6. සූරියපෙය්යාලය
1-14. කල්යාණමිත්ත ආදි සූත්ර වර්ණනා
සූරිය පෙය්යාලයෙහි - කල්යාණ මිත්රතාවය අරුණෝදයෙහි ආරම්භය මෙනි. කල්යාණ මිත්ර ස්වභාවයෙහි සිට උපන් බැවින් විදර්ශනා සහිත ආර්ය මාර්ගය සූර්යයාගේ පහළ වීම වැනි යයි කියනු ලැබේ. සියළු තන්හි මෙසේ අර්ථ දත යුතු වේ. සීල සම්පදා = චතු පාරිශුද්ධි ශීලය. ඡන්ද සම්පදා = ක්රියාකරනු කැමැත්ත, කුසලයෙහි කැමැත්ත අත්ත සම්පදා = සමෘද්ධ වූ සිත් ඇති බව, දිට්ඨි සම්පදා = ඥාන සම්පත්තිය. අප්පමාද සම්පදා = ක්රියා කරවන අප්රමාද සම්පත්තිය = යොනිසො මනසිකාර සම්පදා = පිළිවෙළ මෙනෙහි කිරීමේ සම්පත්තිය නැවත “කල්යාණ මිත්තතා” යන ආදිය සම්මා දිට්ඨි ආදියට වෙනස්වූ ආකාරයකින් ද අදහස් දැක්වීම පිණිස කියන ලදී. මේ සියළු ම සූත්ර වෙන් වෙන් පුද්ගලයන්ගේ අදහස් වශයෙන් කියන ලද්දේය.
සුරිය පෙය්යාලය නිමියේය.
7-12. එකධම්මපෙය්යාලය
1-14. කල්යාණමිත්ත ආදි සූත්ර වර්ණනා
ධර්මයේ එක් කොටසක් සංක්ෂෙප කිරීම ද, කොටස් පෙළක් සංක්ෂෙප කිරීම ද වෙන් වෙන් එක් එක් පුද්ගල අදහස් වශයෙන්ම කියන ලදී. එසේ කියන ලද කල්හි අවබෝධ කරගත යුතු අයගේ අදහස් වශයෙන් කියන ලදී.
13. අප්පමාද වර්ගය
1-4. තථාගත ආදි සූත්ර වර්ණනා
අප්පමාද පෙය්යාලයෙහි - එවමෙව ඛො = මෙහි යම් සේ සකල සත්ත්වයන්හට සම්මා සම්බුද්ධයන් වහන්සේ අග්රවෙත් ද, එසේ සකල කුසල ධර්මයන්හට ද ඒවා කරවන්නා වූ අප්රමාදය (නම් තැනැත්තා) අග්රයයි දැක්විය යුතුය. ලෞකික කුශල ධර්ම ලෝකෝත්තර නොවේ ද? මේ කාමාවචර කුශල ධර්ම පවා කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර වශයෙන් චාතුර්භූමික වේ. මෙය කෙසේ නම් ඒවා අතරේ අග්ර වේද? ලැබෙන පමණින් අප්රමාදව ඔව්හු ප්රතිලාභ ලබත් එහෙයින් හේ ඒ ඔවුන් අතරෙහි අග්ර වේ. එබැවින් “ඒ සියල්ල අප්රමාදය මුල් කොට ඇත” යන ආදිය කියන ලදී.
5-8. පද සූත්ර වර්ණනා
ජඞ්ගමානං = පෘථුවි තලයෙහි හැසිරෙන්නවුන්ගේ පාණානං = පාද සහිත ප්රාණීන්ගේ පද ජාතානි පියවරවල් සමොධානං ගච්ඡන්ති = එක් අරමුණකට, එක් තැනකට යති. අග්ගමක්ඛායති = ශ්රේෂ්ඨ යයි කියති. යදිදං මහන්තත්තෙන = මහත් බැවින් අග්රයයි කියති, ගුණ වශයෙන් නොවේය යන අර්ථයි.
