6. අභිසමය වර්ගය
අභිසමය වග්ගය නිදාන වග්ගයෙහි අභිසමය සංයුත්තයෙහි විස්තර කරන ලද්දේමය.
7. ආමකධඤ්ඤපෙය්යාල වර්ගය
3. පඤ්ඤා සූත්ර වර්ණනාව
ආමක ධඤ්ඤ පෙය්යාලයෙහි - අරියෙන ඤාණචක්ඛුනා = විදර්ශනාව ආදි කොට ඇති ලෞකික ලෝකෝත්තර නුවණ නමැති ඇසින්
4. සුරාමෙරය සූත්ර වර්ණනාව
සුරාමේරය මජ්ජ පමාදට්ඨානා පටිවිරතා = මෙහි දී “සුරා” යනු පිටිවලින් තැනූ සුරා. බත්වලින් තැනූ සුරා, කැවුම් ආදී කැවිලිවලින් තැනූ සුරා, අනියමින් ලැබුණ දෙයක් යොදා තැනූ සුරා, බොහෝ ද්රව්යයන් යොදා තැනූ සුරා යනුවෙන් පංචවිධ වේ. “මෙරය” නම් මල්වලින් තනන මද්ය හා ගෙඩි වර්ගවලින් තනන මද්ය යනුවෙන් කියන ලද යම්කිසි ආසවයක් (පැසවූ දෙයක්) වේ. “මජ්ජං” යනු සුරා හා ආසව යන මේ දෙකම ද නොවන එහෙත් මත් බව ඇති කරවන දේවල්ය. යම් චේතනාවකින් එය පානය කරත්ද ඒ ක්රියාව ප්රමාදයට කරුණු වන බැවින් “පමාදට්ඨාන” නම් වේ. එයින් වෙන්වූවාහු යනු මෙහි අරුතයි.
6-7. මත්තෙය්ය ආදි සූත්ර වර්ණනා
මත්තෙය්ය = මවට හිතවත් වූ. මව කෙරෙහි මනාව පිළිපන්න වූ යන අර්ථයයි. “පෙත්තෙය්ය” යන ආදී තැන්හි පියාට හිතවත් යනු පෙත්තෙය්ය නම් වේ.
8-9. සාමඤ්ඤ ආදි සූත්ර වර්ණනා
ශ්රමණයන් වහන්සේට හිතවත් අය (යන අදහස දෙන වචනය) සාමඤ්ඤා වේ. බ්රාහ්මණයන් හට හිතවත් අය (යන අදහස දෙන වචනය) බ්රහ්මඤ්ඤා වේ. ඒ ඒ අය කෙරෙහි මනාව පිළිපදින්නන්හටම මෙය තවත් වචනයක් වේ.
10. අපචායී සූත්ර වර්ණනාව
කුලෙ ජෙට්ඨාපචායිනො = පවුලේ ජ්යෙෂ්ඨයාට ගරු සත්කාර කරන, ඔහු කෙරෙහි යටත්ව හැසිරෙන යන අර්ථයයි.
8. දුතිය ආමකධඤ්ඤපෙය්යාල
8. බීජගාම සූත්ර වර්ණනාව
බීජගාම භූතගාම සමාරම්භ = මුල්වලින් පැලවන දෙය, කඳෙන් පැලවන දෙය, පුරුකෙන් පැලවන දෙය, මුදුනෙන් පැලවන දෙය, ඇටවලින් පැලවන දෙය යන පස්වැදෑරුම් වූ පැලවන දේවල්හිද, යම් කිසි නිල් තණ, වෘක්ෂ ආදියෙහි ද රෝපණය වීමේ සිටම කැඩීම්, දැවීම් ආදියෙන් වෙනසකට පත් කිරීමෙන් තොරවූ යන අරුතයි.
9. විකාලභොජන සූත්ර වර්ණනාව
විකාල භෝජනා = කල් ඉකුත් වූ පසු ආහාර වැළඳීම. මධ්යාහ්නය ඉක්ම ගිය තැන් පටන් (පසු දින) අහර වැළඳිය යුතු කාලය දක්වා යන අදහස වේ.
