1-2. සීල ආදි සූත්ර වර්ණනා
තුන්වන වර්ගයේ පළමු වැනෙහි - සීලානි = (පාතිමොක්ඛ සංවර, ඉන්ද්රිය සංවර, ආජීව පාරිසුද්ධි, පච්චය සන්නිස්සිත යන) චතුපාරි සුද්ධි සීලයන් උම්මග්ගො = ප්රඥා වේ මාර්ගය ප්රඥාව ගවේෂණය කිරීම.
3-5. පරිහාන ආදි සූත්ර වර්ණනා
තුන්වැන්නෙහි - පරිහානං හොති = පුද්ගල වශයෙන් පිරිහීම සිදු වෙයි. යමකු බුදුන් ජීවමාන කල්හිදු සතර සතිපට්ඨානයන් නොවඩන්නේ ද, ඔහුට සද්ධර්මය අතුරුදන් වූවාක් මෙන් වෙයි. දෙව්දත් ආදීනට මෙනි. මෙසේ මේ සූත්රයෙහිදී ඒ පුද්ගලයාගේම ධර්මාන්තර්ධානය කියන ලදී. සතර පස්වන කොටස්හි සියල්ල පහසු වන්නේය.
6. පදෙස සූත්ර වර්ණනාව
සය වැන්නෙහි - පදෙසං භාවිතත්තා = කොටසක් දියුණු කරන ලදී. මාර්ග සතර ද, ඵල තුනක් ද උපදවන්නහු විසින් සතිපට්ඨාන කොටසක් වඩන ලද්දේ නම් වෙයි.
7. සමත්ත සූත්ර වර්ණනාව
සත් වැන්නෙහි - සමත්තං භාවිතත්තා = සියල්ල වඩන ලදී. අර්හත් ඵලය උපදවන්නහු විසින් සියලු සතිපට්ඨානයන් වඩන ලද්දේ නම් වෙයි.
8-10. ලොක ආදි සූත්ර වර්ණනා
අට වැන්නෙහි - මහාභිඤ්ඤාණං = අභිඥා සය වශයෙන් කියන ලදී. සහස්සලොකං අභිජානාමි = නිත්ය විහරණය දැක්වීම වශයෙන්ම මෙය කියන ලදී. තෙරුන් වහන්සේ වනාහී උදෑසනම නැඟිට මුව දොවා සෙනසුනෙහි හුන්නේ අතීතයෙහි කල්ප දස දහසක් ද, අනාගතයෙහි කල්ප දස දහසක් ද සිහි කරයි. වර්තමානයෙහි ද සක්වල දහසක් සිතින් විමසා බලන උන්වහන්සේගේ මෙම ස්වභාවය නො කඩවා පවත්වයි. මෙසේ දිව ඇසින් ලෝක දහසක් පිළිබඳව දැන ගණියි. මෙය උන්වහන්සේගේ නිත්ය විහරණයයි. සෙස සියලු තන්හි පහසු අරුත් ඇත්තේමය.
තුන් වන සීලට්ඨිති වර්ගය නිමි.
4. අනනුස්සුත වර්ගය
5. සතෝ සූත්ර වර්ණනාව
සිවුවන වර්ගයේ පස්වැන්නෙහි - විදිතා වෙදනා = යම් කිසි වින්දනයක් විමසා බලා රහත් බවට පැමිණියේ ද, ඒ තාක් ඔහුට වින්දනය උපදී. වින්දනය (ඔහු කරා) එළඹේ, වින්දනය නිමාවට පත් වන්නේ ද වෙයි. ග්රහණය කරගත් වස්තූන් පිළිබඳ වූ අරමුණු කෙරෙහි යම්තාක් වින්දනය පවතී ද ඒ තාක් වින්දනය උපදී, වින්දනය එළඹේ, වින්දනය නිමාවට පත්වන්නේද වෙයි. විතර්ක ආදියෙහිදී ද මේ පිළිවෙළට වේ. සෙස්ස සියලු තන්හි පහසු අරුත් ඇත්තේ වෙයි.
