1-2. ඉච්ඡානඞ්ගල ආදි සූත්‍ර වර්ණනා
දෙවන වර්ගයේ පළමුවැන්නෙහි - එවං ඛ්‍යාකරෙය්‍යාථ = කුමක් හෙයින් තමාගේ සමාපත්ති විහරණය කියයිද? දෝෂාරෝපණය බැහැර කරනු පිණිසය. ඉදින් ඔවුන් නොදන්නෙමුයයි කියත් නම්, ඉක්බිති ඔවුන්හට තීර්ථකයෝ “අපගේ ශාස්තෲවරයා අසවල් සමාපත්තියෙන් තුන් මසක් ගත කෙළේය. යන බව ඔබ නොදන්නහුද? එසේ ඇති කල්හි කුමක් හෙයින් ඔහු ගැන කියමින් යන්නහුදැයි දොස් පවරති.
එයින් මිදීම සඳහා මෙසේ කීය. දීර්ඝ වූ ආශ්වාසයක්ය යන ආදී වශයෙන් සිහියෙන් යුතුව ආශ්වාස කිරීමෙන් තොරව මෙම ස්වභාවය කියන ලද්දේ හෝ නො කියන ලද්දේ කුමක් හෙයින්ද යත් - එය ඒකාන්ත සත්‍ය ස්වභාවයක් බැවිනි. අන් අයගේ වනාහී ආශ්වාසය හෝ ප්‍රශ්වාසය ප්‍රකටව පෙනෙයි. භාග්‍යවතුන් වහන්සේගේ මේ දෙකම ප්‍රකටව පෙනෙයි. නිතර එළඹ සිටි සිහිය ඇති බැවින් එසේ වේය යන්න ඒකාන්ත සත්‍යයකි. එබැවින් එය නො කියන ලදී. තව ද හික්මෙමියි නො කියා කුමක් හෙයින් ආශ්වාස කරමියි යන මෙය පමණක් කියන ලද්දේද යත් - හික්මවිය යුතු තත්ත්වයක් හට පැමිණි) ශෛක්ෂ්‍යයෝ සත්දෙනා හික්මවිය යුතු ශෛක්ෂ්‍යයෝ නම් වෙත්. ක්ෂීණාශ්‍රවයෝ (රහත් ඵල ලාභීහු) හික්මවිය යුතු නොවන අශෛක්ෂ්‍යයෝ නම් වෙත්. තථාගතයන් වහන්සේලා ද හික්ම විය යුතු නොවන අශෛක්ෂ්‍යයෝ නම් වෙති. උන්වහන්සේලාට හික්මවිය යුතු කාර්යයක් නැති බැවින් හික්මවිය යුතු නොවන බව නො කියන ලදී. දෙවැන්න පහසු වේමය.
3-10. ආනන්ද ආදි සූත්‍ර වර්ණනා
තුන් වැන්නෙහි - පවිචින්ති = අනිත්‍ය ආදී වශයෙන් විමසා බලයි. ඉතිරි පද දෙක මෙයටම යෙදෙන වෙනත් වචනයන්ය. නිරාමිසා = කෙලෙස් රහිත කායික චෛතසික විඩාව සන්සිඳීමෙන් කය ද සිත ද සන්සුන් වෙයි. සමාධියති = මනා කොට පිහිටුවයි. ධ්‍යානගත සිත මෙන් වෙයි. අජ්ඣුපෙක්‍ඛිතා හොති = උපත සමග පැමිණි මධ්‍යස්ථ භාවයෙන් මධ්‍යස්ථ වෙයි.
මෙසේ තුදුස් ආකාරයකින් ශරීරය ග්‍රහණය කරගත් භික්ෂුවගේ එම ශරීරයෙහි පවත්නා සිහිය සති සම්බොජ්ඣඞ්ගයයි. (නිවනට උපකාරීවන පිරිසිදු සිහියයි) එම සිහියෙන් යුක්තවූ ඤාණය ධම්මවිචය සම්බොජ්ඣඞ්ගයයි. (නිවනට උපකාරීවන ධර්මය විමසා බැලීමයි) එය හා යෙදුනා වූ ම කායික චෛතසික වීර්යය විරිය සම්බොජ්ඣඞ්ගයයි. (නිවනට උපකාරීවන වීර්යයයි) ප්‍රීතිය, සන්සුන් බව, සිතෙහි එකඟ බව යන මේවා “ප්‍රීති. පස්සද්ධි, සමාධි” යන සම්බොජ්ඣඞ්ගයන් වේ. මේ බොජ්ඣඞ්ග සයෙහි පසුබට නොවීම හා ඒවා ඉක්මවා නො යාම නම් වූ මධ්‍යස්ථ භාවය උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය නම් වෙයි. යම්සේ රිය බැඳි අශ්වයෝ සමව ගමන් කරත් ද, එවිට මේ අශ්වයා පසුබට වන්නේයයි කෙවිටෙන් ඇනීමක් හෝ මේ අශ්වයා වේගයෙන් දුවන්නේයයි පස්සට ඇදීමක් හෝ සිදු කිරීමට රියැදුරාට සිදු නොවේ. හුදෙක් දුවමින් සිටින ආකාරය පමණක් ම වෙයි. මේ අයුරින් මේ බොජ්ඣඞ්ග සයේ පසුබට නොවීම හා ඉක්මවා නොයාම නම් වූ මධ්‍යස්ථ භාවය උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය නම් වෙයි. මෙපමණකින් කුමක් නම් කියන ලද්දේ ද යත් - එක් චිත්ත ක්ෂණයක් තුළ සලකා බැලෙන විදර්ශනාවන් බොජ්ඣඞ්ගය නම් වේයයි කියන ලදී.