10. විලෙපන සූත්ර වර්ණනාව
මාලාදිසුමාලා = යම් කිසි මලක් ගන්ධං = යම්කිසි සුවඳ වර්ගයක් විලෙපනං = සම පාට කිරීමයි. එහි දී පැළඳීමක් බැවින් “ධාරෙන්ති” (දරන්නෝය) නම් ද, අඩුතැන් පිරවීමක් බැවින් “මණ්ඩෙන්ති “ (සරසන්නෝය නම් ද, සුවඳ ගැල්වීම් වශයෙන් හා සම වර්ණ ගැන්වීම් වශයෙන් දරාගැනීමක් බැවින් “විභූසෙන්ති” (පළඳිත්) නම් ද වේ. මහජනයා යම් බඳු දුසිල් සිතුවිල්ලකින් පෙර කී මල් දැරීම් ආදිය සිදු කරත් ද, (භික්ෂූහු) ඉන් ඉවත් වූවාහු යන අදහසයි.
9. තතිය ආමකධඤ්ඤ පෙය්යාල වර්ගය
1. නච්චගීත සූත්ර වර්ණනාව
සසුනට නොසුදුසු බැවින් විකාර චිත්ර ආදිය දැකීම “විසූක දස්සන” යයි තමාම නැටීම හෝ නැටවීම ආදී වශයෙන් නැටීම් ද, ගී ගැයීම් ද, වාදනය කිරීම් ද ප්රියජනක වූ මොණර නැටුම් ආදී වශයෙන් ද පවත්වනු ලබන නැටුම් ආදියේ විසුළු සහිත වූ දර්ශනයන්ය යන අදහසින් නච්චගීත වාදිත විසූක දස්සනා (යි යෙදේ) තමාම නැටුම් හි යෙදීම හෝ අනුන් නැටුම්හි යෙදවීම හෝ (අනුන් විසින්) යොදවනු ලැබූ නැටුම් දැකීම හෝ භික්ෂූන් හට ද, භික්ෂූණීන් හට ද සුදුසු නොවේ.
2. උච්චාසයන සූත්ර වර්ණනාව
උච්චා සයනං = යනු කැප නො වන ඇතිරිලි සහිත. ප්රමාණය ඉක්මවූ පහසුකම් සහිත ආසනය කියනු ලැබේ. (භික්ෂූහු) එයින් වෙන් වූවාහු යන අර්ථයයි.
3. ජාතරූප සූත්ර වර්ණනාව
ජාත රූපං = රන් රජතං කහවණු - ලොහ මාසකය, ඡතු මාසකය යනුවෙන් යම් කහවණුවක් ව්යවහාරයට යෙත් ද, ඒ දෙවර්ගයම පිළිගැනීමෙන් (භික්ෂූහු) වැළකුණාහුය. ඒවා අතට) නොගණිත්, අනුන් ලවා ද නොගන්වත්. තමා වෙත තබන ලද්දේ වුවද නො පිළි ගණිත් යන අදහසයි.
4. ආමකධඤ්ඤ සූත්ර වර්ණනාව
ආමක ධඤ්ඤ පටිග්ගහණා ඇල් වී, වී, යව (බාර්ලි) ගොධුම (තිරිඟු) කඩල (තණ හාල්) වරක (මෙනේරි), කුද්රෑසක (කුරහන්) යන ආදී වශයෙන් වර්ග සතක් වන නො පිසූ ධාන්ය පිළිගැනීමෙන් භික්ෂූහු වැළකී සිටිති. හුදෙක් ඒවා පිළිගැනීම පමණක් නොව, ඇල්මෙන් යුතුව ඒවා ස්පර්ශ කිරීම ද භික්ෂූන්හට සුදුසු නොවේමය.