සිවුවන අනනුස්සුත වර්ගය නිමි.
5. අමත වර්ගය
2. සමුදය සූත්ර වර්ණනාව
පස්වන වර්ගයේ දෙවැන්නෙහි - ආහාර සමුද්දයා කාය සමුද්දයො - ආහාරයේ හේතුවෙන් කය හටගනී. සෙසු තන්හි ද මේ පිළිවෙළම වේ. මනසිකාර සමුදයා = මෙහිදී නුවණින් මෙනෙහි කිරීමේ (යොනිසො මනසිකාර) හේතුවෙන් බොජ්ඣඞ්ග ධර්මයන්ගේ හට ගැනීමද නුවණින් මෙනෙහි නො කිරීමේ හේතුවෙන් නීවරණ ධර්මයන්ගේ හට ගැනීම ද සිදුවෙයි. යනුවෙන් මෙසේ මේ සූත්රයෙහි අරමුණු පිළිබඳව සිහිය පැවැත්වීම් (ආරම්මණ සතිපට්ඨාන) ගැන කියන ලදී.
4. සතො සූත්ර වර්ණනාව
සිවු වැන්නෙහි - පිරිසිදු කොට හට ගැනීම (සමුදය) ගැන කියනු ලැබීමේදී අවබෝධ කරගන්නවුන්ගේ අදහසින් කියන ලදී.
6. පාතිමොක්ඛ සූත්ර වර්ණනාව
සය වැන්නෙහි - පාතිමොක්ඛ සංවර සංවුතො = සතර (සංවර) සීලයන්ගේ ප්රධාන සීලය දක්වමින් මෙසේ කීය. ත්රිපිටක චූළනාග ස්ථවිර තෙමේ “ප්රාතිමෝක්ෂ සංවරය පමණක්ම සීලයයයි ද, (ඉන්ද්රිය සංවර, ආජීව පාරිසුද්ධි, පච්චය සන්නිස්සිත යන) ඉතිරි තුන “සීල” යනුවෙන් කියන ලද තැනක් නම් නැත්තේ යයි ද කීය. එසේ කියා (ඒ තුන සීලයන්ය යන බව) අනුමත නොකරමින්ම (මෙසේ) කීය. ඉන්ද්රිය සංවරය යනු දොරටු සය රැක ගැනීම පමණක්මය, ආජීව පාරිසුද්ධිය යනු ධාර්මිකවම සිවු පසය උපදවා ගැනීම පමණක්මය. ප්රත්ය සන්නිශ්රිතය යනු ලැබුණ ප්රත්යයන්හි ප්රයෝජනය මේ යයි නුවණින් සලකා බලා පරිභෝග කිරීම පමණක්මය. වෙනත් සීලයන් හා සමාන බවකින් තොරව ප්රාතිමෝක්ෂ සංවරයම පමණක් සීලය වෙයි. යමකුගේ ඒ සීලය බිඳුනේ නම් හිස සිඳුනාක් වැනි මේ පුරුෂයා සෙසු අත් පා රැකගනු ඇතැයි කිව යුත්තේ නොවේ. යමකුගේ හිස නීරෝගීව පවතී ද, නො සිඳුණ හිස ඇති මේ පුරුෂයා සෙසු දෙය ද ප්රකෘති තත්ත්වයට පත් කොට ජීවිතය ආරක්ෂා කර ගැනීමට ද සමත් වේ. ඒ නිසා ප්රාතිමෝක්ෂ සංවරයම සීලය වෙයි. එබැවින් ප්රාතිමෝක්ෂ සංවරයෙන් සංවර කරන ලද්දේය යන අදහසින් “පාතිමොක්ඛ සංවර සංවුතො” යයි කියනු ලැබේ. (සීලයට) පැමිණියේය, (සීලයෙන්) යුක්ත වූයේය” යන අර්ථය වේ.