අරිය කන්තෙහි = ආර්යයන් හට ප්රියවූ ද, මනාප වූ ද අයුරින්, වෙනත් භාවයකට ගියාවූ හෝ ආර්යයෝ පන්සිල් නම් කඩනොකරති. මෙසේ ඔවුන් (ආර්යයන්) හට ප්රිය වූ එම පන්සිල් සඳහාම කියන ලදී. අඛණ්ඩෙහි යනුවෙන් පෙර කී කරුණට සමාන යයි කියන ලදී. (බඳුනක) මුව ගැටියෙහි එක් තැනක් කැඩුණේ නම් “ඛණ්ඩ” යයි කියනු ලැබේ. මැද කැඩෙන්නේ නම් “ජිද්ද” යයි ද, එක් පෙදෙසක් කැඩුණේ නම් විවිධ වර්ණ සහිත ගව දෙනක සේ පෙනෙන බැවින් “සබල” යයි ද, විවිධ තැන්හි බින්දු අයුරින් විවිධාකාර ලෙස කැඩුනේ නම් “කම්මාස” යයි ද කියනු ලැබේ. මෙසේම පිළිවෙළින් මුල හෝ අග හෝ කැඩුණ සීලය “ඛණ්ඩ” නම් වේ, මැද කැඩුණ සීලය “ඡිදද” නම් වේ, යම් කිසි තැනෙක දෙපොළක් හෝ තුන් පොළක් පිළිවෙළින් කැඩුණා සීලය “සබල” නම් වේ. තැනින් තැන කැඩුණා සීලය “කම්මාස” නම් වේ. එම දෝෂ නැති වීමෙන් “අඛණ්ඩ සීල” නම් වේ යන ආදී වශයෙන් දත යුතුය. භුජිස්සෙහි = වහල් බවෙන් නිදහස් කර ගන්නා තැනැත්තා විසින් විඤ්ඤප්පසත්ථෙහි = බුද්ධාදී ප්රාඥයන් විසින් පසසනු ලැබූ අය විසින් අපරාමට්ඨෙහි = ඔබ විසින් මෙය කරන ලදී. මෙය විතර්ක කරන ලදී යනුවෙන් මෙසේ දැඩි සිතින් කීමට නොහැකි අය විසින් සමාධි සංවත්තනිකෙහි = අර්පණ සමාධිය හෝ උපචාර සමාධිය පැවැත්වීමට අසමත් අය විසින්.
2. බ්රහ්මචරියොගධ සූත්ර වර්ණනාව
දෙවැන්නෙහි - සද්ධා යන පදයෙන් බුදුන් කෙරෙහි ප්රසාදය ගන්නා ලදී. සීලං යන පදයෙන් ආර්යයන් හට ප්රියමනාප වූ සීලය ගන්නා ලදී. පසාදො යන පදයෙන් සංඝයා කෙරෙහි ප්රසාදය ගන්නා ලදී. ධම්මදස්සනං යන පදයෙන් ධර්මය කෙරෙහි වන ප්රසාදය ගන්නා ලදී. මෙසේ සෝවාන් අංග සතර කියන ලදී. කාලෙපච්චෙන්ති = සුදුසු කාලයෙහි පැමිණෙති. බ්රහ්මචරියොගධං සුඛං = බඹසරට ඇතුළත්ව සිටින්නහුට එමගින් තම සිරුර වෙත ලැබෙන උපරිම සැපත පිළිබඳ සුවය. යමෙක් මේ ගාථාවෙන් පැහැදීමට පත් වූයේ වෙයිද, හේ තෙමේ තෝරාගත් ප්රසාදය ඇත්තෙක් වෙයි. ත්රිපිටක චූළාභය ස්ථවිර තෙමේ මෙයට “මාර්ග ප්රසාදය” යයි කීය. ත්රිපිටක චූළ නාග ස්ථවිර තෙමේ පැමිණි මාර්ගයේ ප්රත්යවේක්ෂණ ප්රසාදය” (නුවණින් සලකා බැලීමේ ප්රසාදය) යයි කීය. මේ තෙරවරු දෙදෙනම පණ්ඩිතයෝ ද, බහුශ්රැතයෝ ද වෙති. දෙදෙනාගේම යහපත් වූ කියමන නම් මෙය මිශ්ර වූ ප්රසාදයක් බවයි.
