2. දුතිය අසඞේඛය්‍ය සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි - යත්‍ථිමා මහානදියො සංසන්‍දන්ති සමෙන්ති = (ඉවුරු ආදී) යමක් බිඳුන කල්හි මේ මහා ගංගාවෝ එකතු වෙත් ද, අතරක් නැතිව පවතිත් ද යන අරුතයි.
3. තතිය අසඞේඛය්‍ය සූත්‍ර වර්ණනාව
තෙවැන්නෙහි - පුඤ්ඤකාමො = පින් බලාපොරොත්තු වන තැනැත්තා. කුසලෙ පතිට්ඨිතො = මාර්ග කුශලයෙහි පිහිටියේ. භාවෙති මග්ගං අමතස්ස පත්තියා = නිවනට පැමිණීම පිණිස රහත් මඟ වඩයි. ධම්ම සාරාධිගමො = ධම්ම සාර යනුවෙන් ආර්ය ඵලය වූ ධර්මයෙහි සාරය කියනු ලැබේ. එය අවබෝධ වේය යන අදහසින් ධම්ම සාරාධිගම යයි යෙදේ. අවබෝධ කර ගත් (මාර්ග) ඵල ඇත්තේ යන අදහසයි. ඛයෙරතො = කෙලෙස් ක්ෂය කිරීමෙහි ඇලුණේ.
4. අඩ්ඪ සූත්‍ර වර්ණනාව
සිවු වැන්නෙහි - අචෙථා මහද්ධනො = සත්වැදැරුම් ආර්ය ධනයෙන් ආඪ්‍යවූයේ ද, මහත් ධනය ඇත්තේ ද වෙයි. එයින්ම හටගත් සම්පත් නිසා “මහා භොග” නම් වේ. සෙස්ස සියළු තැන්හි පහසු වේ.
පස්වන සගාථක පුඤ්ඤාති සන්‍ද වග්ගය නිමි.
6. සප්පඤ්ඤ වර්ගය
2. වස්සංවුත්ථ සූත්‍ර වර්ණනාව
සයවන වග්ගයේ දෙවැන්නෙහි අදහස මෙසේ වේ. සෝවාන් වූ භික්ෂුව මෙතෙකින් අවසානයට නොපැමිණ එම ඉන්‍ද්‍රිය ශක්තීන් ද, බෝධ්‍යංගයන් ද ගලපා විදර්ශනා වඩා සකෘදාගාමී මාර්ගයට පැමිණෙයි. සකෘදාගාමී වූ භික්ෂුව අනාගාමී මාර්ගයටද, අනාගාමී වූ භික්ෂුව අර්හත් මාර්ගයට ද පැමිණේ. මේ අදහස සඳහා භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රයෙහිදී සස්නෙහි අනුපිළිවෙළ ද ප්‍රවේණිය ද දේශනා කරන ලදී.
3. ධම්මදින්න සූත්‍ර වර්ණනාව
තුන් වැන්නෙහි - ධම්ම දින්නො = සත් දෙනාගෙන් එක් අයෙකි. බුද්ධ කාලයෙහි ධම්ම දින්න උපාසකය, විසාඛ උපාසකය, උග්ග නම් ගෘහපතිය, චිත්ත නම් ගෘහපතිය, හත්‍ථක ආලවකය, චුල්ල අනාථ පිණ්ඩිකය, මහා අනාථ පිණ්ඩිකය යන මේ සත් දෙනා උපාසකවරුන් පන්සියය බැගින් පිරිවර ඇත්තෝ වූහ. මේ (ධම්ම දින්න උපාසක) තෙමේ ඒ සත් දෙනා අතරෙහි එක් අයෙකි.
