකින්නේ සමාදාය = මනාව රැගෙන = සික්‍ඛස්සු සික්‍ඛා පදෙසු = ශික්ෂා පදයන් හි ඒ ඒ ශික්ෂා පදය සමාදන් වී, යම් කිසි ශික්ෂාපදයන්හි ශික්ෂා කොට්ඨාශයන්හි ශික්ෂණය ලැබිය යුතු වේ. කායික වූ හෝ වාචසික වූ ඒ සියල්ල සමාදන් වී හික්මෙනු යන මෙය මෙහි සංක්ෂේප හැඳින්වීමයි. විස්තරය වනාහී විශුද්ධි මාර්ගයෙහි කියන ලදී. මෙසේ මේ සූත්‍රයෙහි දී ප්‍රාතිමෝක්ෂ සංවර සීලයට කියන ලදී.
7. දුච්චරිත සූත්‍ර වර්ණනාව
සත්වැන්නෙහි - කාය සුචරිත වචී සුචරිතයන් ප්‍රාතිමෝක්ෂ සංවර සීලයයි. මනෝ සුචරිතය ඉතිරි සිල් තුනයි. මෙසේ චතුපාරිශුද්ධි ශීලය කියන ලද්දේ වෙයි. මේ පිළිවෙළින් “පපඤ්ච සුත්ත” යෙහි නවවැදෑරුම් කුශල කර්ම පථයන්හි අවසන් පථ තුන “සීලය” වේයයි දත යුතුය. සෙස පහසුවන්නේමය.
පස්වන අමත වර්ගය නිමි.
සතිපට්ඨාන සංයුත්තය සමාප්තයි.
4. ඉන්ද්‍රිය සංයුක්තය
1. සුද්ධික වර්ගය
1. සුද්ධික සූත්‍ර වර්ණනාව
ඉන්‍ද්‍රිය සංයුත්තයේ පළමුවැන්නෙහි - සද්ධින්‍ද්‍රියං සතින්‍ද්‍රියං පඤ්ඤින්‍ද්‍රියං = මේ තුන චාතුර්භූමික කුසල විපාකයන්හිදී ද, ක්‍රියාවන්හිදී ද ලැබේ. විරිය ඉන්‍ද්‍රිය, සමාධි ඉන්‍ද්‍රිය යන මේවා චාතුර්භූමික කුසල්හිදී ද, අකුසල විපාකයෙහිදී ද, ක්‍රියාවෙහිදීද යන සියලු තැන්හිදී ලැබේ. මෙසේ මේ සූත්‍රය චාතුර්භූමික වූ සියල්ල සංග්‍රහ කෙරෙන ධර්ම කොට්ඨාශයක් වශයෙන් කියන ලද්දේයයි දත යුතුය.
7. දුතිය සමණ සූත්‍ර වර්ණනාව
සත්වැන්නෙහි - සද්ධින්‍ද්‍රියං නප්පජානන්ති = සමුදය සත්‍යය වශයෙන් ද, මෙසේම නිරෝධය නිරෝධ සත්‍යය වශයෙන් ද, ප්‍රතිපදාව මාර්ග සත්‍යය වශයෙන් ද නො දනියි. සෙස්සෙහි ද මේ පිළිවෙළ ම වේ.
ශුක්ල පක්ෂයෙහි වනාහී නිශ්චය වශයෙන් ම මෙනෙහි කිරීමේ හේතුවෙන් ශ්‍රද්ධා ඉන්‍ද්‍රියයේ හටගැන්ම සිදුවෙයි. උත්සාහ කිරීම් වශයෙන් මෙනෙහි කිරීමේ හේතුවෙන් වීර්ය ඉන්‍ද්‍රියයේ හට ගැන්ම සිදු වෙයි. වටහා ගැනීම් වශයෙන් මෙනෙහි කිරීමේ හේතුවෙන් සති ඉන්‍ද්‍රියයේ හට ගැනීම සිදු වෙයි. වික්ෂිප්ත නොවීම් වශයෙන් මෙනෙහි කිරිමේ හේතුවෙන් සමාධි ඉන්‍ද්‍රියයේ හට ගැනීම සිදු වෙයි. දර්ශන වශයෙන් මෙනෙහි කිරීමේ හේතුවෙන් ප්‍රඥා ඉන්‍ද්‍රියයේ හට ගැනීම සිදු වෙයි. එසේ ම ඡන්ද වශයෙන් මෙනෙහි කිරීමේ හේතුවෙන් ශ්‍රද්ධා ඉන්‍ද්‍රියයේ හට ගැනීම සිදුවෙයි. ඡන්‍ද වශයෙන් මෙනෙහි කිරීමේ හේතුවෙන් විරිය සති සමාධි පඤ්ඤා ඉන්‍ද්‍රියයන්ගේ හට ගැනීම සිදු වෙයි. මනසිකාර වශයෙන් මෙනෙහි කිරීමේ හේතුවෙන් විරිය සති සමාධි පඤ්ඤා ඉන්‍ද්‍රියයන්ගේ හට ගැනීම සිදු වෙයි යනුවෙන් මේ අයුරින් ද අර්ථ දැක්විය යුතු වේ. පිළිවෙළින් මේ සූත්‍ර සතෙහිදී චතුරාර්ය සත්‍යය ම කියන ලදී.