4. සාරිපුත්ත සූත්ර වර්ණනාව
තුන් වැන්නෙහි - තස්මා = යම් හෙයකින් සෝවාන් අංග සතරෙහි දක්නට ලැබේ, එහෙයිනි. විජ්ජාභාගියෙ = විද්යාව නම් කොටසට අයත්. සබ්බ සඞ්ඛාරෙසු = සියලු ත්රෛභූමක සංස්කාරයන්හි, මෙසේ මෙහි ඉහළ මාර්ග තුනේ විදර්ශනාව කියන ලදි. විඝාතං = දුක සිවුවැන්න පහසු වේ.
5. දුතිය සාරිපුත්ත සූත්ර වර්ණනාව
පස් වැන්නෙහි - සොතාපත්තියඞ්ගං = සෝවාන් මාර්ගයෙහි මුල් කොටස ලැබීම නම් වූ අංගය, බුදුන් කෙරෙහි වන නොසැලෙන පැහැදීම් ආදී ගුණයන් සෝවාන් මාර්ගයේ අංගයන් නම් වේ. ඒවා “සොතාපත්තියඞ්ග” යයි (ව්යවහාරයට) පැමිණියේය. එහි වචන දෙකෙහිම අර්ථය මෙසේය. සත් පුරුෂයන් සේවනය කරන්නාවූ, භජනය කරන්නාවූ, ඇසුරු කරන්නාවූ, දහම් අසන්නාවූ, නුවණින් මෙනෙහි කරන්නාවූ, ධර්මානුධර්ම පුර්වභාග ප්රතිපදාව පිළිපදින්නාවූ පුද්ගලයා සෝතාපත්තිභාවය ලබා ගන්නේය යන අදහසින් සත්පුරුෂ ආශ්රය යන ආදිය සෝතාපත්ති භාවයේ අංගයක් බැවින් සෝතාපත්ති මග්ගං යන්න යෙදේ. අනික් අංගය ප්රථම මාර්ගය නම් වූ සෝවාන් මාර්ගයේ අංගයක් වේ යයි ද යන අදහසින් “සෝතාපත්තියඞ්ග” වේ. අවබෝධ කරගන්නා ලද සෝතාපත්ති මාර්ගයාගේ මාර්ගාංගයක්ය යනුවෙන්ද “සෝතාපත්තියඞ්ග” නම් වේ.
6. ථපති සූත්ර වර්ණනාව
සය වැන්නෙහි - සාධුකෙ පටිවසන්ති = තමාගේ “සාධුක” නම් වූ ගොදුරු ගමෙහි වෙසෙත් ඔවුන් අතරෙහි ඉසිදත්ත තෙමේ සකෘදාගාමී අයෙකි, පෙර සෝවාන් වී බිරිඳ සමග සතුටින් විසූ අයෙකි. මග්ගෙ පුරිසං ඨපෙසුං = ඔවුන්ගේ මේ දොරටුවෙන් භාග්යවතුන් වහන්සේගේ ගමන් මග පිහිටියේය. එහෙයින් භාග්යවතුන් වහන්සේ කාලයෙහි ද, අකාලයෙහි ද අපගේ සූත්රයන් හෝ ප්රමත්තයන් වෙත පැමිණෙත් නම් නැවත දක්නට නොලබන්නෙමුයි මාර්ග මධ්යයෙහි පුරුෂයෙකු නැවැත්වූහ.
අනුබන්ධිංසු = නුදුරෙහිම පිටුපසින් ලුහු බැන්දාහු භාග්යවතුන් වහන්සේ ගැල් යන මාර්ගයෙහි මැද අඩිපාරෙන් වැඩියහ. අන් අය දෙපසෙහි පසු පසින් ගියහ. මග්ගා ඔක්කම්ම = කිසිවකු සමග ගමන් කරන්නාවූ බුදුන් වහන්සේලාට වනාහී සිටියාවූ කිසිවකු සමඟ හෝ, දිවා කාලයෙහි හිඳගෙන හුන් කිසිවකු සමග හෝ පිළිසඳර කතා කිරීමට කරුණු යෙදේ. එබැවින් භාග්යවතුන් වහන්සේ මෙසේ සිතූහ. මේ අය සමග ගමන් කරන මට පිළිසඳර කතා කිරීම යුතු නොවේ. සිටගෙන සිටින්නවුන් සමග ද කතා කිරීම යුතු නොවේ. මේ අය මගේ සසුනෙහි හිමිකරුවෝය, ලැබූ මාර්ග ඵල ඇත්තෝය. මේ අය සමග හිඳගෙන ම දිවා කාලයෙහි පිළිසඳර කතා කරන්නෙමියි මාර්ගයෙන් ඉවත් වී එක්තරා රුක් මුලකට පැමිණියහ.
පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. ඔව්හු හිරුරැස් වළකන කුඩ ද, සැරයටි හා පාදයන්හි ගල්වන තෙල් ද, අෂ්ටවිධ පානවර්ග ද, සැහැල්ලු පා පළඟ ද ගෙන්වා ගෙන ගියහ. රැගෙන ආ පළඟ පනවා පිළිගැන්වූහ. ශාස්තෲන් වහන්සේ එහි වැඩ හිඳ ගත්හ. එකමන්තං නිසීදිංසු = සෙසු කුඩ ආදිය භික්ෂූ සංඝයාට දෙන්න යයි කියා තුමූ ද භාග්යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හිඳගත්හ.
සාවත්ථියා කොසලෙසු චාරිකං පක්කමිස්සති ආදී සියල්ල මධ්යම ප්රදේශය වශයෙන් ම කියන ලදී. කුමක් හෙයින් නියති භාවයක් වේද යත් භාග්යවතුන් වහන්සේගේ, චාරිකාවන්හි යෙදීම ද, අරුණෝදයද නියතයකි. මධ්යම දේශයෙහි අරුණ නගියි යන්න ද නියත බැවින් මධ්යම දේශය වශයෙන්ම කියන ලදී. ආසනෙන නො භගවා භවිස්සති = මෙහිදී හුදෙක් ආසන්න භාවය නිසා ම පමණක් ඔවුන් හට සොම්නස ඇති නොවේ. මෙවිට දන් දීමට ද, සුවඳමල් ආදියෙන් පූජා කිරීමට ද, ප්රශ්න ඇසීමට ද ලබන්නෙමු යයි යනුවෙන් ඔවුන් හට සොම්නස උපදී.
තස්මා තිහ ගහපතයො සම්බාධො ඝරාවාසො = ගෘහපතිවරුනි, යම් හෙයකින් ඔබට මා ඈත්වූ කල්හි සොම්නස් ද ඇතිවන්නේය. එහෙයින් ද ගෘහවාසය සම්බාධ සහිතය. ගෘහවාසයෙහි දෝෂයෙන් ඔබට මෙසේ වන්නේය යන මේ කරුණ දැන ගත යුත්තේය. ඉදින් ගෘහවාසය අත්හැර පැවිදිවන්නහු නම් එකල්හි මා සමගම යන්නාවූ ද, එන්නාවූ ද ඔබට එය (සම්බාධ) සිදු නොවන්නේය යන මේ අදහස දක්වමින් මෙසේ කීහ. එහි ඇලීම් සහිතය, කරදර සහිතය යන අරුතින් බාධා සහිත බව දත යුතුය. මහ මැදුරක වසන්නහුට වුවද ඇලීම් සහිතය, කරදර සහිතය යන අරුතින් ගෘහවාසය බාධා සහිතමය. රජා පථො = රාග, ද්වේෂ, මෝහ යන ක්ලේශයන් පැමිණෙන මාර්ගය, පැමිණෙන ස්ථානය යන අර්ථ ඇත්තේය. අබ්භොකාසො පබ්බජ්ජා = පැවිද්ද වනාහී කෙලෙස් රහිතය, පළිබෝධ රහිතය යන අරුතින් අභ්යවකාශය මෙනි. සිවුරියන් කුටියක පළඟින් පළඟ ගැටී හුන්නාවූ ද භික්ෂූන් දෙනමකගේ පැවිද්ද ඇලීම් රහිතය, පළිබෝධ රහිතය යන යන අර්ථයෙන් අබ්භොකාස (අභ්යවකාශ) යයි නම් වෙයි. අලඤ්චපන වො ගහපතයො අපපමාදාය = මෙ වැනි බාධා ඇති ගෘහවාසයෙහි වසන්නාවූ ඔබට අප්රමාදවම සිදු කිරිමට සුදුසුවූ යමක් ඇත යන අර්ථයයි.