2. විහාර වර්ගය
1. විහාර සූත්ර වර්ණනාව
දෙවන වර්ගයේ පළමු වැන්නෙහි - ඉච්ඡාමහං භික්ඛවෙ අඩ්ඪ මාසං පටිසල්ලීයිතුං = මහණෙනි මම එක් අඩමසක් විවේකීව හිඳීමට, හුදෙකලා වී වාසයට කැමැත්තෙමි යි යන අරුතයි. නම්හි කෙනචි උපසඞ්කමිතබ්බො අඤ්ඤත්ර එකෙන පිණ්ඩපාත නීහාරකෙන = යමකු තමා වෙත පවරන ලද විධාන වචනය අනුව ක්රියා නොකොට, මා සඳහා ශ්රද්ධාවන්ත කුලයන්හි (නිවෙස්හි) පිළියෙළ කරන ලද පිණ්ඩපාතය ගෙනැවිත් මට පවරන්නේ ද, පිණ්ඩපාතය ගෙන එන ඒ එක භික්ෂුව හැර එහි අන්කිසි භික්ෂුවක් හෝ ගිහියෙක් හෝ නො පැමිණිය යුතු වන්නේය.
කුමක් නිසා වනාහී මෙසේ කීයේද යත් - ඒ අඩ මසෙහි වනාහී හික්මවිය යුතු සත්ත්වයෙක් නො වීය. ඉක්බිති ශාස්තෲන් වහන්සේ මේ අඩමස පල සමවත් සුවයෙන් කල්ගෙවන්නෙමි, මෙසේ මාගේ ද සුඛ විහරණය වන්නේය. අනාගතයෙහි ද පසු කාලීන ජනතාව “ශාස්තෲන් වහන්සේ ද සමූහයාගෙන් වෙන් ව තනිව වාසය කළහ, අපි ද එසේ කරමු” යි දුටු දේ අනුව යාමට යොමු වෙත්, එය ඔවුනට දිගු කලක් හිතසුව පිණිස වන්නේය යන මේ කරුණ නිසා මෙසේ කීය. භික්ෂු සංඝයා ද ශාස්තෲන් වහන්සේගේ වචනය පිළිගෙන එක් භික්ෂුවක (ට වගකීම් පවරා) දුන්හ. හෙතෙමෙ උදෑසන ම ගන්ධකුටි ආවාසය හැමදීම, මුව දොවන ජලය, දැහැටි දීම් ආදී සියළු කටයුතු එකෙණෙහිම සිදු කොට ඉවත් ව යයි.
යෙන ස්වාහං - යම් හෙයකින් මම පඨමාභි සම්බුද්ධො = අභිසම්බුද්ධත්වයට පැමිණ පළමු කොටම එකුන් පනස් දිනයක් අතරෙහි විහරාමි = මෙය අතීතාර්ථයෙහි වර්තමාන (රූපී) වචනයකි. තස්ස පදෙසෙන = අභිසම්බුද්ධත්වයට පත් වී උන්වහන්සේ පළමුව වාසය කළ පෙදෙසින් එහි “පදෙස” (ප්රදේශය) යනු ඛන්ධප්පදෙස (හෙවත් ස්කන්ධ ප්රදේශ) නම් වේ. ආයතන, ධාතු, සත්ය, ඉන්ද්රිය ප්රත්යයාකාර, සතිපට්ඨාන, ධ්යාන නාම රූප යන ආදී වශයෙන් “පදෙස” යන්න නානා විධ වේ. ඒ සියල්ලම සඳහා “තස්ස පදෙසෙන විහාසිං” (එයට අයත් පෙදෙස ඇසුරෙන් වාසය කළෙමි) යනුවෙන් කීය. භාග්යවතුන් වහන්සේ වනාහී බුද්ධත්වයෙන් පසු පළමු දින එකුන් පනස ඇතුළත, යම්සේ රජබවට පත් රජතුමකු තමාගේ අගනා සම්පත් දකිනු සඳහා ඒ ඒ ගබඩාව විවෘත කරවා රන් රිදී මුතු මැණික් ආදී රත්නයන් පරීක්ෂා කරමින් වෙසෙන්නේද, ඒ අයුරින්ම පඤ්චස්කන්ධයෙහි සියල්ල ඇතුළත් කොට විමසා බලමින් පරීක්ෂා කරමින් විසූහ. මේ අඩමසෙහි වනාහී ඒ ස්කන්ධයන්ගේ කොටසක් වන වේදනා ස්කන්ධය ම නුවණින් සලකා බලමින් වාසය කළහ. උන්වහන්සේට මේ සත්ත්වයෝ මෙබඳු නම් සුවයක් විඳගනිත්, මෙබඳු දුකක් විඳ ගනිත් යනුවෙන් දකිමින් භවාග්රය තෙක් පවත්නා සුඛ වින්දනයන් ද, අවීචිය තෙක් පවත්නා දුඃඛ වින්දනයන්ද යන සියල්ල හැම අයුරින්ම අවබෝධ විය. තව ද මිථ්යාදෘෂ්ටි හේතුවෙන් ද වින්දනය ලබන බව ආදී කරුණු පිළිවෙළින් අවබෝධ කර ගනිමින් වාසය කළහ.
