3. දණ්ඩ සූත්‍ර වර්ණනාව
තුන්වැන්නෙහි - අස්මා ලොකා පරං ලොකං (මනුෂ්‍යයෝ) මේ මිනිස් ලොවින් මත්තෙහි නිරයට ද, තිරිසන් යෝනියට ද, ප්‍රේත ලෝකයට ද, මිනිස් ලොවට ද, දෙව්ලොවට ද යන්නාහුය. නැවත නැවත සසරෙහිම උපදින්නාහුය යන අර්ථයයි.
5. සත්තිසත සූත්‍ර වර්ණනාව
පස්වැන්නෙහි - එවඤ්චෙ තං භික්‍ඛවෙ අස්ස මහණෙනි, ඉදින් මෙය මෙසේ සිදු වන්නේ නම් යනුයි. නිරතුරුව ශක්තිය පිළිබඳ සිහියෙන් යුතුව කථා කරන්නහුට දුක් දොම්නස් සමගම මේ සත්‍යාවබෝධය සිදු වන්නේ නම් යන අර්ථයයි.
9. ඉන්දඛීල සූත්‍ර වර්ණනාව
නවවැන්නෙහි - මුඛං ඔලොකෙන්ති = අදහස දෙස බලත් මෙහිදී අදහස (අජ්ඣාසය) යන්න මුඛය යයි අදහස් කෙරේ.
10. වාද සූත්‍ර වර්ණනාව
දසවැන්නෙහි - සිලායවුපො = ගල්ටැඹක් සොළසකුක්කුකො = සොළොස් රියනක් “සොළස කුක්කු” යි ද පාඨයක් වේ. හෙට්ඨානෙමඞ්ගමා = යට පිහිටි ආවාටයට පිවිසියාහු අට්ඨ කුක්කුඋපරි නෙ මස්ස = රියන් අටක් වූ ආවාටයේ මතුයෙහි උඩට මතු වී සිටියාහු වන්නෝය. භුසා = බලවත්වූ සෙස්ස සියලු තැන්හි පහසු වේ.
සිවුවන සිංසපා වර්ගය නිමි.
5. පපාත වර්ගය
1. චින්තා සූත්‍ර වර්ණනාව
පස්වන වර්ගයේ පළමුවැන්නෙහි - සුමාගාධාය පොක්‍ඛරණීයා = මෙම නම ඇති පොකුණෙහි ලොක චින්තං චින්තෙන්තො = සඳ හිරු සාදන ලද්දේ කවරකු විසින්ද (නොහොත් කුමකින්ද) මහ පොළව සාදන ලද්දේ කවරකු විසින් ද (නොහොත් කුමකින්ද) මහ සමුදුර සාදන ලද්දේ කවරකු විසින්ද (නොහොත් කුමකින්ද) සත්ත්වයෝ කවරකු විසින් පහළ කරනු ලැබුවාහුද (නොහොත් කුමන හේතුවකින්ද) පර්වත සාදන ලද්දේ කවරකු විසින් ද? (නොහොත් කුමකින්ද) අඹ තල් පොල් ආදිය සාදන ලද්දේ කවරකු විසින්ද (නොහොත් කුමකින්ද) ලෝකය පිළිබඳ මෙබඳු සිතුවිලි සිතමින් හුන්නේය.
විචෙකො = සිතුවිලි වලින් තොරවූයේ හෝ අවුල් වූ සිත් ඇත්තේ භුතං යෙව අද්දසා “ඒ පුරුෂයා ඇත් අස් ආදීන් මතට නගින කල්හි අහසට නැගී නෙළුම් අලවල හා දඬුවල සිදුරුවලින් පිවිසෙන අයුරක් පෙනේවා”යි ඒ අසුරයෝ පෙර ලා අධිෂ්ඨාන කළහ. ඒ සඳහා ශාස්තෲන් වහන්සේ “භූතං යෙව අද්දසා” යන ආදිය වදාළහ. දෙවානං යෙව මොහය මානා = දෙවියන්ගේ සිත මුලා කරවන්නාහු තස්මා = ලෝකයේ නිර්මාණය ආදිය පිළිබඳව සිතන පුද්ගලයා ඒ නිසා උමතු වූවෙක් හෝ වෙයි.
2. පපාත සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි - පටිභාණ කූටො = එක්තරා මහත් වූ පර්වතයක් වැනි වූ මායිම් ගලක් වෙයි. තුන්වැන්නෙහි - අනිට්ඨ රූපං යනු ප්‍රිය නොවන ස්වභාවයයි.
4. කූටාගාර සූත්‍ර වර්ණනාව
සිවුවැන්නෙහි - හෙට්ඨි මං ඝරං අකරිත්‍වා = කණු, බිත්ති, අත්තිවාරම් උස් කිරීම් ආදියෙන් ගෘහයෙහි යට කොටස සකස් කොට.