විවෙක නිස්සිතං = යන ආදිය පෙර කියන ලද අර්ථ ඇත්තේය. මෙහිදී වනාහී සොළොස් වාරයක් ආනාපාන සතිය මිශ්‍රාවශයෙන් කියන ලදී. ආනාපානය මුල් කරගත් සතිපට්ඨානයන් පූර්වභාගයන් වේ. ආනාපාන සතිය මුල් වූ එම පූර්වභාගයෝ බොජ්ඣඞ්ගයන් සම්පූර්ණ කරන්නාවූ සතිපට්ඨානයෝය. එම බොජ්ඣඞ්ග පූර්ව භාගයෝ ද දැනුම නිසා ලබන විමුක්තිය සම්පූර්ණ කරන්නාවූ (විජ්ජා විමුත්ති පුරකා) බොජ්ඣඞ්ගයෝය, නැතහොත් හට ගන්නා ලද ලෝකෝත්තර දැනුම නිසා ලබන විමුක්තීහු ආර්ය ඵලයන් හා එක් වූ විද්‍යාවෝය. සිවුවන (අර්හත්) මාර්ගය හා එක්ව යෙදුණාවූ තැනැත්තෝ විමුක්ති ඵලයන් හා එක්ව යෙදුනාහ. සිවුවන, පස්වන, සයවන කොටස් ද මේ හා සමාන වූ පරිච්ඡේදයන්ය. සෙස්ස සියලු තැන්හි පහසු වේමය.
ආනාපාන සංයුත්තය සමාප්තයි
11. සොතාපත්ති සංයුක්තය
1. වෙළුද්වාර වර්ගය
1. රාජ සූත්‍ර වර්ණනාව
සොතාපත්ති සංයුත්තයේ පළමුවැන්නෙහි කිඤ්චාපි අනුග්‍රහ සහ ගැරහීම් කිරීමෙහි නිපාතයකි. සතර මහ දිවයින්හි අධිපති බවට පැමිණි රාජ්‍යත්‍වයට අනුග්‍රහ කරන්නාවූ ද, සතර අපායන් දුරුනොකළ බවට ගර්හා කරන්නාවූ ද ශාස්තෲන් වහන්සේ කිඤ්චාපි භික්‍ඛවෙ රාජා චක්කවත්ති = යන ආදිය වදාළහ. චතුන්නං දීපානං = දෙදහසක් දිවයින් පිරිවරකොට ඇති සතර මහ දිවයින්හි. ඉස්සරියාධි පච්චං = ස්වාමීත්වය “ඉස්සරිය” නම් වෙයි. අධිපති භාවය “අධිපතිච්ච” නම් වෙයි. ඉස්සරිය, අධිපච්ච යන මෙහි රජයෙහි සිදීම හා බිඳීම සිදු නොවේය යන්න “ඉස්සරියාධිපච්ච” නම් වෙයි. කාරෙත්‍වා = මෙවැනි රාජ්‍යයක් පවත්වා කිඤ්චාපි භික්‍ඛවෙ අරිය සාවකො යන ආදිය වදාළහ. එහි නත්තකානි = අවසන් වීම් නැති යන අදහසයි. තෙළෙස් වරක් හෝ පලුදු වූ රෙදිපටක් දස කොටසක්ව ඉරීගිය තැන් පටන් “නන්තකං” යන නම ලබයි.
අවෙච්චප්පසාදෙන = ස්ථිරවූ පැහැදීමෙන්. ඒ මේ පැහැදීම වනාහී එක් අයුරකින් හෝ නන් අයුරින් ඇති වේ. නියම මාර්ගයෙන් පැමිණි ඒ පැහැදීම යම් වස්තූන් කෙරෙහි පෙර පසු නොවී (හෙවත් එක්වරම) වර්ධනය වේද, ඒ අයුරින් බුදුන් වහන්සේ කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් යන ආදී පිළිවෙළින් තුන් ආකාරයකින් කියන ලදී. යම් හෙයකින් එකම ආකාරයක් වේ නම් එය පහත් තත්ත්වයක් වෙයි. ආර්ය ශ්‍රාවකයාගේ වනාහී බුදුන් වහන්සේ කෙරෙහිම පමණක් පවතින ප්‍රසාදය ද, ප්‍රේමයද, ගෞරවය ද මහත් වන්නේ නම් ධර්මය කෙරෙහි හෝ සංඝයා කෙරෙහි හෝ ප්‍රසාදය ද, ප්‍රේමය ද, ගෞරවය ද මහත් නො වේ. ධර්මය කෙරෙහිම පමණක් ප්‍රසාදය ආදිය) මහත්ව පවතී නම් බුදුන් කෙරෙහි හෝ සංඝයා කෙරෙහි එය මහත් නොවේ. සංඝයා කෙරෙහිම පමණක් එය මහත්ව පවතී නම් බුදුන් කෙරෙහි හෝ ධර්මය කෙරෙහි එය මහත් නොවේ. (අචල ශ්‍රද්ධාවෙහිදී) මෙවැන්නක් නැත්තේය. ඉතිපිසො භගවා යන ආදිය විශුද්ධි මාර්ගයෙහි විස්තර කරන ලද්දේය.