9-40. කූට සූත්ර වර්ණනා
වස්සිකං = දෑ සමන් මල් මෙය අසා භාතිය මහරජ තෙමේ එය විමසනු කැමැත්තෙන් එක් ගැබෙක්හි (කුටියෙක) සිවු දෑ ගඳින් පිරිබඩ ගෑම කරවා සුවඳ මල් ගෙන්වා එක් කරඬුවෙක මැද සමන් මල් මිටක් තබවා සෙස්ස ඒ අවටින් මිටි මිටි කොට තබවා දොර වසා බැහැරට නික්මිණි. ඉක්බිති මොහොතක් කල් යවා දොර විවර කොට පිවිසුණ ඔහුගේ නැහැයට සියල්ලටම පෙර සමන් මල් සුවඳ ස්පර්ශ විය. හෙතෙම මහා තැනිතලාව මතම මහා චෛත්යයට අභිමුඛව වැතිරී වර්ෂාව ඔවුන් හට අගනේය යන මනා කියමන බුදුන් වහන්සේ විසින් දෙසන ලද්දේය යි කියා චෛත්යය වන්දනා කළේය. කුඩ්ඩ රාජානො = කුඩා රජවරු කූට රාජානො යනුවෙන් ද පාඨයක් වේ. තන්නාවුතානං = නූලෙහි අමුණන ලද්දේ නූලටම ආරෝපණය කොට වියන ලද්දේය යන අර්ථයයි. මෙයද කර්තෘ අර්ථයෙහි සම්බන්ධ විභක්ති වචනයකි. යම්කිසි දේවල් නූල්වල අමුණන ලද්දේය යන මෙය වනාහී මෙහි අර්ථයයි. නැතහොත් නූල්වලින් මසන ලද යම්කිසි වස්ත්රයක් යයි මෙසේ ඉතිරි පාඨයන්ගේ පිළිවෙළින් ද මෙහි අර්ථය දැක්විය හැක්කේය. සෙසු සියලු ස්ථාන පහසුවන්නේය.
අප්පමාද වග්ගය නිමි.
14. බලකරණීය වර්ගය
1. බල සූත්ර වර්ණනාව
බල කරණීය වර්ගයෙහි - පාදබල හා බාහුබලයෙන් කළයුතු දිවීම් පැනීම් තැවීම් උසුලාගෙන යාම් ආදී කර්මාන්ත සීලෙ පතිට්ඨාය = (පාතිමොක්ඛ සංවර, ඉන්ද්රිය සංවර, ආජීව පාරිසුද්ධි, පච්චය සන්නිසිත යන) චතු පාරිසුද්ධි සීලයෙහි පිහිටා අට්ඨංගිකං මග්ගං = විදර්ශනාව සහිත ආර්ය මාර්ගය
5. බීජ සූත්ර වර්ණනා
බීජගාම භූතගාම = මෙහි (මූල බීජ, ඛන්ධබීජ, අග්ගබීජ, ඵලබීජ, බීජබීජ යන) පස් වැදෑරුම් බීජ “බීජගාම” නම් වේ. එයම පත්රවලින් සම්පූර්ණ වූයේ නිල් පැහැති ස්වභාවයෙන් පටන්ගෙන වෘක්ෂ ලතා දක්වා වේ යයි දතයුතු වේ.
9. නාග සූත්ර වර්ණනා
බලං ගාගෙන්ති = බලය ගනිත්, ගන්නා ලද ශක්තීන් ස්ථිර ශරීර බවට පත් වේ. කුස්සුබ්හෙ ඔතරන්තී යන ආදියෙහි මේ අනු පිළිවෙළ කථාවයි. නාග ස්ත්රීහු වනාහී ගැබ් ගන්නා සමයෙහි ගැබ් පිහිටියාහු මෙසේ සිතත් “ඉදින් අපි මෙහි දරුවන් වදන්නෙමු නම් දියෙහි රළ වේගයට ද, ගුරුළන් හට ද (බියෙන්) දුව පැන පැමිණෙන අපගේ දරුවෝ තම වේගය ඉවසා දරා ගැනීමට නො හැක්කෝ වෙති.” ඒ නාග ස්ත්රීහු මුහුදෙහි ගිලී ගංමෝය සඳහා බිඳුණ ගංමුව දොරට පැමිණ පංච මහා ගංගාවනට පිවිස හිමවතට යති. එහි ගුරුළන් හට නො පැමිණිය හැකි රන් රිදී මැණික් ගුහාවන්හි වසමින් දරුවන් වදා නාග පෝතකයන් (ඔවුන්ගේ) වළලුකර ඇටචල මට්ටම පමණ වූ දියට බස්වා ජල තරණය පුහුණු කරවත්.