එසේම බුද්ධත්වයෙන් පසු මුල් කාලයේම (ආධ්යාත්මික හා බාහිර වශයෙන් බෙදිය හැකි) ආයතන දොළස නිරවශේෂයෙන් විමසා බැලූහ. මේ අඩමසෙහි ඒ ආයතනයන්ගේ කොටසක් වේදනා වශයෙන් ද, ධර්මායතන කොටසක් වන ධාතූන්ගේ කොටසක් වේදනා වශයෙන් ද, ධර්මධාතූන්හි එක් කොටසක් වන සත්යයන් පිළිබඳ කොටස වේදනා ස්කන්ධ වශයෙන් ද, දුඃඛ සත්යයේ එක් කොටසක් වන (හේතු) ප්රත්යයන් පිළිබඳ කොටස ස්පර්ශය හේතුවෙන් වන වින්දනය වශයෙන් ද, (හේතු) ප්රත්යයේ එක් කොටසක් වන ධ්යානයන් පිළිබඳ කොටස වින්දනය වශයෙන් ද, ධ්යානාංගයන් හි එක් කොටසක් වන නාමරූප කොටස වින්දනය වශයෙන් ද නුවණින් සලකා බැලූහ. සම්බෝධියට පැමිණ මුල් එකුන් පනස් දින ඇතුළත කුසලාදී ධර්මයන් නිරවශේෂ කොට අනන්තනයින් (හෙවත් බොහෝ වූ ක්රමයගෙන්) හෙබි සප්ත ප්රකරණයන් මෙනෙහි කළහ. මේ අඩමසෙහි වනාහී සියළු ධර්මයන්ගේ කොටසක් වන වින්දනය අවසන් කොට ඇති තත්ත්වය ම සලකා බැලූහ. එතැන්හි වනාහී වින්දනයේ බලයෙන් උපන් ඒ ඒ සමාපත්ති විහරණ ය ද පවතී.
දැන් යම් අයුරකින් වාසය කළේ නම් එය දක්වන්නේ “මිච්ඡාදිට්ඨි පච්චයාපි” යන ආදිය කීහ. එහි මිච්ඡා දිට්ඨි පච්චයාපි = දෘෂ්ටියක් හා එක්ව යෙදුන වේදනාවක් ද පවතී. එහි මිථ්යාදෘෂ්ටිය හා එක්ව යෙදුන අකුසල් ද වෙයි, දෘෂ්ටිය හේතු කොට ගෙන කුසල් ද අකුසල් ද උපදී. වැරදි දෘෂ්ටි ඇත්තෝ වනාහී දෘෂ්ටිය ආශ්රය කොට ගෙන පක්ෂ දිනයන්හි (අඩ මසකට වරක් එන අමාවක හා පසළොස්වක දිනයන්හි) කැඳ බත් ආදිය දෙති. මගී ආදීනට පරිභෝජනයට (ආහාර පානාදිය) තබත් සතර මංසන්ධිවල සාලාවන් (ගමන්හල් කරවත් පොකුණු කැණවීම් කරවත් දේවාල ආදී ස්ථානයන්හි මල් පැල සිටුවිත්. එතෙර වීමට අපහසු ගංගා ආදියෙහි ඒ දඬු දමත්. විසම තැන් සම කරත්. (මාර්ගයන් හි වල ගොඩැලි නැති කරත්) මෙසේ ඔවුන්හට කුසල වින්දන උපදී. වැරදි දැකීම් නිසා ම තමා සම්යක් දෘෂ්ටිකයන් හට බැණ වදිත්, අපහාස කරත්. වධබන්ධනාදිය කරත්. සත්ත්වයන් මරවා දේවතාවනට උපහාර පවත්වති. මෙසේ ඔවුනට අකුසල වින්දනයක් උපදී. විපාක වින්දනය වූ කලී භවාන්තරයෙහිදී ද සිදු වෙයි.