ගම්භීරා = ධර්ම ගම්භීරතාවයෙන් යුත් “සලල සූත්‍ර” ආදිය ගිභීරත්‍ථා = අර්ථ ගම්භීරතාවයෙන් යුත් “චේතනා සූත්‍ර” ආදිය ලොකුත්තරා = ලෝකෝත්තර අර්ථ දක්වන “අසංඛත සංයුත්ත” ආදිය සුඤ්ඤතා පටිසංයුත්තා = = ශුන්‍යතාවයන් සත දක්වන්නාවූ “ඛජ්ජනික සූත්‍රය” ආදිය උප සම්හච්ඡ විහරිස්සාම = ලබාගෙන වාසය කරන්නෙමු. එවංහි වො ධම්මදින්න සික්‍ඛිතබ්බං = මෙසේ චන්‍දොපම ප්‍රතිපදාව, රථ විනීත ප්‍රතිපදාව, මොනෙය්‍ය ප්‍රතිපදාව හා මහා අරියවංස ප්‍රතිපදාව (යන මේවා) පුරන්නාවූ ඔබ විසින් මෙසේ පුහුණු කළ යුතුය. මෙසේ ශාස්තෲන් වහන්සේ මේ උවසුවන් හට ලොකු වගකීමක් භාර කළහ. කුමක් හෙයින් මොහු තමාගේ තත්ත්වයෙහි සිට අවවාද නො ඉල්වූවෝ ද? විශේෂත්වයකින් තොරව සියලුම බර දැරීමට සමර්ථ වුවන් මෙන් ස්වාමීනි, අපට අවවාද දෙන සේක්වායි ඉල්ලා සිටියහ. එහෙයින් ශාස්තෲන් වහන්සේ ඔවුන් හට ලොකු වගකීමක් ආරෝපණය කරමින් මෙසේ වදාළහ. නඛොනෙතං = මෙය සිදු නො වේ. මෙහි “න” කාරය වනාහී ව්‍යඤ්ජන සන්‍ධි මාත්‍රයක් පමණක් යයි දත යුතුය. තස්මා = යම් හෙයකින් දැන් තමාගේ තත්ත්වයෙහි සිට අවවාද ඉල්ලන්නහුද, ඒ හේතුවෙනි.
4. ගිලාන සූත්‍ර වර්ණනාව
සිවු වැන්නෙහි - නඛො නෙතං = මෙය අප වෙත වූවක් නොවේ. සප්පඤ්ඤො උපාසකො = සෝවාන් වූයේ යයි අදහස් කරන ලදී. අස්සාස නියෙහි ධම්මෙහි = ආශ්වාසය ඇතිකරන්නාවූ කරුණුවලින් අස්ස සතායස්මා = ආයුෂ්මත් තෙමේ ආශ්වාස කෙරේවා මාරිසො = මරණය හා බැඳුනාවූ මරණ ධම්මො = මැරෙන ස්වභාවය අධිමොචෙහි = තබන්න. අධිමොචිතං = තබන ලද එවං විමුත්ත චිත්තස්ස = මෙසේ අර්හත් ඵල විමුක්තියෙන් මිදුනා වූ සිතට යදිදං විමුත්ති යා විමුත්තිං = යම් බඳු වූ මේ විමුක්තිය පිළිබඳව විමුක්තියේ විවිධත්වය කිවයුතු වන්නේ ද එහෙත් එය එසේ වේ යයි නො කියමි. භික්ෂු සංඝයාගේ වනාහී චෛත්‍ය මලු, බෝධිමලු ආදියේ වතාවත් ද, අසූවක්වූ ඛන්‍ධක වතාවත් ද යන ආගමණීය ගුණයන්හි ප්‍රමාණයක් නම් නැත්තේය. උපාසක හා භික්ෂු යන දෙපිරිස අතර අවබෝධ කළා වූ මාර්ගයෙහි හෝ ඵලයෙහි හෝ විවිධත්වයක් නැත.