5. වාල සූත්‍ර වර්ණනාව
පස්වැන්නෙහි - සන්‍ථාගාරෙ - ශිල්ප ඉගෙන ගන්නා ශාලාවෙහි උපාසනං කරොන්තෙ = ඊතල ඈතට විදීමේ ශිල්පය පුහුණුවන්නන් අසතං අති පාතෙන්තෙ = ඊතල ඈතට විදිනාවුන් පොඞ්ඛානු පොඞ්ඛං = එක් ඊතලයක් විද එහි පසු කෙළවරට (දෙවන ඊයක්) විදියි ද, දෙවන ඊතලයේ පසු කෙළවරට නැවත තවත් ඊයක් ද, නැවත එහි ද පසු කෙළවරට තවත් ඊයක් ද යනුවෙන් මෙසේ විදින්නවුන් දුටුවේය. යත්‍රහිනාම = යම් අය විසින් දුරභිසම්භව තරං = වඩා දුෂ්කර වූ සත්තධා භින්නස්ස වාළස්ස කොටියා කොටිං පටි විජ්ඣෙය්‍ය = එක් අස් ලොමක් සතට පලා ඉන් එකක් ගෙන බටු ගෙඩියක් මැදින් බැඳ පැලූ තවත් ලොම් තීරුවක් ඊතලයේ අග කෙළවරහි බැඳ උසභයෙක (රියන් 140ක) දුර සිට ඊතලයෙහි බඳින ලද කෙළවරින් බටු ගෙඩිය බඳින ලද ලොම් ගස් කෙළවරට විදින්නේය යන අර්ථයයි. තස්මා = යම් හෙයකින් මෙසේ අවබෝධ කිරීමට අපහසු චතුරාර්ය සත්‍යයන් අවබෝධ කරන ලද්දේද, එහෙයිනි.
7. ඡිග්ගල සූත්‍ර වර්ණනාව
සත්වැන්නෙහි - අඤ්ඤමඤ්ඤඛාදිකා = එකිනෙකා කා දැමීම දුබ්බලඛාදිකා = බලවත් මත්ස්‍ය ආදීන් විසින් දුර්වල මත්ස්‍ය ආදීන් කෑම.
8. දුතියඡිග්ගල සූත්‍ර වර්ණනාව
අටවැන්නෙහි - මහා පඨවි = සක්වළ අතරෙහි ඇති මහ පොළව අධිච්ච මිදං සන්තෙ = අහඹුවෙන් ලැබුණ එම විය දඬුව ඉදින් දිරාපත් නොවන්නේ ද සමුද්‍රයෙහි ජලය නොවියලෙන්නේද, ඒ කැසුබුවා නො මැරෙන්නේ ද එසේවුව ද එය කලාතුරකින් සිදු වන්නේය යන අර්ථයයි.
මෙසේ අධිච්ච මිදං භික්‍ඛවෙ යන මෙහිදී මහාසීව ස්ථවිර තෙමේ වියදඬු සතරක් දක්වයි. පෙරදිග සක්වළ මුව විටෙහි සිටි පුරුෂයකු දක්වයි. පෙරදිග සක්වළ මුව විටෙහි සිටි පුරුෂයකු විසින් (මුහුදට) දමන ලද විය දඬුවක සිදුරෙන් ඒ අන්ධ කැසුබුවාගේ ගෙල ඇතුල් වීම මෙන්ම මිනිස් බව ලැබීම ද අපහසුය. දකුණු සක්වළ මුව විටෙහි සිටි පුරුෂයකු විසින් දමන ලද විය දඬුවක් පාවෙමින් තිබුණ පළමු විය දඬුවෙහි සිදුර මත සිදුර සිටින සේ පිහිටා ඒ සිදුරෙන් අහඹුයෙන් කැසුබු ගෙල ඇතුල්වුවහොත් මෙන් තථාගතයන් වහන්සේ කෙනකුගේ පහළ වීම ද කලාතුරකින් සිදු වන්නකි. අපරදිග සක්වළ මුව විටෙහි සිටි පුරුෂයකු විසින් දමන ලද විය දඬුවක් පෙර තිබූ විය දඬු යුගලය මතට පැමිණ සිදුරමත සිදුර සිදුර සිටින සේ පිහිටිය හොත් ඒ සිදුරෙන් කැසුබු ගෙල අහඹුවෙන් හෝ ඇතුල් වේද, එමෙන්ම තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද ධර්ම විනය මනාව පවත්නා කාලයක් වීම ද ඉතා කලාතුරකින් සිදු වන්නකි. උතුරු දිග සක්වළ මුව විටෙහි සිටි පුරුෂයකු විසින් දමන ලද විය දඬුවක් කැරකෙමින් තිබු පෙර වියදඬු තුන මතට පැමිණ සිදුරු මත සිදුර සිටින සේ පිහිටියහොත් ඒ සිදුරෙන් කැසුබු ගෙල අහඹුයෙන් ඇතුල්වේද එමෙන්ම චතුරාර්ය සත්‍යය අවබෝධය ද ඉතාම කලාතුරකින් සිදුවන්නක් බව දත යුතුය. නවවැන්න ආදිය අභිසමය සංයුත්තයෙහි කියන ලද පිළිවෙළින්ම වේ.