5. ආමකමංස සූත්ර වර්ණනාව
ආමක මංස පටිග්ගහණා = තමන් උදෙසා හෝ තම අනුමතිය ඇතිව හෝ සැකසූ අමු මස් මාලු පිළිගැනීමම භික්ෂූන් හට නො සුදුසුය. ඇල්මෙන් යුතුව ඒවා අතපත ගෑම ද නො සුදුසුය.
6. කුමාරික සූත්ර වර්ණනාව
ඉත්ථි කුමාරික පටිග්ගහණා මෙහි ඉත්ථි යනු පුරුෂයන්හට අයත් කාන්තාවෝය. අන් කාන්තාවෝ කුමාරිකාවෝ නම් වෙති. ඒ කාන්තාවන් පිළිගැනීම ද, ඇල්මෙන් ස්පර්ෂ කිරීම භික්ෂූට කැප නොවේමය.
7. දාසිදාස සූත්ර වර්ණනාව
දාසි දාස පටිග්ගහණා දැසි දසුන් වශයෙන් ඔවුන් පිළිගැනීම නො සුදුසුය. කැපකරුවකු හෝ ආරාමිකයකු දෙමි යයි කී කල්හි වනාහී (පිළිගැනීම) සුදුසු වේ.
10. චතුත්ථ ආමකධඤ්ඤපෙය්යාල වර්ගය
1. ඛෙත්තවත්ථු සූත්ර වර්ණනාව
අජෙළකාදීසු = කෙත්වතු පිළිබඳව කැපය අකැපය යන පිළිවෙළ විනයට අනුව විමසා බැලිය යුතුය. එහි “ඛෙත්තං” නම් වී වැනි ධාන්ය වැවෙන බිමයි. “වත්ථු” නම් මුං වැනි ධාන්ය වැවෙන බිමයි. යම් තැනෙක ඒ දෙවර්ගයම වැවේ ද එය ද ඛෙත්ත වත්ථු (කෙත්වත්) නම් මාතෘකාවෙන් මෙහිදී වැව් විල් ආදිය ද එක් කොට සැලකිල්ලට ගන්නා ලදී.
2. කයවික්කය සූත්ර වර්ණනාව
කය වික්කය = මිලයට ගැනීමෙන් හා විකිණීමෙන් දුතෙය්යං යනුවෙන් ගිහියන්ගේ පණිවුඩ හෝ හසුන්පත් රැගෙන ඒ ඒ තැන්හි යන දූත ක්රියාව ගැන කියනු ලැබේ. පහෙණගමනං යනුවෙන් ගෙයින් ගෙට පණිවුඩ යවන කෙටි ගමන් කියනු ලැබේ. අනුයොගො නම් පෙර කී කාර්යයන් දෙකම සිදු කිරීමයි. එහෙයින් දුතෙය්ය, පහෙණ ගමනයන්හි යෙදීමය යන මෙය මෙහි අර්ථය යයි දත යුතුය.
4-6. තුලාකූටාදි සූත්ර වර්ණනා
තුලාකූටා දීසු = කූට නම් වංචා කිරීමයි. මෙහිදී “තුලා කූටං” යනු රූපකූට. කංසකූට. ගහණ කූට, පටිච්ඡානන කූට යයි චතුර්විධ වේ. එහි රූප කූට නම් මෙසේය - තරාදි තැටි දෙක සමාන සේ පෙන්වා, බඩු මිළයට ගන්නාවූ වෙළෙන්දා ලොකු තැටියෙන් බඩු ගනියි, පොඩි තැටියෙන් විකුණයි. “කංස කූට” නම් මෙසේය. - තුලාවෙන් බඩු ගන්නා වෙළෙන්දා ගැනීමේදී තුලාවේ පසු කොටස අතින් තද කරයි. බඩු විකිණීමේදී තුලාවේ පෙර කොටස අතින් තද කරයි. “ගහණ කූට” නම් මෙසේය :- මිනුම් පටියෙන් මැන බඩු ගන්නා වෙළෙන්දා ගැනීමේදී මිනුම් පටියේ මුලින් අල්ලයි, විකිණීමේදී එය පසුපසට කරයි. බඩු විකිණීමේදී එය පෙරට කරයි.