9. පටිලාභ සූත්‍ර වර්ණනාව
නව වැන්නෙහි - පඤ්ඤාපටිලාභාය සංවත්තති = මෙහි ශෛක්ෂ්‍යයෝ සත් දෙනා ප්‍රඥාව ලබා ගන්නේ නම් වෙති. ක්ෂීණාශ්‍රව තෙමේ ලබාගන්නා ලද ප්‍රඥාව ඇත්තේ නම් වේයයි දත යුතුය. මින් බැහැර වූ පඤ්ඤාවූඩ්ඨියා යන ආදියෙහි ද මේ පිළිවෙළ ම වේ. සෙස්ස සියලු තැන්හි පහසු වේ.
සයවන සප්පඤ්ඤ වර්ගය නිමි.
7. මහාපඤ්ඤ වර්ගය
1. මහාපඤ්ඤ සූත්‍ර වර්ණනාව
සත්වැන්නෙහි - මහාපඤ්ඤතාය සංවත්තන්ති යන මේ ආදියෙහි දී උතුම් වූ අර්ථයන් සම්පූර්ණයෙන් ග්‍රහණය කරගනියි යන අදහසින් මහා පඤ්ඤා නම් වේය යනුවෙන් පටිසම්භිදාවෙහි කියන ලද පිළිවෙළින්ම සියලු පදයන්හි අර්ථ දැන ගත යුතුය. සෙස්ස සියලු තැන්හි පහසු වේ.
සත්වන මහා පඤ්ඤ වර්ගය නිමි.
සොතාපත්ති සංයුතය සමාප්තයි.
12. සච්ච සංයුක්තය
1. සමාධි වර්ගය
1. සමාධි සූත්‍ර වර්ණනාව
සච්ච සංයුත්තයේ පළමු වැන්නෙහි - සමාධිං භික්‍ඛවෙ = ඒ භික්ෂූහු සිතේ එකඟතාවය කෙරෙන් පිරිහෙත් එකල්හි ශාස්තෲන් වහන්සේ මේ භික්ෂූහු මෙසේ (පිළිපදිත හොත්) සිතේ එකඟ බව ලැබ කමටහන් වඩා උතුම් නිවනට පැමිණෙන්නාහුයයි (දැන) ඒ භික්ෂූන් හට මෙම දේශනාව දෙසීම ආරම්භ කළහ. තස්මා තිහ භික්ඛවෙ ඉදං දුක්‍ඛන්ති යොගො කරණීයො = මෙහිදී තත්වූ පරිද්දෙන් කරුණු වෙන්කර පෙන්වීම (පිළිබඳව) දත යුතුය. මෙසේ ද කියන ලද්දේ වෙයි - “මහණෙනි, යම්සේ සන්සුන් වූ සිත් ඇති භික්ෂුව ආර්ය සත්‍යයන් සතර තැන් වූ පරිදි දිනියිද, එසේ සන්සුන් වූ සිත් ඇති ඔබ විසින් ද චතුරාර්ය සත්‍යයන් තත් වූ පරිදි දැනගනු පිණිස මෙය දුකය යනුවෙන් භාවනාවෙහි යෙදීම කළ යුතුය. යම් හෙයකින් චතුස් සත්‍යයන් (පිළිබඳ දැනුම) තථාගතයන් වහන්සේ හටම පහළ වූයෙන් උන්වහන්සේට ම එය ප්‍රකට වේද, යම්සේ තථාගතයන් වහන්සේ විසින් මනාව බෙදා දක්වන ලද්දේ ද, යම් සේ (ඒ පිළිබඳව) අප්‍රමාණ වූ වර්ණනාවන් කරන ලද්දේද, අප්‍රමාණ වූ පදවලින් විස්තර කරන ලද්දේද, යම් හෙයකින් ඒ චතුස්සත්‍යයන් අවබෝධ නො කළ බැවින් සසර වර්ධනය වෙයිද, එය අවබෝධ කරගත් කල පටන් සසර වර්ධනය නොවෙයිද, එහෙයින් මෙසේ අපගේ සසර නො වැඩෙන්නේ යයි (දැන) ඔබ විසින් මෙය දුකයයි භාවනා කළ යුතුය”